ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුගෙන් එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10 දෙනෙකුට එක් පාදයක් හෝ පාද දෙකම අහිමිවී ඇති බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාර හමුවේ තුවාල ලබන ළමයින්ගේ පාද සිරුරෙන් වෙන්කර ඇත්තේ නිර්වින්දන මද වශයෙන් ලබාදී හෝ කිසිදු නිර්වින්දන ලබා දීමකින් තොරව බවද අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය. එයට හේතුව වී ඇත්තේ යුද්ධය හේතුවෙන් පලස්තීනයේ රෝහල්වලට ප්‍රමාණවත් පරිදි නිර්වින්දන බෙහෙත් නොලැබීම බවද එම පුවත් සේවය පවසා ඇත.
හමාස් සංවිධානය මීට වසරකට පෙර ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හමාස් සංවිධානයට එරෙහිව යුද ප්‍රකාශ කළ අතර ගත වූ වසරක කාලය ඇතුළත එහි ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් පලස්තීනුවන් 41,615 ක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇතැයි එම පුවත් සේවය පෙන්වා දුන්නේය. එලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ ප්‍රහාර නිසා මියගිය පලස්තීනුවන්ගෙන් 16,756 ක් ළමයින් බවත් පසුගිය වසර 20 ක කාලයේ දී ගැටුමක් හේතුවෙන් වසරක් තුළ ඝාතනය වූ වැඩිම ළමයින් සංඛ්‍යාව මෙය බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය. එසේම පලස්තීනයේ ළමයින් 17,000 කට මාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වී ඇතැයිද අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
එසේම පලස්තීනුවන් 97,303 ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවත් ඒ අනුව සෑම පලස්තීනුවන් 23 දෙනෙකුගෙන් එක් අයෙකු ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රහාර හමුවේ තුවාලකරුවන් වී ඇති බවත් එම පුවත් සේවය පැවැසුවේය. ඉන් ආසන්න වශයෙන් 22,500 ක් පමණ නැවත සාමාන්‍ය ජීවිතයට යා නොහැකි පරිද්දෙන් තුවාල ලබා ඇතැයිද එම පුවත් සේවය ප්‍රකාශ කළේය. තුවාල ලැබූ සහ මියගිය පිරිසට අමතරව තවත් පලස්තීනුවන් 10,000ක් පමණ සුන්බුන් වලට යටවී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බව ද අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.