ලෝකය පුරා විවිධාකාරයේ කොරෝනා වයිරස් තුන්දහසකට අධික ප්‍රමාණයක් පවතින බවත් මෙම වයිරස් වවුලන්ගෙන් බෝවන බවත් එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින් අනාවරණය කර තිබේ. මේ සියලුම කොරෝනා වයිරස් වර්ගවලට මිනිස් සිරුරු තුළ රෝගකාරක වර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එම වයිරස් වර්ග චීනයේ පමණක් නොව ලොව පුරා තවත් රටවල වවුලන් අතර දක්නට ලැබෙන බවත් මහාචාර්ය පෝල් හන්ටර් සඳහන් කර තිබේ. මහාචාර්යවරයා මේ අදහස් පළ කර ඇත්තේ කොවිඩ් වයිරසයට සමානව සත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් සහිත නව කොරෝනා වයිරසයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබීමෙන් පසුව බව ද වාර්තා වේ. වයිරස් වර්ග පිළිබඳ පර්යේෂණ සිදු කරන කීර්තිමත් විද්‍යාඥවරියක වන සී ෂෙංග්ලි ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් චීනයේ ගුවැන්ඩොං, ෆුජියැන්, ෂෙජියැං සහ ගුවැංෂී ඇතුළු ප්‍රාන්ත රැසක කුඩා වවුල් වර්ග සියයකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධව සිදු කළ දීර්ඝ පර්යේෂණයකින් පසුව සොයා ගනු ලැබූ වයිරසය HKU5-CoV-2 ලෙස නම් කර තිබේ.