ඕස්ට්‍රේලියාවේ තියන අරුම පුදුම විලක් තමයි මේ හිලියර් විල කියලා හදුන්වන්නේ. ඉතින් මේ අරුම පුදුම විල පිහිටලා තියෙන්නේ Recherche Archipelago යනුවෙන් හඳුන්වන දූපත් දාමයක් අතර පිහිටි විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ්හි තමයි මේ විල පිහිටලා තියෙන්නේ. මේ විල ලෝකයේ විල් අතර සුවිශේෂී. මොකද කියනවා නම් එහි ජලය නිසා. මේ විලේ ජලය ස්වභාවයෙන්ම රෝස පැහැය ගනු ලබනවා.
ඕස්ට්‍රේලියාවේ සුන්දරත්වය වැඩි කරන ස්වභාවික දායාදයක් ලෙස මෙම රෝස පැහැති විල හදුන්වන්න පුළුවන්ම. මේ හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු දිග වන්නට පිහිටි මිඩ්ල් අයිලන්ඩ් නැමැති දූපත තුළය. සාගරයට ආසන්න වන්නට පිහිටා ඇති මෙම විල 600m පමණ දිගින් යුක්ත වන අතර පළල 250m ක් පමණ වනවා. මෙම විල පළමු වරට සොයාගෙන තිබෙන්නේ නාවිකයෙකු වූ මැතිව් ෆයින්ඩර් විසින් 1802 වසරේදී ය. ඔහු ඒ අසල තිබූ උස කන්දකට නැගිවිට ඔහුට රෝස පැහැයෙන් යුතු මෙම විල දකින්න ලැබී අතර ඔහු විසින් ඒ පිළිබදව ඔහුගේ දිනපොතෙහි සටහනක් ද තබා තිබේ . මෙම විල අසල සිට බැලූ විට එතරම් අලංකාර නොවුවද ඉහළ සිට බලන විට එය ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක් දැක බලා ගන්න පුළුවන්.
මෙහි පිහිටීම පිළිබදව සලකා බලන විට මෙම විල අවට කපුරු වැනි ගස් වලින් සමන්විත වන අතර එහි උතුරු දෙසින් පිහිටා තිබෙන්නේ පැසිපික් සාගරය. මේ විලේ ජලය රෝස පැහැතිවීම පිළිබදව පර්යේෂකයන් බොහෝ පර්යේෂණ සිදු කළද තවමත් ඒ සදහා නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. නමුත් එහි ජලය රෝස පැහැය පිළිබදව බොහෝ දෙනෙකු විශ්වාස කරන මතය නම් එහි ජීවත් වන ඇල්ගී විශේෂයක් නිසා මෙහි ජලය රෝස පැහැවී ඇති බවයි. 2013 වර්ෂයේ මෙය සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අතර මෙම විලෙහි ජලය තුළ Dunaliella Salina නැමැති ඇල්ගී විශේෂය වාසය කරන බවට සොයාගෙන තිබේ. ඊට අමතරව සිදු කළ තවත් පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ අධික ලවණ සහිත විල් ජලය තුළ ඇල්ගී හා බැක්ටීරියා විශේෂ 10ක් පමණ වාසය කරන බවත් එම ජීවින්ගේ බොහෝමයක් දෙනා රතු හෝ රෝස පැහැති වන බවයි. ඒ අනුව මෙම ජලයේ පැහැයට හේතු වී ඇත්තේ මෙහි වෙසෙන ඇල්ගී වල වර්ණයයි. මෙම විලෙහි ලවණ සාන්ද්‍රණය ඉතාමත් අධික වන අතර මුහුදු ජලයේ මෙන් 10 ගුණයක ලවණ සාන්ද්‍රණයක් මෙහි පවතී.මෙහි ඇති ලවණ සාන්ද්‍රණය තුළ ඇති halophilic නැමැති බැක්ටීරියාවක් මෙම වර්ණයට හේතුවන බවද මතයක් ඇත. මෙහි විශේෂත්වය වන්නේ අනෙකුත් රෝස පැහැති විල් වල ජලය මෙන් නොව මෙහි ජලය ඉවතට ගත්තද ජලයේ රෝස පැහැය එයාකාරයෙන්ම පැවතීමයි. එමෙන්ම මෙහි වාසය කරන Dunaliella Salina ඇල්ගී විශේෂය මිනිසාට හානිකර නොවේ. අතීතයේදී මෙම විල ලුණු කර්මාන්තය සදහා යොදාගෙන තිබුණද වර්තමානයේදී එය නවතා සංචාරක කර්මාන්තය සදහා විවෘත කර ඇත. වර්තමානයේදී මෙම භූමි ප්‍රදේශය සඳහා ප්‍රවේශ වීමේ අවසර ලබාදී ඇත්තේ විද්‍යාඥයන්ට පමණක් වන අතර පොදු මහජනතාවට මෙම ප්‍රදේශය තුළට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ තරයේ සීමා කර තිබෙනවා. ඒ වගේම වර්තමානයේ මේ හිලියර් විල Recherche Archipelago Nature Reserve යටතේ ආරක්ෂාවට ලක්වන අතර හිලියර් විල සහ අවට ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙසද නම් කර තිබෙනවා.