සිරි සුමන ගොඩගේ ‘සුරතුර’ ලියන හැමගේ

  • Home
  • /
  • Blog
  • /
  • සිරි සුමන ගොඩගේ ‘සුරතුර’ ලියන හැමගේ

කම්කරුවකුගෙන් කම්හල් හිමියකු, අඳ ගොවියකුගෙන් කුඹුරු හිමියකු, ලේඛකයකුගෙන් පොත් ප්‍රකාශකයකු හොඳක් ඇසූයේ නම් ඒ ඉතා කලාතුරකිනි.

කම්කරුවාත්, අඳ ගොවියාත්, ලේඛකයාත්, කුරිරු ලෙස සූරාකෑම කම්හල් හිමියාට, කුඹුරු හිමියාට පොත් ප්‍රකාශකයාට හුරු වැ ඇති හෙයිනි. ඉතින්, සූරා කෑමට ගොදුරු වන්නන් අතින් සුරා කා තර වූවන්ට සම්මාන උපහාර පිදීමක් නම් කිසි කලෙක නොඇසුවිරූය.

එහෙත් ලේඛකයන්ගෙන් සම්මාන ලබන ගරු බුහුමන් ලබන ආශිර්වාද ලබන පොත් ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකාවෙහි වෙයි.

ඒ සිරි සුමන ගොඩගේ මහතා ය. වැඩිම පොත් ප්‍රමාණයක් පළ කළ හෙළදිව මහා පොත් ප්‍රකාශකයා වශයෙන් ඔහු දොළොස් වසරක් නොකඩවා ශ්‍රී ලංකා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදිණි. දේශබන්දු සම්මානය ද සාම විනිසුරු ගරු නිලය ද රජයෙන් ලැබූ ගොඩගේ සිරිමතුන්ට සර්වෝදය භාර අරමුදලෙන් ද ශ්‍රී ලංකා ප්‍රකාශක සිමිකම් සමාගම ඇතුළු රජයේ නොවන සංවිධාන රැසකින් ද සම්මාන ලැබිණි.

ලබන සතියේ 23 වැනිදා ගාලු පුරහලේ දී එතුමන්ට රුහුණු කාල හවුලෙන් ග්‍රන්ට සිරෝණි සම්මානය පිදෙයි. මේ හවුල රජයෙන් හෝ විදේශයෙකින් ආධාර ලබන සංවිධානයක් නොවේ. රුහුණේ ලේඛකයන්, කලාකරුවන් හා කවින්ගේ දහදියෙන් ගොඩ නැඟුණු සංවිධානයකි. රුහුණේ ලේඛකයෝ, කවියෝ, කලාකරුවෝ 23 වැනිදා මේ අසාමාන්‍ය පොත් ප්‍රකාශකයා පුදති.

රුහුණු කලා හවුලේ සභාපති මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන්ගෙන් අපි මෙසේ අසමු.

ගොඩගේ මහතා ව්‍යාපාරිකයෙක්. ඔහු මුදු මොළොත් සිත් ඇති කවින්ගේ, ලේඛකයන්ගේ හදවත් මෙසේ බැඳ ගත්තේ කොහොමද ?”

ගුණසේකරයෝ පිළිතුරු දුන්හ.

වැදගත් ම කාරණය එතුමා මුල අමතක නොකිරීම. තමා වින්ද දුක අනුන්ටත් ඇතැයි සිතා තමා ළඟට එන අයට එතුමා සුභදව සලකනවා.” අපි ගොඩගේ මහතා නිතර සිහි කරන මුල සොයා ගියෙමු.

වසරකට කීප වරක් ගං වතුරට යට වන, ඒ නිසාම මිනිස් ජීවිත කඳුළට ද යට වන වගා පාළුව නිතර සිදුවන මාතර පාලටුවේ ඔහු උපන්නේ 1936 මැයි මාසයේය. ඔහුගේ පියා ජේම්ස් ගොඩගේ අඳ ගොවියෙකි. ගෙදර ජීවිතය අඟහිඟකම් වලින් පිරී තිබිණි. දූ පුතුන් නව දෙනෙකුගේ කුස පිරවීමට අඳ ගොවි පංගුවට ලැබෙන දේ මදි විය. සිරිසුමන පවුලේ හය වැනියා විය. පාලටුව ගුණරතන මහ විදුහලේ නව වසරක් අධ්‍යාපනය ලැබූ ඔහු ඉගෙනීමේ සපනෙක් විය. ප්‍රියතම විෂය ගණිතයයි. ගණිතයට වැඩිම ලකුණු ගන්නා දෙතුන් දෙනාට ඔහු ද අයත් විය.

ඒ දක්ෂකම් යට කොට අඟහිඟකම් මතු විය. අප ජීවත් කරවීමට තාත්තා බොහෝ දුක් විඳිනවා’ ඔහුට නිතර සිතිණි. වයස අවුරුදු 15 දී ඔහු පාසල් ගමන නතර කොට ගමෙන් පලා ගියේ ‘තාත්තාට බරක් නොවෙමි පුළුවන් වුණොත් තාත්තාට උදව් කරමි’ යි සිතමිනි.

කළුතර කටුකුරුන්ද ගුරු විදුහල අසල හෝටලයක වේටර් රස්සාවක් ලබා ගත් ඔහු එහි දී, බොහෝ දුක් ගැහැට වලට මුහුණ පැවේය. මුළු දවස ම වැඩ වලින් පිරිණි. පඩිය ද සොච්චමකි. මාපියන්, සොයුරු සොයුරියන් ඔහුට නිතර සිහි විය. මසකට පසු ඔහු යළි ගමට ආවේය. ඔහු යළිත් ගෙදර දුකට එකතු විය. වැඩ පල නිසා ම තාත්තා දවසින් දවස දුබල වේ. නැවත ඔහු ගමින් පැනලා ගියේ කොළඹ සුරතල් මාළු සහ කුරුල්ලන් ඇති කරන තැනක නතර විය. කුරුල්ලන් මාළුවන් අතර ජීවත් වීම ඔහුට සතුටක් විය. පිළියන්දල සිටින බාප්පා කෙනෙකු සිහිව ඔහු එහි ගියේය. පොල් වෙළෙන්දෙක් වූ බාප්පා සිරිසුමනට විජේසේකර නැමැති මුද්‍රණාල හිමියකු හඳුන්වා දුන්නේ ය. විජේසේකර මේ ගැටවරයා මරදානේ එන්. ජේ. කුරේ සමාගමට භාර දුන්නේය. ඔහු එහි දී අච්චු අකුරු තැනීම ඉගෙන ගත්තේ ය. මේ අතර සිරිසුමන අහල පහළ ළමයින්ට ගණිතය පාඩම කියා දුන්නේය. ඔහු ගණිත ගැටලු මනෝමයෙන් විසඳන හැටි පිළියන්දල බාප්පා දුටුවේය. ඉගෙන ගත්තා නම් මේ කොල්ලා හොඳ තැනකට යනවා ඔහුගෙන් ඉගෙන ගන්නා ළමයින්ගේ වැඩිහිටියෝ කීහ. ඔව්… ඔව්. ගුරුවරයෙක් වෙන්න වුණත් පුළුවන්කම තිබුණා බාප්පා කීය. සිරිසුමන පියදාස සිරිසේනගේ නවකතා කියැවූයේ මහත් ආසාවෙනි. දුසිරිතට එරෙහිව කතා කරමින් සුසිරිත වගා කරමින් රට පුරා ඇවිදින කෝංගොඩ වික්‍රමපාලගේ චරිතයට ඔහු ප්‍රිය කෙළේය.

මේ අතර ඔහුගේ බාප්පා ඔහු පොත් ප්‍රකාශක ඩී. පී. දොඩංගොඩ සමාගමට ගෙන ගියේය. එහි දී ඔහු පොත් බැඳීම ඉගෙන ගත්තේය. බඳින්නට ලැබෙන පොත් කියවීමට ඔහුට ඉඩ ලැබිණි. ඒ නිසා පොත් බැඳීම ඔහුට ප්‍රිය මනාප රැකියාවක් විය. රෙක්සින් හම සහිතව පොත් බැඳ අයිතිකරුගේ නම රත්‍රං අකුරින් සටහන් කරන ඔහු ඒවා රාක්කයක තබා හැඩ බැලුවේය. දොඩංගොඩ සමාගමේ සේවකයන්ගේ වැඩ වර්ජනයකට හවුල් වූ ඔහුට රැකියාව අහිමි විය. ඉතින් ඊළඟට?’ ඔහු ඔහුගෙන් ම ඇසුවේය. මා දැන් වෘත්තීය පුහුණුවක් ලබා තිබෙනවා. තනිවම මට මගේ ම වැඩ පොළක් දාගන්න ඇත්නම් ඔහු සිතුවේය. ගොරකානේ කුඩා කාමරයක් කුලියට ගත් ඔහු පොත් බැඳීම ඇරැඹුව ද ඒ ප්‍රදේශයේ අවශ්‍ය වුයේ ඇඳ පුටු හැදීමය. ඒ නිසා සිරිසුමන සේයා රූ අලවන පොත් සහ සමරු පොත් සාදන්නට පටන් ගත්තේය. එයින් වාසියක් නොවූ හෙයින් පසුව ඔහු වේල්ල වීදියේ සාප්පුවක වැඩට ගියේ මුදල් පොත් සහ ලෙජ්ර් පොත් සාදන්නෙක් විය. මේ අතර ඔහු ඒ. එෆ්. ප්‍රනාන්දුගේ ශිෂ්‍ය මුද්‍රණාලයට ගොස් මුද්‍රණ ශිල්පය ද හැදෑරුෂවේය.මම මගේ ම වැඩ පොළක් පටන් ගන්න ඕන’ ඔහුට යළි සිතිණි.

1957 ඔහු මිතුරකු ද සමඟ එක්ව පොත් බැඳුමහලක් මාලිගාකන්දේ ඇරැඹීය. මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ භික්ෂුන් වහන්සේලාගෙන් ඔහුට බැඳීම සඳහා පොත් ලැබිණි.මේ යුගයේ දී සිරිසුමන බලන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන්ගේ ඇසුරට වැටිණි. ඔහු ඒ හිමියන්ගෙන් ජ්‍යෝතිෂය සහ සංස්කෘත භාෂාව ඉගෙන ගත්තේය. මේ කඩිසර ප්‍රියමනාප තරුණයාට උසස් අනාගතයක් උරුම බව බලන්ගොඩ හිමියෝ කීහ. ඒ හිමි සිරිසුමනගේ ව්‍යාපාරයේ දියුණුවට කොපින් ප්‍රෙස් එකක් තෑගි කෙළේය. සිරිසුමන තනිවම දෙමටගොඩ පොත් බැඳුම්හලක් ඇරැඹීය. එහි දී ඔහු අලුත් වැඩක් ද පටන් ගති. ඒ විද්‍යෝදය විද්‍යාලංකාර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සියයට දහයේ වට්ටමකට පොත් සැපයීමය. විද්‍යෝදය විශ්ව විද්‍යාල පුස්තකාලයාධිපති වේරගොඩ අමරමෝලි හිමියෝ සිරිසුමනට පුස්ත කාලය සඳහා පොත් සැපයීම ද පැවරූහ. “ගොඩගේ ගෙ වැඩ  හොඳයි” භික්ෂුන් වහන්සේලා අතර ඔහුගේ හොඳ නම කියැවිණි. පොත් බැඳීමෙන් ඔහුට ලොකු ලාභයක් ලැබිණ. රුපියල් අටසිය ද ඉක්මවිය. වැඩ වැඩි විය. ඔහු වැඩ පොළට තවත් සිව් දෙනෙකු බඳවා ගති. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ පුස්තකාලයට ද පොත් සැපයීම ඔහුට පැවැරිණ. පුස්තකාලාධිපති ටී. ජී. පියදාස මහතා ද පුස්තකාල සංගමයේ සභාපති ජයසිරි ලංකාගේ මහතා ද ඔහුට ආධාර කෙළේය. විද්‍යෝදය විශ්ව විද්‍යාල පුස්තකාලයේ සේවය කළ මහින්ද රාජපක්ෂ මහතා සිරි සුමනගේ ගමන් මඟට එළියක් විය. ඔහුට පාර පැහැදිලි විය. ධෛර්ය හා දැනුම තිබිණි. ඔහු ළමා පොත් කීපයක් මුද්‍රණය කොට පළ කෙළේය. ඒවා පොත්හල් වලට ගෙන ගියේය. සිරි සුමන පොත් පළ කිරීමට යාම අනෙක් පොත් ප්‍රකාශකයන්ගේ අප්‍රසාදයට හේතු විය. ඔහුගේ පොත් විකිණීමට බාරගත් පොත්හල් හිමියෝ පොත් විකුණූ පසු ද මුදල් නොදුන්හ. එහෙත් ඔහුගේ දිරිය නොසිදිණි. 1970 දී ඔහු මරදානේ ගොඩනැගිල්ලක් බද්දට ගෙන පොත් හලක් විවෘත කෙළේය. පොත් වෙළෙඳාම ද පොත් ප්‍රකාශනය ද පොත් බැඳීම ද ඔහුට එතැන සිට කළ හැකි විය. මහාචාර්ය බන්දුසේන ගුණසේකරයෝ ඔහුගේ පොත් ප්‍රකාශන ව්‍යාපාරයට මුලින් ම උදව් වූ අතර ලේඛකයන් හඳුන්වා දුන්හ. ඔවුනගේ අත් පිටපත් ලබා දුන්හ. සුළු කලෙකින් ඔහුට ඒ ගොඩනැගිල්ල මිලට ගත හැකි විය. දැන් ඔහුට කොළඹ නගරයේ හොඳ ම තැනක ඔහුගේ ම පොත් හලක්. මුල් වසරේ ඔහු පොත් විසි පහක් පළ කෙළේය. දෙවෙනි වසරේ හතළිහකි. තෙවන වසරේ පනහකි. සිව්වන වසරේ හැට දෙකකි. පසුගිය වසරේ 1997 ඔහු පොත් හයසියයක් පමණ පළ කෙළේය. 1986 සිට ලංකාවේ වැඩි ම පොත් ප්‍රමාණයක් පළ කරන පොත් ප්‍රකාශකයා වූයේ ඔහු ය. මේ කාලය තුළ ඔහුගෙන් පොත් පන්දහසකට වඩා රටට ලැබිණි. ඔහුගේ වෑන් රිය දෙකක් රට පුරා ඇවිදිමින් අද පොත් බෙදීමේ යෙදේ.

1970 ඇරැඹුණු පොත් හලට නුදුරෙන් 1997 දී ගොඩගේ පොත් මැදුර නමින් සිව් මහල් මහ පොත් හලක් ඇරැඹිණ. ඒ ගොඩනැගිල්ල බද්දට ගෙන වසරක් ගත වීමට පෙර එය මිලට ගැනීමට ඔහුට හැකි විය. දැන් හෙළදිව මහ පොත් වෙළෙන්දා ඔහුය. මහකමක් නොවීම ඔහුගේ විශේෂයයි. මහාචාර්ය ගුණසේකරයන් සඳහන් කළ පරිදි ඔහුට ඉතා මැනවින් මුල මතකය. වින්ද දුක මතකය. ඒ නිසා ම ඔහු ළඟට එන ලේඛකයන්ගේ කවීන්ගේ කලාකරුවන්ගේ දුක ද ඔහු හොඳින් හඳුනා ගනී. ආධුනික ලේඛකයෙක් එයි. අත් පිටපතක් දෙයි. ගොඩගේ මහතා පිටපත දෙස මඳක් බලා නවකයාගේ මුහුණ දෙස හුඟක් බලයි. අත් පිටපත බාර ගනී. ඇතැම් විට මසකින් දෙකකින් නැත්නම් වසරකින් දෙකකින් පොත පළ වෙයි. පළ නොවුවද නවකයා නොරිදුණු සිතින් ඉවසයි. භාෂාවට සාහිත්‍යයට ඉහළ මෙහෙවරක් කළ ලේඛකයකු අනාථව අසරණව රෝගීව සිටින බව ඔහුට අසන්නට ලැබේ. ඔහු ලේඛකයා සොයා යයි. හැකි අයුරින් පිහිට වෙයි. වෛද්‍ය ගාස්තු ඖෂධ ගාස්තු ගෙවයි. එහෙත් ඔහු ලේඛකයා ණයකාරයකු නොකරයි. ලිවීමට දිරි දෙයි. ලියූ නොපළ පොත් පළ කරයි. පොත විකුණුනේ නැතත් කර්තෘ භාග ගෙවයි. කලකට පෙර පෙරළිකාර විප්ලවවාදී ලේඛකයකු වූ දැස් අඳව අත් පා දුබලව රෝගීව සිටින ආනන්ද කුමාර මහතා ගැන සිරිසුමන ගොඩගේ මහතා ඇසීය. වමේ දේශපාලන දර්ශනය සරල බසින් සිංහලයට හඳුන්වා දුන් ඒ මහා ලේඛකයා නැගිටුවා ප්‍රතිකාර ගැනීමට උදව් කොට ඔහු ලියූ කාල්මාක්ස් ගේ ජීවිතය හා දර්ශනය නමැති කෘතිය ද පළ කෙළේය. පිටු 425 ක් විශාල වූ ඒ කෘතිය ලියා වසර 15 කට වැඩි කාලයක් ගෙවිණ. තවත් දෙමසකින් යෞවන ගීතය නමැති චීන මහා නවකතාවක් ආනන්ද කුමාරයන්ගේ සිංහල බසින් පළ වේ. නමින් සඳහන් නොකළ අසරණ වූ ණය බරින් මිරිකුණු ලේඛකයන් විශාල ප්‍රමාණයකට ගොඩගේ මහතාගේ අත ලැබිණ. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා එතුමා බෝසතකු සේ හඳුන් වන්නේ එහෙයිනි. රැකියාව අහිමි කැරුණු යුගයේ දී ගම්ලත් රැකුණේ ද ගොඩගේ මහතාගෙනි. රසවතුන් මිස මිල මුදල් නොසෙවූ සුගතපාල ද සිල්වා මහතා කලාකරුවාණෝද ඔවුන් සරණ වූ අයුරු මහත් සෙනෙහසින් සිහි කරති. මිනිසුන්ගේ කුරිරුකම් සහ දුෂ්ටකම් ගැන නිතර කතා කළ ‘මිනිසුන් නොදිටිමි ‘ යි කී මහා ලේඛක ජී. බී. සේනානායක මහතාට සිය ජීවිතයේ අග හරියේ දී සිරිසුමන ගොඩගේ නම් වූ සැබෑ මිනිසා හමුවිය. ලියූ සියලු පොත් වලට දෙගුණයක් කර්තෘ භාගය ගෙවමින් ඒ මහතා ලේඛකයාගේ ජීවිතයේ අන්තිම දවස් අඟහිඟකම් වලින් මිදවීමට ගොඩගේ මහතාට හැකි විය. අතට කවර තරම් පාඩුවක් සිදු වුවද ඔහු මහාචාර්ය සරච්චන්ද්‍ර, ඒ. වී. සුරවීර, ජී. බී. සේනානායක වැනි මහා සාහිත්‍යධරයන් වෙනුවෙන් දැවැන්ත උපහාර ග්‍රන්ථ පළ කෙළේය.නවීත – ප්‍රවීණ කවර නම් ලේඛකයකුගේ වුව පොතක් දොරට වඩනා විට ඒ උළෙලේ සිටින්නේ දෙදෙනෙකු නම් ගොඩගේ මහතා එයින් එක් කෙනෙකි. පොත් දොරට වැඩුම් පවතින හැම තැනම ගොඩගේ මහතා පෙනේ. අලුත් පොතක් ඔහු අතට ගන්නේ දරුවකු වඩා ගන්නා තරමේ සෙනෙහසිනි. ඔහුගේ නිවසේ කාමරේ ඇඳ මත මේසය මත පුටු මත ද පොත්ය. එය මහා අවුලක් මෙන් අමුත්තන්ට පෙනේ. එහෙත් පොත් නැති තැන ඔහුට ජීවිතයක් නැත. ලේඛකයන් සමඟ කදේ වැටී සිටීම තරම් සතුටක් ඔහුට තවත් නැත. මේ මට උදව් වූ දේ – පොත්, මේ මට උදව් කළ අය ලේඛකයෝ. ඔහු සිතන්නේ එහෙමයි. ඔහු දවසක් දෙකක් හෝ ඇසුරු කළ ලේඛකයෙක් ඔහුගේ සිතට රිදුමක් වන්නට නොදෙයි. වරක් ආදායම් බදු දෙපාර්තමේන්තුව ගොඩගේ මහතාගෙන් අසාධාරණ ලෙස විශාල මුදලක් අය කිරීමට සැරසුණේය. මෙය ඇසූ ලේඛකයෝ අසූ දෙනෙක් එය නතර කරන්නැයි උද්ඝෝෂණය කළහ. ලබන සතියේ 23 වැනිදා ගාලු පුරහලේ දී රුහුණු කලා හවුල ග්‍රන්ථ ශිරෝමනී සම්මානයෙන් එතුමා පුදන්නේ ලේඛකයන්ට එතුමා දුන් ධෛර්යයට අනුග්‍රහයට කෘත ගුණ සැලකීමක් ලෙසය. රුහුණේ පමණක් නොව මුළු මහත් දිවයිනේම භාෂා සාහිත්‍ය ශාස්ත්‍ර ප්‍රවීණයන්ගේ ආශිර්වාදය ගොඩගේ මහතාට හිමිය.

 1997 වසරේ පළවූ ලිපියකි. මේ වනවිට සිරි සුමන ගොඩගේ සුරීන් වැඩිම පොත් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකයා ලෙස නොකඩවා 37 වන වතාවටද රාජ්‍ය සම්මානය දිනා ඇත.

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024