යුගයක් වෙනස් කරන Stand up ( නැගිටින්න ) – මම වෙනුවෙන් නොව අපි වෙනුවෙන්

  • Home
  • /
  • Entertainment
  • /
  • යුගයක් වෙනස් කරන Stand up ( නැගිටින්න ) – මම වෙනුවෙන් නොව අපි වෙනුවෙන්

අපි අද කියන්න යන්නේ යුගයේ අති දක්ෂ සංගීතඥයෙක් වන දර්ශන රුවන් දිසානායකගේ මියුරු සංගීතයත් සමග නවමු ආරකින් ඔබ තුළ සිටින කලාකාමී පුද්ගලයාට නැගිටින්නට අවස්ථාවක් ලබා දෙන්න හදන concert එකක් ගැන. කලාවෙන් පිරුණු මිනිසෙකු තුළින් සමාජයක් වෙනස් කරන්නට හැකි නිසා ඔබ වෙනුවෙන්ම පමණක් නොව අපි වෙනුවෙන් නැගීසිටින්නට Stand up නමින් අග්‍රගන්‍ය දෙස් විදෙස් පොත් සහ ගීත සහ ඉතිහාසය ආශ්‍රයෙන් පුළුල් පරාසයක් ඔස්සේ කලාකාමී ඔබ වෙතට සැප්තැම්බර් 07 වැනිදා මෙල්බර්න් හි Huntingtower Arts Centre හිදී හවස 6 සිට පුරා හෝරා තුනක් ඔබේ සෞන්දර්යාත්මක මනස වෙනුවෙන්,ඔබේ සන්සුන් සහ දැනුමින් පිරි කලාත්මක සිතුවිල්ලෙන් තවත් දහසක් දෙනා සුවපත් වෙන නිසාවෙන් ඔබ වෙනුවෙන් පමණක්ම නොව අපි වෙනුවෙන්ම පමණක් මේ පිරිපුන් ප්‍රසංගයට ඔබත් එන්න.

” නැගිටින්න -Stand Up “
DRD එනම් දර්ශන රුවන් දිසානායක වෘත්තියෙන් සංගීතඥයෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්.ඔහු මේවනවිට දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍රවූ ශ්‍රී ලංකාවේ සුවිශේෂිතම සංගීතඥයෙකි. එපමණක් නෙමෙයි ඔහු ලංකාවේ ඉතිහාසයත් ලෝක ඉතිහාසයත් සමග සමාජය හරිම තැනින් කියවා අල්ලාගත් සැබෑ කලාකරුවෙකි. ප්‍රබල සමාජ සේවකයෙකි.පරිසර හිතවාදියෙකි.

දිවයිනේ නන්දෙසින් හමුවෙන බිම් මට්ටමේ අංකුර දක්ෂයින් රැසක් ජාතික තලයට හඳුන්වා දුන් කෙනෙකි. සත්‍ය වශයෙන්ම ඔහු නිසා ශ්‍රී ලාංකේය කලා කෙතට එකතු වූ ශක්තිමත් නවක කලාකරුවන් රැසක් අද ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිනවා.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික පරිවර්තන සහ අනුවර්තන තුළ ක්‍රමිකව ගලාගෙන ආ සමාජය අද වනවිට විශාල ඛේදවාචකයකට මුහුණ දෙමින් ඇත.එයින් ප්‍රධානම ගැටළුව සමාජය තුළ ඇති සංස්කෘතික හා ආර්ථික කඩාවැටීම් එක්ක ඇතිවුන සුවිශාල ආකල්ප පිරිහීමයි. මේ සියල්ල අති සංවේදී කලාකරුවෙක් ලෙස ඇති සැටියෙන් වටහාගත් දර්ශන ( DRD ), මේ මොහොතේ ලංකා පොළොව තුළ ජීවත්වන ජනප්‍රජාවට දරුණු ලෙස අහිමි වී ඇත්තේ ආදරය බව වටහාගත්තේය. සියල්ල අවභාවිතා වෙමින් ආදරය අහිමිවී හෙම්බත්වී ආතතියෙන් සිටින සමාජයට මේ මොහොතේ කලාකරුවෙකු විසින් ගෙනා යුතුමවූ ඒ ආදරය
” නැගිටින්න ගී කතාව” ( Stand Up musical concert ) තුළින් සපුරාලීම ප්‍රධාන අරමුණ හා වගකීම ලෙස ඔහු දැඩිව විශ්වාස කරයි.

ඔහු මෙම ප්‍රසංගය තුළ සම්පූර්ණයෙන්ම සංවේදී මිනිස් හිතවලට ගී ස්වරයෙන් කතා කරමින් විඩාබර නිද්‍රාගත ජනතා සිත් අවදිකරයි.අඳුරෙන් එළියට රැගෙන යයි.
DRD විශ්වාස කරන්නේම කලාකරුවකු තුළ නිරන්තරයෙන් උපදින්නේ ආදරය බවත් සියලු බෙදුණු සීමා මායිම් එකට එකතු කරන්නට ආදරයට හැකි බවත්‍ ය.

මේ මුළු ප්‍රසංගය තුළම ඔහු ගොඩනගන්නේ මේ මොහොතේ ලොව සිටින බුද්ධිමතුන් වැඩිම පිරිසක් කියවන සහ ආදර්ශයට ගත් පොතකි. එය නම් යුදෙව් ජාතික යුවාල් නෝවා හරාරිගේ සේපියන්ස් නැමති විශිෂ්ට කෘතියයි.

ඒ වගේම ඔහු “නැගිටින්න” යන වචනය ලබාගැනීමට පෙළඹෙන්නේ අප ජාතික ගීයේ ඇති එක්තරා වචන පේලියකින් බව ඔහු පොළොන්නරුවේ පැවැති නැගිටින්න ප්‍රසංගයේදී අපට කී බව මතක් කළ යුතුමයි.
එහිදී ඔහු ජාතික ගීයෙන් ලබා ගන්නේ “නිතර අප පුබුදු කරන් මාතා ” යන ගී පදයයි. මහගමසේකරයන්ගේ “නොපල ගීත” පොතේ සේකරයන් ජාතික ගීය ගැන දක්වන අදහස්, එකී ජාතික ගීයේ කොටස නැගිටින්න ප්‍රසංගය වෙනුවෙන් උපුටා ගැනීමට ඔහුට ඌන පූර්ණය සපයා ඇත.

විශේෂයෙන් මෙම නැගිටින්න ගීතාවලියේ විශේෂත්වය වන්නේ අපූරුම ආකාරයෙන්, ප්‍රධාන අවස්ථා හතරක් වේදිකාව මත ගීතමය වශයෙන් ගොඩනැගීම.

ඉන් පළමු කොටස ශ්‍රී ලංකාව යනු කවරේද යන්න හඳුන්වාදීමයි.

දෙවැනි කොටසේදී එහි තිබූ සංහිඳියාව,ආකල්ප හා සම්පත් ක්‍රම ක්‍රමයෙන් පරිහරණයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන පොළොවකට ආදරය අහිමි වීම ගැන කතා කරයි.එහිදී මිනිස් ආදරයේ විවිධ දිශානතීන් ඉතා සංවේදි හා ආකර්ශනීය ආකාරයෙන් ප්‍රේක්ෂකාගාරය වෙත සම්ප්‍රේෂණය කරයි.

තුන්වෙනි කොටසේදි එසේ ආදරය අහිමිවීමට බලපෑ හේතු ගැන කතා කරයි. අවසන් කොටසේදී ඒ සියල්ල එසේ නම් ඉදිරිය සකස් වියයුත්තේ කෙසේද යන්න DRD නැතහොත් දර්ශන කලාකරුවාගේ දැක්මෙන් සමස්ත සමාජයට යෝජනා කිරීම සිදුවෙයි

ඇත්ත වශයෙන්ම එතනදි අතීත චිලී රාජ්‍යයේ වික්ටර් හාරා මෙන්ද, ඇමරිකාවේදී Bob Marley මෙන්ද වූ, සංකලනයකින් ස්වයංපෝෂිත කරවූ දර්ශනගේ සංගීතමය ප්‍රකාශනය සැබෑ ලෙසම කලාකරුවාගේ මේ මොහොතේ යුතුකම ඕනවටත් වඩා”නැගිටින්න” ප්‍රසංගය තුළ යථාර්ථයක් කරවයි.
එකී යුතුකම මැනවින් වටහාගත් කලාකරුවෙකු ගේ ආදරණීය පණිවිඩයකි.

බර්ටෝල් බ්‍රෙෂ්ට් කී ලෙසම හොඳ ජනතාවක් පත්කර ගැනීමේ වූ උදාර චේතනාව DRDගේ “නැගිටින්න” ප්‍රසංගය තුළ සාක්ෂාත් වෙයි.එය ඉතාමත් ආකර්ෂණීය කතාබහක් සමග මියුරු සංගීතය එක්ක ගොඩ නැගුණු සොඳුරු ගීතමය හෝරා ත්‍රිත්වයකි.ඉතින් ආදරණීය සහෘද සැමට ආරාධනා කරනවා මැදහත්ව හා බුද්ධිමත්ව මේ ආදරණීය ප්‍රසංගය නරඹන ලෙසට.

Don't forget to share this post!

Recent Posts

a46afc5e-63d6-4d66-b46a-e742c38c91d9
September 19, 2024