ඉන්දීය රජය විසින් දරුණු ආහාර අර්බුදයකට මැදි වී සිටින අග්නිදිග ආසියාතික රටක් වන ලාඕසයේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක ප්‍රදානයක් ලබා දී ඇතැයි වාර්තා වේ. ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරීත්ව අරමුදල යටතේ එම ප්‍රදානය සිදුවී තිබේ. ලාඕසයේ දරිද්‍රතාව පිටුදැකීම සඳහා එරට ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය අරඹනු ලැබුවේ දරිද්‍රතාව සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු 2019 වසරේදී එරට කළ සංචාරයකින් පසුව ලබාදුන් වාර්තාවක් පදනම් කරමින් බව ද සඳහන් ය.
ලෝක ආහාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරීත්ව අරමුදල මඟින් ලාඕසය ඇතුළු රටවල් රැසක දිගු කාලීන පෝෂණය සහ ආහාර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ගෝලීය කුසගිනි දර්ශකයේ රටවල් 127ක් අතුරින් 87 වැනි ස්ථානයට පත්වූ ලාඕසයේ ආහාර අර්බුදය මැඬ පැවැත්වීමට සහාය වීම එම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. වසර 2017 දී ඉන්දීය රජය විසින් පිහිටුවා ගනු ලැබූ ඉන්දීය – එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරීත්ව අරමුදල සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා දායකත්වය ලබා දෙන අතර, එමඟින් රටවල් 65ක විවිධ ව්‍යාපෘති 85ක් සඳහා පහසුකම් සලසා ඇතැයි ද වාර්තා වේ.