ආලින්දය – ශ්‍රී ලංකාවේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු,තිර පිටපත් රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු සහ ජන මාධ්‍යවේදියෙකු වන චාමර ජනරාජ් පීරිස් සමඟ

  • Home
  • /
  • /
  • ආලින්දය – ශ්‍රී ලංකාවේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු,තිර පිටපත් රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු සහ ජන මාධ්‍යවේදියෙකු වන චාමර ජනරාජ් පීරිස් සමඟ

අද සන්නස ආලින්දයට කැඳවාගෙන එන්නේ ශ්‍රී ලංකාවේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු,තිර පිටපත් රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු සහ ජන මාධ්‍යවේදියෙකු වන චාමර ජනරාජ් පීරිස් සොහොයුරා ආයුබෝවන් චාමර 

ආයුබෝවන් චිත්‍රාන් 

මම කැමතියි චාමරගෙ ළමා කාලයෙන් සාකච්ඡාව පටන් ගන්න.

මම ඉපදුණේ කොළඹ. මගේ අම්මත් තාත්තත් දෙදෙනාම රජයේ සේවකයෝ. මම පවුලේ එකම ළමයා.පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. කොටින්ම කියතොත් මම ඉස්කෝලෙ යනකාලෙ ගොඩක් දේවල් වලට දක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් පුළුවන් දේවල් හොඳටම පුළුවන් . මට ලකුණු තිබුණෙත් ඔය චිත්‍ර වගේ නිර්මාණාත්මක විෂයයන් වලට. ඒවට ලකුණු 99 වගේ තිබිල අනෙකුත් විෂයයන්ට ලකුණු අඩු වුණත් මට පන්තියෙ ජාමෙ බේරගන්න පුළුවන් වුණා. මාව 5 වසරෙ ශිෂ්‍යත්ව විභාගයට යවන්න අම්මට උවමනාවක් තිබුණත් තාත්ත කිවුව ශිෂ්‍යත්වය ලියල මොනව කරන්නද, මේ දරුවට යන්න වෙන ඉස්කෝලයක් නැහැනේ,ඔය ළමයට කරදර නොකර ඉන්න දෙන්න කියල. ඒ හින්ද මම ශිෂ්‍යත්වයට ලිව්වෙත් නැහැ. ගෙදරින් මට බලපෑම් තිබුණෙත් නැහැ ඔයා ලොකු උනාම අරය වන්න මෙයා වෙන්න කියල. මම සාමාන්‍ය පෙළ කරන දවස්වල තාත්ත ඇහුව ඔයා ලොකු උනාම මොනව කරන්නද හිතාගෙන ඉන්නෙ කියල. මම කිව්ව මම නුවර කොළඹ ඉන්ටර්සිටි බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නයි හිතාගෙන ඉන්නෙ කියල. තාත්ත කිව්ව ඒක හොඳයි ජීවිත ගණනක වගකීමක් තිබෙන රස්සාවක් කියල. අපේ අම්මගෙ තාත්ත, මගේ සීයට මොරටුවෙ වඩුමඩුවක් තිබුණා. සීය එහෙ පොඩි පොඩි කාර් ජීප් ආදියත් හැදුව. සීයගෙන් ලැබුන ආභාෂයත් මගේ නිර්මාණ හැකියාවන්ට රුකුලක් වුනා කියල මම හිතනව .

ඔබ පාසැල් අධ්‍යාපනය අවසන් කරලා වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට යනවා.ඒ ගැන තොරතුරු ?

මම  උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත්තේ ගෘහ නිර්මාණ ශිල්පය(Architecture) .මගේ චිත්‍ර ඇඳීමේ හැකියාවත් මෙයට උදව්වුනා කියල මට කියන්න පුළුවන්. මම එහෙදී ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධව විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. පසුව මම මොරටුව විශ්වවිද්‍යාලයෙන් භූ දර්ශණ නිර්මාණය පිළිබඳව විද්‍යාපති (MSc) උපාධිය ලබා ගත්තා.ඔය අතරේ ලේක්හවුස් ආයතනයේ බිතු සිතුවම් සඳහා තුන්දෙනෙක් ඉල්ලල දැන්වීමක් පලකරලා තිබුණා. මම එයට අයදුම්පතක් යොමුකළා .මගේ සුදුසුකම් වලින් ඒ තනතුර මට ලැබුණා.

ඔබ ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කරලා තියෙනව. සිනමා කර්මාන්තයටත් පිවිසිලා තියෙනවා. ඔබේ උතුරු සුළඟ චිත්‍රපටය දැනට ප්‍රදර්ශණය වෙනවා. ඔබේ ටෙලිනාට්‍ය ගණනාවක් ඉහලම සම්මානවලින් පිදුම් ලබා තිබෙනවා.ඔබ මුලින්ම  අධ්‍යක්ෂණය  ක‍රන ලද  ටෙලිනාට්‍යවලටත් එහෙම ඉහළම සම්මාන ගත්තේ කොහොමද? මම එහෙම අහන්නෙ හැමෝම වගේ ටෙලිනාට්‍ය ගණනාවක් කලාට පස්සේ තමයි සම්මානයක් ලබන්නේ

මගේ මාස්ටර් උපාධියට ඉදිරිපත් කල නිබන්ධනය තමයි අනුරාධපුර නගරය හදන්න පිට සක්වළ ජීවීන්ගේ දායකත්වය ලැබුණද යන්න. මෙහිදී මට ගොඩක් උදව් කළා ජෝන් බයිරන් කියල ස්කොට්ලන්ත මහාචාර්ය වරයෙක්, එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ, සහ තවත් කැම්පස් එකේ සර් කෙනෙක්.වසර දෙකක් තිස්සේ කරපු මගේ නිබන්ධනයට උපරීම ලකුණු ලැබුණා. මම ලේක් හවුස් ආයතනයේ සේවය කරන කාලේ වෙබ් ටී වී එකක්  සකස් කරන්න යෝජනා වුණා. මේ සඳහා පුහුණුවක් ලබා ගන්න මමත් තව කෙනෙකුත් යැවුවා. මෙතැනදී මට කැමරාකරණය , සංස්කරණය කිරීම,ශබ්ද යෙදීම ආදී ටෙලි නාට්‍ය වලට අවශ්‍ය කරන බොහොමක් දේවල් ඉගෙන ගන්නට ලැබුණා. මේ සියල්ල එකට එකතු වුණාම ටෙලි නාට්‍යයක් බිහිකළ හැකිය කියා මට හිතුණ . මම නිබන්ධනය කරද්දී එකතු කරපු දැනුම අත්දැකීම් මේ ටෙලි නාට්‍යය සාර්ථක කරන්න උදව් වෙන්න ඇති.

උතුරු සුළඟ ඕස්ට්‍රේලියාවට හමයි ඔබේ උතුරු සුළඟ සිනමා පටය මේ මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ නගර 16 ක පමණ පෙන්වීමට කටයුතු කරල තියෙනව.මේ ගැන යමක් කියනවානම්?

මෙල්බර්න්, සිඩ්නි ,බ්‍රිස්බේන් , පර්ත් ආදී ඕස්ට්‍රේලියාවේ සියළුම ප්‍රදේශ වල චිත්‍රපටය පෙන්වන්නට කටයුතු යොදල තියෙනවා.වැඩි විස්තර මම ඉදිරියේදී දැනුම් දෙන්නම්.

ජනදාස පීරිස් මහත්මය කියන්නේ ශ්‍රී ලංකාව විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නා මාධ්‍යවේදියෙක්. එතුමා පුවත්පත් ක්ෂේත්‍රය ගුවන්විදුලි ක්ෂේත්‍රය හරහා විප්ලවයක් කරපු කෙනෙක්. මහා දැනුම ගබඩාවක්. ඒ දිනවල එතුමාගේ විදේශ විත්ති විචාරය කිසි කෙනෙකුට විවේචනයට අභියෝගයට ලක්කරන්න පුළුවන් වුනේ නැහැ.දක්ෂ පරිපාලන නිලධාරියෙක් හැටියට ආයතන කිහිපයක ඉහලම තනතුරු හොබවපු කෙනෙක් එතුමා. එහෙම කෙනෙක් ඔබේ පියා වීම ඔබේ කටයුතු වලට බලපෑවේ කොහොමද?

මෙහෙමයි. ගහකට උනත් අපි වතුර පෝර මුලටම දාල ඒ ගහ රැකගන්න ගියොත් ඒ ගහේ මුල් පද්ධතිය ඈතට විහිදෙන්නෙ නැහැ.එතකොට ඒ ගහ ඉක්මණටම කඩාගෙන වැටෙන්න පුළුවන්.නමුත් ගහට ස්වාධීනව හැදෙන්න ඉඩ දුන්නොත් ගහේ වතුර පොහොර සොයා ඈතට විහිදෙනවා.කඩා නොවැටෙන ශක්තිමත් ගහක් හැදෙන්නේ එහෙමයි. මම හිතන්නේ අපේ තාත්ත කටයුතු කලෙත් අන්න එහෙම හිතල. තාත්ත අපිට ස්වාධීනව කටයුතු කරගෙන යන්න ඉඩ දුන්න මිසෙක මගේ දේවල් වලට ඇඟිලි ගැහුවේ නැහැ. අනෙක තාත්තාගේ ක්ෂේත්‍රයයි මගේ ක්ෂේත්‍රයයි වෙනස්. මගේ සුදුසුකම තියෙන්නේ වරලත් භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පියෙක්  ( Chartered landscape architecture ) හැටියට. පුවත්පත් කලාවේදය මට හොඳින් පුළුවන්. ඒක තාත්තගේ ආභාෂය නිසා කියලයි මම හිතන්නේ. නමුත් මම එය තෝරාගත්තේ නැහැ. තාත්ත ඒකට බලපෑම් කලෙත් නැහැ. මගේ අම්මත් පරිපාලන නිලධාරිනියක්. එතුමිය මාලිනී පීරිස්. ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් හැටියට අන්තිමට කටයුතු කලේ. මට රාජ්‍ය සේවයට එකතුවෙන්න කියල අම්ම බලපෑම් කලෙත් නැහැ.

ඔබ සමඟ ගතකළ මේ අවස්ථාවේ වෙලාව ගතවෙනවා දැනුනේවත් නැහැ.තව සැහෙන වෙලා කතා කරන්න උවමනා උනත් පිටුවේ ඇති ඉඩකඩ ඊට හරස් වෙනවා. අපේ ආරාධනය පරිදි ආලින්දයට පැමිණීම සම්බන්ධව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.

සන්නසට මට ආරාධනා කිරීම සම්බන්ධව ඔබටත් සුමේධටත් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් චිත්‍රාන්.

 සාකච්ඡා කළේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024