දකුණු ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති විසින් කුලියාපිටියේ දී විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීමේ ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.
දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව වන වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27කි. මෙම කර්මාන්තශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ගෝලීය මෝටර් රථ විශේෂඥයින් විසින් නිර්මාණය කර ඇති ඉහළම මට්ටමේ ජාත්‍යන්තර යන්ත්‍රෝපකරණවලින් සමන්විත මෙම කර්මාන්තශාලාව මඟින් තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරේ. එමෙන්ම ගෝලීය කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු ආයතනයක් ද මෙහි පවත්වාගෙන යන අතර මෙරට තරුණ තරුණියන්ට එම පුහුණුව මඟින් විදේශ රැකියාවන් සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.
අද (17) පස්වරුවේ කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමරු ඵලකය නිරාවරණය කර කර්මාන්ත ශාලාව විවෘත කළේය.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.වෙස්ටර්න් ඔටෝමොබයිල් කර්මාන්තශාලාවේ කටයුතු 2015 වසරේදී ආරම්භ වුවද එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිවෙකු සහාය ලබා නොදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
තමා රට භාරගත්තේ රට දියුණු කෙරෙන සංවර්ධනය ව්‍යාපෘති ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා වසර දෙකකින් නිම කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා වසර 10ක් ගත කිරීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වූ බවද සඳහන් කළේය.එසේම මෙම නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටිය ඇතුළු මුළු රටේම ආර්ථිකය ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.