ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුව රටවල් 43ක පුරවැසියන්ට ඇමෙරිකාවේ සංචාරය කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක නිලධාරීන්ගේ නිර්දේශ මත මේ සඳහා දැනටමත් ලැයිස්තුවක් සකස් කර ඇති බවත්, එම රටවල් කාණ්ඩ 3ක් යටතේ වර්ගීකරණය කර ඇති බවත් වාර්තා වේ.
රටවල් 10ක් ඇතුළත් එහි පළමු කාණ්ඩයට සම්පූර්ණයෙන්ම වීසා අත්හිටුවීමට නිර්දේශ වී ඇති අතර, ඊට ඇෆ්ගනිස්තානය, භූතානය, ලිබියාව, යේමනය, ඉරානය, සිරියාව, කියුබාව සහ උතුරු කොරියාව ද ඇතුළත් වන අතර නැඟෙනහිර අප්‍රිකාවට අයත් එරිට්‍රියා රාජ්‍යය සමඟ හයිටි, ලාඕසය, මියන්මාරය සහ දකුණු සුඩානය ඇතුළු රටවල් 5ක් දෙවැනි කාණ්ඩයට ඇතුළත් වන බවත්, එම රටවල පුරවැසියන්ට සංචාරක, ශිෂ්‍ය වීසා සහ සංක්‍රමණික වීසා අත්හිටුවීමට නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
එම ලැයිස්තුවේ තුන්වැනි කාණ්ඩයට බෙලරුසියාව, පාකිස්තානය සහ මධ්‍යම ආසියානු රටක් වන ටර්ක්මෙනිස්තානය ඇතුළු රටවල් 26ක් ඇතුළත් වන අතර, එම රටවල පුරවැසියන්ගේ වීසා අයැදුම්පත් අඩුපාඩු දින 60ක් ඇතුළත සම්පූර්ණ කිරීමට එම රටවල රජයන් අසමත් වන්නේ නම් නැවත සලකා බලනතුරු වීසා නිකුත් කිරීම අර්ධ වශයෙන් අත්හිටුවීමට නිර්දේශ වී තිබේ. මේ පිළිබඳ ට්‍රම්ප් පරිපාලනය තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඒ අනුව ඉදිරියේදී එම ලැයිස්තුවේ සංශෝධන සිදුවීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.