2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස එරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව නව රජයේ මෙවර අයවැය පෙර රජයන්ට සාපේක්ෂව වෙනස් මුහුණුවරක් ගන්නා බව සඳහන් වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන පළමු අයවැය බවට මෙය පත් වේ.
අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම මෙම මස 21 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.