ඉරිදා හවස චාර්ලිස් විදානේගේ නිවසේ ආලින්දයට කිහිප දෙනෙක් එකතු වෙති. මේ සතුටු සාමීචියේ යෙදී සිටින්නටය. එදින එකතු වූයේ අම්බලන්තොට වී මෝලක ලිපිකරුවකු ලෙස රැකියාව කරන පියසෝමත් ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු වූ හසන් හජ්ජියාරෙත් පළාතේ කට්ටඩියෙක් වූ අමාරිස් ගුරුන්නාන්සේ හා චාර්ලිස් විදානේත් ය.
හජ්ජියාර් කතා කරන්නට ගත්තේ මැණික් සම්බන්ධවය. දැන් රත්නපුර ප්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම මැණික් ඇති බව හේ කීවේය. මීට අමතරව ඇතැම් නාගයන් ළඟ මැණික් ඇති බව ගුරුන්නාන්සේ කීය. හජ්ජියාර් ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වීය. එපමණක් නොව වලිග දෙකේ සිකනලුන් ළඟ ද ඉතා වටිනා මැණික් ඇති බව ගුරුන්නාන්සේ කියත් ම හසලක පිහිටි තම නිවස වටා එවන් සිකනලකු නිතර සැරිසරන බව පියසෝම කීවේය. හැමෝම තම තමන්ගේ ආසන තවත් ළංකර ගනිමින් මේ ගැන කතා කරන්නට වූහ.
ඔය වලිග දෙකේ හිකනලාගෙ උගුරෙ තියෙනව මැණික් දෙකක් කීවේ ගුරුන්නාන්සේය. “ඒක නං හරි ලේසිනෙ. අපිල උගේ උගුර පලනව මෙණික ගන්නව ” හජ්ජියාර් කීවේය. සත්තු මරල මැණික් ගන්න බෑ. ඒවට ක්‍රම සහ විධි තියෙනව ගුරුන්නාන්සේ කීය. “කොහොමත් ඔය සත්තු මරණ වැඩවලට මං කැමති නැහැ විදානේ කීවේය.
“එහෙනං ගුරුන්නාන්සෙ කියන්න ඒක කරන හෙටි”. හජ්ජියාර් කීවේය.
“මෙහෙමයි. අපි ගන්නව මුදවපු කිරි හට්ටියක් ඊට පස්සෙ ඒකට උඩින් තියනව සිකනලාට යන්න බැරි තරමේ අඩියේ හිලක් විදපු හට්ටියක්. ඊට පස්සෙ සිකනලා ඒ හට්ටියට දමල තව හට්ටියකින් උඩින් වහනව”. ගුරුන්නාන්සේ පැහැදිලි කළේය.
“එතකොට මොක්කද වෙනවා”? හජ්ජියාර් ඇසීය.
“ටික වෙලාවකදී සිකනලාට කිරිවල සුවඳ දැනෙනවා. ඉතිං ඌ කිරි කන්න හිතල උගේ උගුරෙ තියෙන මැණික් දෙක වමාරනව. එතකොට ඒ දෙක අර හිලෙන් පල්ලෙහා කිරි හට්ටියට වැටෙනව. අපි ඊට පස්සෙ කිරි හට්ටිය හෙමිහිට සුද්ද කරල මැණික් දෙක ගන්නව”. ගුරුන්නාන්සේ කියද්දි කිසිවෙක් සද්ද නොකර සාවධානව අසා සිටියහ. “මරුනෙ ගුරුන්නාන්සෙ මරුනෙ” හජ්ජියාර් ඉතා සතුටෙන් කීවේය.
“එහෙනං පියසෝම මල්ලි, අපිල දෙන්ම යමු. සිකනලා අල්ලගමු.” හජ්ජියාර්ට ඉවසුම් නැති විය.
“මේක එහෙම කරන්න බැහැ…..මම තනියම ගිහිල්ල ඌව අල්ලගෙන එන්නං මේකට දවස් දෙක තුනක් යයි”. පියසෝම කීවේය.
“අයි අයියෝ ඇයි එච්චර කල්” හජ්ජියාර් අහසට දෑත් දිගු කරමින් කියද්දි
“තවත් එක කොන්දේසියක් තියෙනව. මේ ගන්න මැණික් දෙක මගේ ” පියසෝම සැරෙන් කීවේය.
“ෂරි ෂරී මෙණික මල්ලිගෙ තමා, මම යේක ෂල්ලි ඔක්කොම දීලා ගන්නවා. යේක විතරක් නෙවෙයි ගුරුන්නාන්සෙට, විදානෙ මහත්තයට ඔක්කොටම සල්ලි දෙනව”.
“නෑ නෑ මට සල්ලි ඕන නෑ” විදානෙ මහතා කියද්දි
“මේ කෝපි හදල තියෙන්නේ ඇවිල්ල ගෙනියන්න” යැයි ගෙතුළ සිටි හාමිනේ කීවාය. “මක්කෙයි අනේ ඔහේ දොඩවන්නේ අපිට සල්ලි ඕන නැහැ කියල, ඔහේට හතර මහ නිදානෙ පහළ වෙලයි. ඕව ලස්ස ගණන් හුවමාරු වෙන මැණික් බිස්නස්. ඉන්නකො මං
ඇවිල්ල කතා කොරන්න” හාමිනේ ගෙතුළට ආ විදානෙට කියමින් විදානෙත් සමඟම එළියට ආවාය.
“ඔන්න පියසෝම මල්ලී ඔය වැඩේ කොරන්න මල්ලිට මං අපේ ගෙදර කාමරයක් සුජානං කොරල දෙනව, කෑම බීම ඔක්කොම මං ගාණෙ, ඉතිං හජ්ජියාර් මහත්තයෝ ගනුදෙනුවල දී අපි ගැනත් බලන්න ඕනෑ හරිය.” හාමිනේ තාලයට පැද්දෙමින් කීවාය.
“නෙතුව නෙතුව යේවා ඔක්කොම ෂරි හාමිනේ” හජ්ජියාර් ද කීවේය.
“මැණික් ගත්තට මදි ඒවට කරන්න ඕන වතාවත් තියෙනව. නැත්තං මැණිකත් ගත්තු එක්කෙනත් දෙකම ඉවරයි” ගුරුන්නාන්සේ ඉතා බැරෑරුම් ලෙස කිවේය.
පියසෝම හාල් මෝලෙන් දී ඇති තමාගේ කාමරයට ගියේ හෙට උදේම ගමට ගොස් දින දෙකක් ඇතුළත නැවත එන බවට පොරොන්දු වෙමිනි.
හජ්ජියාර්ගේ වාහනයේ යන ගමන් ගුරුන්නාන්සේ හජ්ජියාර්ට රහසක් කීවේය.
” හජ්ජියාර් මහත්තයා දැන් ඔය සිකනලාට තියෙනව මැණික් දෙකක්. එකක් ස්ථිර මැණික අනික ගමන් මැණික. අපි මැණික් දෙක ගත්තම විකුණන්නෙ ගමන් මැණික විතරයි. ස්ථීර මැණික මහත්තයා ගාව තියාගන්නව, ඉතිං අපි ගමන් මැණික පිට රටට වික්කත් පැය දොළහක් ඇතුළත ස්ථීර මැණික ළඟට එනවා. ඉතිං හජ්ජියාර් මහත්තයට ඇහැකි ගමන් මැණික ලක්ෂ වාරයක් වුණත් විකුණන්න . ඉතිං සල්ලිම තමා” ගුරුන්නාන්සේ පැහැදිලි කළේය.
“ගුරුන්නාන්සෙ නං දෙයියෙක්, අනේ මගේ ළඟින්ම ඉන්න ඕනැ ගුරුන්නාන්සෙ” හජ්ජියාර් කීවේය.
“ගුරුන්නාන්සෙ අරූ මැණික් දෙක අරගෙන වෙන එකෙකුට විකුණයි ද දන්නෙ නෑ” හජ්ජියාර් සැකෙන් ඇසීය.
“නෑ නෑ නෑ ඒකනෙ මං කීවේ වතාවත් හරියට නොකළොත් මැණික ගත්තු එකයි මැණිකයි දෙකම ඉවරයි කියල, ඒකට බයේ ඌ අනිවාර්යෙන්ම එනව. මගේ මොළෙත් එක්ක කාටවත් හැප්පෙන්න බැහැ”. ගුරුන්නාන්සේ කීවේය
දින දෙකකට පසු පියසෝම සපත්තු පෙට්ටියක දමාගත් වලිග දෙකේ සිකනලා ද රැගෙන පැමිණියේය අවශ්‍ය කරන අලුත් හට්ටි දෙකක් ද කිරි හට්ටි හතරක් හා පැණි මුලක් ද හජ්ජියාර් සමඟ නගරයට ගිය ගුරුන්නාන්සේ අරගෙන ආවේය. ඉන් එක් කිරි හට්ටියක් මේ කටයුත්ත සඳහා ද අනෙක් ඒවා කෑමට ගැනීමට ද විය. විදානේගේ නිවසේ කාමරයක් මේ කටයුත්ත සඳහා පියසෝමට සූදානම් කර දුන්නේය. තරමක් ඇඳිරි වැටෙද්දී සපත්තු පෙට්ටි පියන ඇර සියලු දෙනාට වලිග දෙකේ සිකනලා පෙන්වන ලදී. ඉන් පසු රබර් අත් වැසුමක් දමාගත් පියසෝම සිකනලා අතට ගත්තේය. ඌ දගලන්නට පටන් ගති. වහාම හිල විද ඇති හට්ටියට ඌ දමා උඩින් අනෙක් හට්ටියෙන් වැසුවේය. දැන් මෙම කට්ටලය කිරි හට්ටිය උඩින් තැබුවේය. හට්ටි තුනම මේසයක් මත වූ දරණයක් මත තබා කාමරයේ බළලුන් හෝ වෙනත් සතුන් ඇත්දැයි පියසෝම විපරම් කළේය. ඉන් පසු තාමරයේ දොර ජනෙල් හොඳින් වසා දමා දොරේ අගුළු ද දමා යතුර සාක්කුවේ දමා ගත්තේය. හතරදෙනාම දොර අභියස පුටු තබා ගෙන වාඩි වී සිටි අතර විදානෙ හාමිනේගෙන් කෝපි, තේ පැන්, කෑම වර්ග නොඅඩුව ලැබිණ.
පසුදා පහන් විය. හතර දෙනාම කාමරයට ඇතුළු වූ අතර පියසෝම උඩ හට්ටි දෙක මේසය මත තබා කිරි හට්ටිය අතට ගත්තේය. හුරේ මෙත්ත මැණික් ගල් දෙක යොදය උඩ පාවෙවී තියෙනවා හතර දෙනාටම තමාගේ මුව වසා ගැනීමට නොහැකි විය. ඒ තරමටම සතුටුය. මැණික් ගල් දෙක අතට ගත් පියසෝම ඒවා ජලයෙන් සෝදා රෙදි කැබැල්ලක් මත තැබුවේය. ඒවා සාමාන්‍යයෙන් කඩල ඇටයක් තරම් විය. මුහුණත ගැළවූ විදුලි පන්දමක් අතට ගත් හජ්ජියාර් ඒවා පරීක්ෂා කළේය.
“චෑ චෑ චෑ පියසෝම මල්ලි යේක රුපියල් පන්සීය තමා වටිනවා. හජ්ජියාර් කීවේය.
මින් කෝපයට පත් පියසෝම හජ්ජියාර්ගේ අතින් මැණික් උදුරා ගෙන
“ඕන්නෑ මං මේව ආපහු සිකනලාටම දෙනවා” යැයි කියමින් කාමරය දෙසට ගියේය. “කලබල වෙන්න එපා මල්ලී කලබල වෙන්න එපා මෙණික් ඔයාගෙනෙ, ඔයා ගාණ කියන්න’’ එවර හජ්ජියාර් කීවේය.
“මට මේකට රුපියල් ලක්ෂයක් ඕනෑ” පියසෝම දැඩිව කීවේය.
හජ්ජියාර් ගුරුන්නාන්සේ දෙස බැලීය.
ගුරුන්නාන්සේ ඇසක් ගසා හෙමින් ඔළුව වනා එයට කැමැත්ත ප්‍රකාශ කළේය.
“මං කියන්න ද පියසෝම මල්ලී යෙ හෙත්තපන්දාහට ඉවර කරමු” හජ්ජීයාර් කීවේය.
මඳක් කල්පනා කළ පියසෝම එයට කැමැත්ත පළ කළේය. දාහේ කොළ හැක්ක පහක් පියසෝමට ලැබිණ. මසක වැටුප රුපියල් පන්සියයක් වන පියසෝමට මෙය ඉතා විශාල මුදලක් විය. ඔහු එවෙලේම සිකනලාද රැගෙන පිටත් වී ඌ කැලෑබද ප්‍රදේශයකට මුදාහළේය.
විදානේ හාමිනේට ද රුපියල් පන්දාහක් දුන්විට
“මේ මොනවද හජ්ජියාර් අපි එළිවෙනකං නිදි මැරුවටත් මේක මඳිනෙ” හජ්ජියාර් ඇයට තවත් රුපියල් දෙදහක් දුන්නේය. සියල්ලෝම විසිර ගියහ
හජ්ජියාර්ගේ නිවසට ගිය ගුරුන්නාන්සේ මැණික් දෙක හඳුනා ගැනීමේ පරීක්ෂාව සඳහා එක් මැණිකක පෑනකින් සලකුණක් තබා මැණික් දෙක අල්මාරි දෙකක තැබුවේය. පැය දොළහකට පසු පරීක්ෂා කළ විට මැණික් තිබුණ ලෙසට අල්මාරිවල තිබිණ. ඉන් පසු මේවා එකම අල්මාරියේ තට්ටු දෙකක තබා බැලීය. ප්‍රතිඵලය එයම විය. අනතුරුව එක් මැණිකක් කිලෝමීටර් දහයක් පමණ දුරින් ඇති හජ්ජියාර්ගේ නෑදෑයකුගේ නිවසක තබන ලදී. එක් මැණිකක්වත් ගමන් කළේ නැත. ඒවා තැබූ පරිදිම තිබිණ.
“අයි අයියෝ ගුරුන්නාන්සෙ තමුසෙ මාව කේව, රුපියල් පන්දාහක් වත් වටින්නේ නෙති මෙණික්වලට මං ලක්ෂයක් විතර වියදං කොයි අයියෝ මගේ ෂල්ලි” කියමින් හජ්ජියාර් වැළපෙන අතරේ ගුරුන්නාන්සේ එම නිවසෙන් පැනගත්තේය.
වලිග දෙකේ සිකනලුන් සිටීද?
ජීවීන් ඉපදීමේ දී කලාතුරකින් විකෘතිතා ඇති වේ. අතේ ඇඟිලි හයක් ඇති මිනිසුන් කලාතුරකින් දකින්නට ලැබෙන අතර කකුල් තුනේ දරුවන්, හොඬවැල සහිත බල්ලෙක් ගැන පසුගියදා අසන්නට ලැබිණ. මෙලෙසම වලිග දෙකක් ඇති සිකනලුන් ඉඳීමට ඉඩකඩක් ඇත.
වලිග දෙකේ සිකනලුන් ළඟ මැණික් තිබේ ද? මෙසේ වීමට කිසි ඉඩකඩක් නැත. මෙය හුදු ජනප්‍රවාදයක් පමණී.එසේනම් මෙහිදී වූයේ කුමක්ද?
පියසෝම කඩයෙන් රබර් වලින් සෑදූ සිකනලෙක් මිලට ගත්තේය. එහි වලිගය කපාගෙන එහි මහත පැත්තෙන් තුන් කාලක් පමණ පෙත්තක් වන සේ කපා අනෙක් අතට හරවා එහි මැද ඇති රබර් ඉවත් කොට මුදුවක් සේ සාදා ගන්නා ලදී. මෙම මුදුව කැළයෙන් අල්ලා ගත් සිකනලෙකුගේ වලිගයට කෙළවර තෙක් බස්සා ඌට වලිග දෙකක් ඇත්තා සේ පෙනෙන්නට සකස් කර ගත්තේය. තම සුළු මැණික් ව්‍යාපාරික මිතුරකුගෙන් ඉල්ලාගත් රුපියල් පන්දහසක් පමණ වටිනා මැණික් දෙකක් රහසේම කිරි හට්ටියට දමතා අතර සියලු දෙනා රැවටෙන්නේ මේ මැණික් සිකනලාගේ ඒවා බවටය. සිකනල් මැණික් ඉතා වටිනා බව ගුරුන්නාන්සේ කී හෙයින් පියසෝම මෙම ප්‍රයෝගය සැලසුම් කළේය.
චිත්‍රාන් මොරකන්දෙ ගමගේ