ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් පොහොය දිනයක් බවට පත්වනවා. සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිදුවීම් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදුවී තිබීම නිසාම මේ පොහොය බෞද්ධයන්ට ඉතාමත් වැදගත් පොහොය දිනයක් බවට පත්වනවා.ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේද අද වන් නවම් පොහෝ දිනකදීය.ඒ වගේම ඉතිහාසයේ ඓතිහාසික වටිනාකමක් තිබෙන රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු වී ඇත්තේ ද අද වන් වූ උතුම් නවම් පොහොය දිනකයි.බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනක වීමද සුවිශේෂී කරුණක්.ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සංඝයන් වහන්සේලා යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයක වීම සුවිශේෂී කරුණක්. බුදුරජාණන් වහන්සේ මුල් විසි වස පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. එය ඇරඹියේ ද අද වන් නවම් පොහෝ දිනකයි. උතුම් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂ නමින් හඳුන්වන ගාථා රත්න මෙලෙස උන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළහ.
“ඛන්තී පරමං තපො නිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතො පරූපඝාති
සමණො හොති පරං විහෙඨයන්තො”
ඉවසීම උතුම් වූ තපස් ගුණයෙකි. බුදුවරු නිවන උසස් කොට කියත්. අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන් පෙළන්නා ශ්‍රමණයකු නොවේ.
සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං – ඒතං බුද්ධාන සාසනං
සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.
අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං - පන්තඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධාන සාසනං
කිසිම කෙනෙකුට නින්දා අපහාස කරන්න හොඳ නෑ. කාගෙවත් ජීවිතයක් හානිකරන්ට හොඳ නෑ. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සංවර වෙලා අවබෝධයෙන් යුක්තව දානෙ වළඳලා, දුර ඈත වන සෙනසුන්වල තමයි කල් ගෙවන්ට ඕනෙ. චිත්ත සමාධිය හොඳට පුරුදුවෙන්ට ඕනෙ. බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව මෙයයි. යන ඕවාද ප්‍රාතිමෝක්ෂය හරහා භික්ෂූන් වහන්සේලාගේ හික්මීම සහ සමාධිගත දිවි පෙවතකට උන් වහන්සේලා යොමු කරවීමට උන් වහන්සේ කටයුතු කෙරිණි. එමෙන්ම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම උතුම් නවම් පොහොය දිනයේ දී සිදුවී තිබෙනවා.ඉතින් මෙවැනි ඓතිහාසික සිදුවීම් රැසක් සිදුව තිබීම නිසාම මේ පොහොය ලෝකය පුරා බෞද්ධ ජනයාට ඉතාමත් සුවිශේෂී පොහොය දිනයක් බවට පත්වනු ලබනවා.