අධි මානසික බලයක්ද, ඇන්දවීමක්ද?

  • Home
  • /
  • Blog
  • /
  • අධි මානසික බලයක්ද, ඇන්දවීමක්ද?

ආනන්ද සහ ගීතාන් පාසල් කල සිට මිතුරන් වූ අතර නොයෙකුත් විෂයයන් ගැන වරින් වර සාකච්ඡා කිරීම ඔවුන්ගේ සිරිතක් වී තිබුණි.  විවිධ විෂයයන් පිළිබඳව ආනන්දට තිබෙන දැනුම  හා අවබෝධයත්, යමක් සරලව හා තර්කානුකුලව සිත්ගන්නා අයුරින් පහදා දීමේ හැකියාවත් නිසා ගීතාන් විශේෂයෙන් ඔහු හා කතා බහ  ප්‍රිය කළේය.

දිනක් ආනන්දගේ නිවසේදී හමුවූ ඔවුන්ගේ සාකච්ඡාව කේන්දර සහ ලග්න පලාපල සම්බන්ධයෙන් විය. ඒ අතරතුර ගීතාන් පෙර දිනෙක තමා දුටු රුපවාහිනී වැඩසටහනක් ගැන සඳහන් කළේය.

“ඒ වැඩසටහනට ඇවිත් හිටපු ජ්‍යෝතිෂ්‍යවේදියා මහා පුදුම කෙනෙක්. එයාට අධි මානසික බලයක් තියනවා කියලයි එයා කියන්නේ. ඕනෑම දිනයක් කිව්වොත් එවෙලේම ඒ දිනයට අදාල දවස කියනවා.”

“මමත් ඔය වැඩසටහන දැක්කා”, මඳක් සිනහමුසු වෙමින් ආනන්ද කිවේය. ” හැබැයි මට නම් ඒකෙ අධි මානසික බලයක් පෙනෙන්නේ නැහැ. හොඳයි ඔයා කැමති දිනයක් කියන්න බලන්න”

“ම්… හොඳයි කියන්න බලන්න 1978 ජුනි 12 කවදද කියල?”

දෑස වසා මදක් කල්පනා කල ආනන්ද “සඳුදා” යයි කිවේය.

“හරියට හරි, හැබැයි අර මනුස්සය නම් දිනේ කියනවත් එක්කම කිසි පමාවක් නැතිව ටක් ගාල උත්තරය දෙනවා” ගීතාන් කීවේය.

“එක මම පිලිගන්නවා, හැබැයි ඒකට අධි මානසික බලයක් නම් අවශ්‍යය නැහැ, ඕන වෙන්නේ මනෝමයෙන් ක්ෂණිකව ගණනක් හැදීමේ හැකියාව විතරයි. ඒ අතින් නම් මිනිහ දක්ෂයෙක්. එත් ඔයා නෝටිස් කළාද නිවේදකයා පැහැදිලිව දිනේ කියල තියෙද්දිත් එයා ආයෙම සැරයක් ඒකම නිවේදකයගෙන් අහනවා? ඔයාට හිතෙන්නැද්ද මිනිහ අමතර පොඩි කාලයක් ලබාගැනීමක් ඒ කරන්නේ කියලා?”  ආනන්ද සුපුරුදු මඳ සිනහවෙන්ම පවසා “ඔයා ඉන්ටර්නෙට්, යූ ටියුබ් එහෙම බැලුවොත් මේ වගේ ගණනය කරන ක්‍රම කීපයක්ම හොයාගන්න පුළුවන් වෙයි” යයි තවදුරටත් කීවේය.

“ඒක එහෙමයි කියමුකො. එතකොට කේන්දරයක ග්‍රහ පිහිටීම් කිව්වම කේන්දර හිමියාගේ උපන් දිනය කියන්නේ කොහොමද අධි මානසික බලයක් නැතිනම්?” ගීතාන් ප්‍රශ්න කළේය.

“ඔය ප්‍රශ්නයටත් උත්තරයක් මා ළඟ තියනවා, ග්‍රහ පිහිටීම් වෙනස් වෙන්නේ එක්තරා රටාවකට නිසා මේකටත් ගණිතය සම්බන්ධ කරගෙන ඔය දේ කරන්න පුළුවන් කියලයි මම හිතන්නේ”

“එතකොට ඔයාටත් ඒ දේ කරන්න පුලුවන්ද?” ගීතාන් කුතුහලයෙන් ඇසිය.

“මෙහෙමයි, මට ජ්‍යෝතිෂ්‍ය ගැන මහා ගැඹුරු දැනුමක් නැහැ, නමුත් යම් අවබෝධයක් තියනවා. මම විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ක්‍රමයක් හොයා ගත්තා කෙනෙකුගේ උපන් දිනය සහ වෙලාව කිව්වම ලග්නය කියන්න පුළුවන් වෙන…ඒක විනෝදයටත්, කුතුහලයටත් කරපු දෙයක්. මේකට උපන් අවුරුද්දවත්, වෙලාව හරියට මිනිත්තුවට නිවැරදිව වත් ඕන නැහැ” ආනන්ද විස්තර කළේය.

“හොඳයි, කියන්න බලන්න මගේ ලග්නය මොකක්ද කියලා, මගේ උපන් දිනය මැයි දාහත, වෙලාව උදේ හයාමාරට විතර” ගීතාන් ඉල්ලීමක් කළේය.

“ඔයාගේ ලග්නේ වෘෂභ” ඇසිල්ලකින් පිළිතුරු ලැබිණි.

“හරි පුදුමයි, ඔයා කොහොමද ඒක කිව්වේ?” ගීතාන් මවිතයෙන් ඇසීය.

“ඒක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි, අවුරුද්දෙ අප්‍රේල් 13 සුර්යයා මීන රාශියෙ ඉඳල මේෂ රාශියට එනව. එතකොට මැයි 14 න් පස්සෙ සුර්යයා ඉන්නෙ වෘෂභ රාශියෙ. එතකොට ඉපදුනෙ හයාමාරට හින්ද සුර්යයා තියෙන රාශියම තමයි ක්‍ෂිතිජයේ ගැටිල තියෙන්නෙ. ඒක නිසා ලග්නෙ වෘෂභ, මොකද ලග්නය කියන්නේ කෙනෙක් උපන් වෙලාවේ ක්ෂිතිජයේ ගැටිලා තියන රාශිය නිසා” ආනන්ද පැහැදිලි කළේය.

“ඉතින් මේ ඔක්කොම ඔයා තත්පරෙන් කිව්වේ කොහොමද?” තවමත් කුතුහලය පහ නොවූ ගීතාන් ඇසීය. “ඔය ටික හිතන්නත් සැහෙන වෙලාවක් යනවනේ?”

“මම කලින් කිව්වා වගේ මම මේ සේරම සම්බන්ධ කරලා ගණිත සුත්‍රයක් හදාගෙනයි තියෙන්නේ, හරි හැටි පුරුදු වුනාම මනෝමයෙන් ගණන හදලා ක්ෂණිකව කියන්න පුළුවන්” ආනන්ද තව දුරටත් පැහැදිලි කළේය.

“එතකොට කේන්දරයේ ග්‍රහ පිහිටීම කිව්වම උපන් දිනය කියන එක?” ගීතාන් විමසීය.

“උපන් දිනයයි, වෙලාවයි දෙකෙන් ලග්නේ කියන්න පුළුවන් නම්, ලග්නෙයි, උපන් වෙලාවයි දන්නවනම් උපන් දිනය කියන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ? රවී, ඒ කියන්නේ සුර්යයා ඉන්න කොටුවෙන් උපන් වෙලාව අනුමාන කරන්න පුළුවන්. මම ඒකටත් ගණිතමය සුත්‍රයක් හදාගෙන තියනවා. ඕනනම් අපි ට්‍රයි කරලා බලමු. ඔයා ළඟ කාගේ හරි කේන්දර සටහනක් තියනවද?” ආනන්ද ඇසීය.

මොහොතක් සිය ජංගම දුරකථනය පිරික්සූ ගීතාන් “මේකේ මගේ පුතාගේ කේන්දරය තියනවා, ඔයාට ඒකෙ ග්‍රහ පිහිටීම් කියන්නද?” යි ආනන්දගෙන් ඇසීය.

“මට ලග්නයයි, රවී ඉන්න කොටුවයි විතරක් කියන්න” ආනන්ද ඉල්ලීය.

“ලග්නය කුම්භ, රවී ඉන්නේ අටවෙනි කොටුවේ” කේන්ද්‍ර සටහන බැලූ ගීතාන් කිවේය.

මොහොතක් කල්පනා කල ආනන්ද “පුතා ඉපදිලා තියෙන්නේ සැප්තැම්බර් 14 ත් ඔක්තෝබර් 14 ත් අතර දිනයක හවස හතරත් හයත් අතර වෙලාවක, හරිද?” ඇසුවේය.

එවිට නම් ගීතාන්ට විශ්මය සැඟවිය නොහැකි විය. “ඔයා නම් ඇත්තටම වැඩකාරයෙක්, පුතා ඉපදුනේ ඔක්තෝබර් 13 හවස හතරාමාරට, හැබැයි තව දෙයක්, අර වැඩසටහනේ ජ්‍යෝතිෂ්‍යවේදියා උපන් අවුරුද්දත් කිව්වා, උපන් දිනයත් සතියක පරාසයක් ඇතුලෙයි කිව්වේ, හැබැයි වෙලාව නම් කිව්වේ නැහැ.”

“මම ඔයාට කිව්වනේ මේ ටික ජ්‍යෝතිෂ්‍ය ගැන මට තියන සීමිත දැනුමෙන් කරපු දෙයක් කියලා. මම මෙතැනදී බැලුවේ රවීගේ පිහිටීම විතරයි. ඒ ජ්‍යෝතිෂ්‍යවේදියා අනෙක් ග්‍රහ පිහිටීම් කිහිපයකුත් සැලකිල්ලට අරන් ඔය ගණනය කිරීම කරනවා කියලයි මම විශ්වාස කරන්නේ. නැතිව එයා කියන විදියට අධි මානසික බලයක් තියනවා කියල මම නම් හිතන්නෙම නැහැ. හැබැයි එයා කාගෙ හරි මුහුණ හරි අත හරි බලල ලග්නය, උපන් දිනය, වෙලාව කියනවනම් ඔන්න මම පිලිගන්නවා එතන යම් අධිමානසික බලයක් තියෙන්න පුළුවන් කියල” ආනන්ද කිවේය.

“මටත් දැන් හිතෙනවා ඔයා හිතන විදිහ හරියි කියලා. ඇත්තටම මේ වගේ දේ වලින් අපි කොච්චර නම් රැවටෙනවද, ඇන්දෙනවද?” බලාපොරොත්තු කඩවූ ලීලාවෙන් සුසුමක් හෙලූ ගීතාන් පැවසීය.

“එක නම් එහෙම තමයි, හැබැයි මිනිහ දක්ෂයෙක් කියන එක අපි පිළිගන්න ඕන. මිනිහට හරිම වේගෙන් ගණන් හැදීමේ හැකියාවක් වගේම ජ්‍යෝතිෂ්‍ය ගැන ලොකු දැනුමකුත් තියනවා, නමුත් ඒ හැකියාවන් පාවිච්චි කරලා මිනිසුන්ව මුලා කරන එක නම් අන්තිම කැත වැඩක්…” ආනන්ද පැවසීය.

දෙදෙනාම මද වේලාවක් නිහඬ කල්පනාවක ගැලී සිටියහ. නැවතත් නිහඬ බව බින්දේ ගීතාන් ය.

“ආනන්ද, ඔයා අද මට කරලා පෙන්නපු ට්‍රික්ස් ටික මටත් කියා දෙන්න පුලුවන්ද?”

“ප්‍රශ්නයක් නැහැ, මම කියලා දෙන්නම්, හැබැයි දැන් නෙවෙයි, වෙන වෙලාවක. එතකම් ඔයාට කරන්න ගෙදර වැඩක් දෙන්නම්. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන ලග්න දොළහ ඒ පිළිවෙලට පාඩම් කරගන්න. ඒ එක්කම 0,3,3,6,1,4,6,2,5,0,3,5 කියන මේ අංක දොළහත් පිළිවෙලට පාඩම් කරගෙන මතක තියා ගන්න, එතකොට වැඩේ සෑහෙන්න ලේසියි” යයි කියූ ආනන්ද “හොඳයි, අපි ගොඩක් වෙලා   කතා කළා, දැන් ඉතින් තේ ටිකක් බොමු” යි කියමින් ගීතාන් ද කැඳවාගෙන ප්‍රියානි විසින් සුදානම් කර තිබූ තේ මේසය වෙත පිය මැන්නේය.

දිනයක් කියූ විට අදාල දවස මනෝමයෙන් කියන හැටි ලබන කලාපයෙන්

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024