දේශගුණ විපර්යාස අභියෝගය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර පෙළ ගැසීම ප්‍රමාණවත්ද ?

  • Home
  • /
  • Blog
  • /
  • දේශගුණ විපර්යාස අභියෝගය ජය ගැනීම සඳහා ජාත්‍යන්තර පෙළ ගැසීම ප්‍රමාණවත්ද ?

එක්සත් ජාතීන්ගේ  (Climate Change Conference of the Parties – COP27) යන නමින් හැඳිවෙන “දේශගුණ විපර්යාස සමුළුව”   27 වන වරට, 2022 නොවැම්බර් මස 6 වන දින සිට,   ඊජිප්තුවේ ‘ශාර්ම් එල්-ශීක්’ (Sharm El-Sheikh) නගරයේදී පවත්වන ලදී.මානව සංහතියටම මහා විනාශයක් එල්ල කරනු ලබන දේශගුණ විපර්යාස සිදුවනුයේ ෆොසිල ඉන්ධන භාවිතය නිසා බව හඳුනා ගැනීමෙන් පසුව, 2015 වර්ෂයේදී පැරිසියේදී පවත්වනු ලැබූ ඓතිහාසික COP21 වන සමුළුවේදී,  දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා විවිධ රාජ්‍යයන් විසින්  ගතයුතු පියවර ගැන සම්මුතියකට එළඹෙන ලදී. එහෙත් මෙම සම්මුතියේ පරමාර්ථ හරියාකාර ඉටු නොවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය මහත් කනස්සල්ල පළකර තිබේ.මේ වනවිටත් සිදුවෙමින් පවතින දේශගුණ විපර්යාස සහ පසුගිය වසර කිහිපය තුළදී. ලොව පුරා සිදුවී ඇති ව්‍යසන  වල සම්පින්ඩණයක්  සහ ඒවා  සම්බන්ධයෙන් 2018 වර්ෂයේදී, එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහලේකම්, බන් කි-මූන් මහතා විසින් කරන ලද දේශනයක සංක්ෂිප්තයක්ද පහත දැක්වේ. ඉතා බලවත් පාරිසරික ව්‍යසනයක් වන ‘දේශගුණ විපර්යාස අර්බුදය’  පිලිබඳ අවබෝධයක් ලබාගැනීම පිණිස මෙම තොරතුරු මහත්සේ  ප්‍රයෝජනවත් වනු ඇත.                                                                              

දේශගුණ විපර්යාස නිසා ඇතිවී තිබෙන තර්ජනය, මුළු ලොවටම දැනී තිබේ. මේ වනවිටත් ඝර්ම කලාපීය සමහර රටවල, දැරිය නොහැකි නියඟ සහ ප්‍රදේශයේ වෙනත් රටවල අධික වර්ෂාපතනය, සම ශීතොෂ්ණ කලාපීය රටවල අධි තාප තරංග (heat waves) හෝ අධික හිම පතනය,  ධ්‍රැව ප්‍රදේශවල අයිස් කුට්ටි දියවීම සහ පොදුවේ ලොව පුරා සාගර ජල මට්ටම ඉහළයාම වැනි බොහෝ විපර්යාස සිදුවෙමින් පවතී. ජගත් පරිසර සංවිධාන රාශියක මූලිකත්වයෙන්, මෙම උපද්‍රව සඳහා අනුවර්තනය වීමේ  ක්‍රමෝපායයන් අනුගමනය කිරීමට සහ හරිතාගාර වායු මුක්ත කිරීමේ යම්කිසි ප්‍රතිශතයක් අඩුකර ගැනීමට, ලෝක ප්‍රජාව එකඟත්වය පළකර තිබේ. බොහෝ රටවල් මෙසේ ශුභවාදීව උපද්‍රව වලට මුහුණ දීමට  සුදානම් අතර, සමහර රටවල් ඒ සඳහා මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවද දකින්නට ලැබේ. ලොව බොහෝ රටවල තොරතුරු ඇසුරෙන් සකස් කර තිබෙන පහත දැක්වෙන සම්පිණ්ඩනයෙන් අද පවතින තත්ත්වය පිලිබඳ අවබෝධයක් ලබාගත හැකිය. 

දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා, බොහෝ රටවල් විසින්  උපයෝගී කර ගනු ලබන, මෙහි දැක්වෙන සියලුම පිවිසුම්, 2015 වර්ෂයේදී  පැරිස් සම්මුතියේදී  එකඟතාව පළකරන ලද, අනුවර්තනය වීමේ ක්‍රියාකාරකම් ලෙස ගිණිය හැකිය.

  • දකුණු ආසියාවේ බංග්ලාදේශය නිරතුරුවම ජලගැලීම් තර්ජනයෙන් පීඩා විඳින රටකි. සාගර ජල මට්ටම මීටර් භාගයක් ඉහල ගියහොත්, රටෙහි 40 % ක් පමණ ජලයෙන් යටවේ. මෙම තර්ජනයට මුහුණ දීම සඳහා  විවිධ ක්‍රමෝපායයන් සකස් කිරීම වෙනුවෙන්, බංග්ලාදේශය දැනටමත් ඩොලර් මිලියන 50 ක් වෙන්කර, ඒ සඳහා අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටී.
  • ප්‍රංශ රජය, තම රටෙහි සියලුම ගල් අඟුරු බලාගාර, 2023 වසර වන විට වසා දැමීමට තීරණය කර තිබේ. එමෙන්ම එක්සත් රාජධානිය 2025 දීත්, කැනඩාව 2030 දීත් තම ගල් අඟුරු බලාගාර අවසන් කිරීමට පියවර ගෙන තිබෙන අතර, චීනය ප්‍රධාන ගල් අඟුරු බලාගාරයක් දැනටමත් වසා දමා, නව ගල් අඟුරු බලාගාර 100ක්  සඳහා ඇති යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.
  • අයර්ලන්තය ෆොසිල ඉන්ධන භාවිතය සම්පූර්ණයෙන් අත්හැර දැමීමට තීරණය කර, ගල් අඟුරු, තෙල් සහ ගෑස් සඳහා,  එරට විසින්  විවිධ සමාගම් 150 ක පමණ යොදවා  තිබුණු, ඩොලර් මිලියන 350 ක පමණ ආයෝජන අත්හැර දමා, තම සාමාජිකත්වය අවලංගු කර ගෙන ඇත.
  • ඉන්දියාව 2030 වන විට විදුලි බලයෙන් ක්‍රියාකරනු ලබන වාහන පමණක්, නිෂ්පාදනය සඳහා ගිවිස ගෙන ඇත. නෝර්වේ රාජ්‍යය සහ නෙදර්ලන්තයද  2025 වනවිට, මේ ආකාරයටම කටයුතු  කිරීමට බලාපොරොත්තු වේ.
  • වොල්වෝ මෝටර් රථ සමාගම, 2020 වනවිට තම නිෂ්පාදන සියල්ලම විදුලි බලයට හැරවීම අපේක්ෂා කරමින්, දැනටමත් ඒ සඳහා මුලික කටයුතු සම්පාදනය කරමින් සිටී.
  • ප්‍රංශ රජය විසින් නීති ගතකර තිබෙන ආකාරයට, එරට සියලුම වාණිජ ගොඩනැගිලිවල වහල මුදුනෙහි කුඩා ‘හරිත උයනක්’ හෝ සූර්ය කෝෂ පද්ධතියක් ස්ථාපනය කළ යුතුය.
  • අධ්‍යයන වලින් හෙළිවී ඇති පරිදි, සාගර දූෂණයට හේතුවන,  ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් 90% ක් පමණ  සාගරය වෙත ගෙන එනු ලබන,  ප්‍රධාන ගංගා දහයක්   තිබේ. මෙයින් ගංගා අටක්ම  ආසියා මහාද්වීපයේය. මෙය මැඩ පැවැත්වීමේ මූලික පියවරක් වශයෙන්, ‘එක්වරක් පමණක්’ භාවිත කරණු ලබන  (single use) සියලුම ප්ලාස්ටික් වර්ග – බීම බට, තුනී බෝතල්, තුනී දවටන ආදිය – 2022 වසරේ සිට, නිෂ්පාදනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. 
  • සරු පොළොවෙහි පස ‘අද්භූත විශ්වයක්’ (mysterious universe) ලෙස සැලකිය හැකිය. සරු පස් මේස හැන්දක ධාරිතාව  ප්‍රමාණයේ පරිමාවක,   ක්‍ෂුද්‍ර පාංශු ජීවීහු, බිලියන හයක් පමණ සිටිති. පස සරු වනුයේ මෙම පාංශු ජීවීන් නිසාය. පස සංරක්ෂණය උනන්දු කරවීමට මෙය කදිම පිවිසුමකි.
  • අද ලෝකයේ ජනගහනයෙන් 6% ක්  පමණ පාපැදි වලින් කෙටි ගමන් බිමන් යති. මෙම ප්‍රතිශතය 14 % දක්වා වැඩි කර ගත හැකි වුවහොත්, වායු ගෝලයට කාබන් මුක්ත වීම  11 % කින් කපා හැරිය හැකි වේ.
  • ගෝලීය උණුසුම් වීම සඳහා තුඩු දෙන, හරිතාගාර වායු අඩුවෙන්ම මුක්ත කරනු ලබන, සංවර්ධනය වෙමින් පවතින, දිළිඳු  රටවල්  මත  සමස්ත ලෝකය විසින්ම උරදිය යුතු බරින් 82 % ක්  පවරා තිබීම බලවත් අසාධාරණයකි. මෙම තත්ත්වය සමනය කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රකාශිතය.
  • ලෝකයේ උත්පාදනය වන ධනයෙන්, 95% ක් රිසිසේ භුක්ති විඳිනුයේ, ලෝක ජනගහනයෙන් 40 % ක් විසින්ය. ඉතිරි 60% ක ජනතාව සඳහා වෙන්වනුයේ, එම ධනස්ඛන්ධයෙන් 5% ක් පමණකි. මේ සඳහා විකල්ප ගැන සිත් යොමු කර තිබේ.
  • දැනට භූ තලය මත, වාහන බිලියන 1.2 ක් පමණ තිබේ. 2040 වනවිට, තවත් වාහන එකතුවී,  මුළු වාහන  සංඛ්‍යාව බිලියන 2.2 පමණ වනු ඇත. මෙම වැඩිවීම සමග විකල්ප ඉන්ධන කරා යොමු විය යුතුය. පුනර්ජනනීය විකල්ප ගැන යොමුවීමේ ප්‍රවණතාවක් තිබේ. 

මෙම පිවිසුම් සියල්ලේම පාහේ ඇතුලත් කර තිබෙන ක්‍රමවේද,  වායු ගෝලයට කාබන් මුක්ත වීම සුළු වශයෙන් හෝ අඩුකර ගැනීමට ඉවහල් වන බව පැහැදිලිය. වායු ගෝලයට හරිතාගාර වායු වැඩියෙන්ම මුක්ත කරනු ලබන ඇමෙරිකා එක්සත් ජනපදය, පැරිස් සම්මුතියෙන් ඉවත් වීම කණගාටුවට කරුණක්  වී  තිබේ. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා එරට විසින් කරනු ලබන පර්යේෂණ සහ ඒ මගින් ලබාගන්නා  තොරතුරු, ඉදිරියේදී ගන්නා සියලු පියවර ශක්තිමත් කරගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත. 

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  මහලේකම්, බන් කි-මූන් මහතා විසින් 2018 සැප්තැම්බර්  මස 10 වන දින පවත්වන ලද, මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන විෂයය වුයේ දේශගුණ විපර්යාස  අර්බුදයයි. මේ එම දේශනයේ සම්පින්ඩණයකි. 

“අපට අභියෝගය ජය ගත හැකිය”   

 පෘථිවි ග්‍රහ ලෝකයේ ජීවත් වන මිත්‍ර වරුනි, අද මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනා ඉතා සාදරයෙන් පිලිගනිමි.

මා, අද ඔබ සැම මෙහි කැඳවූයේ, අනතුරු ඇඟවීමේ සංඥාවක් දීමටයි. මෙම සංඥාව, අද මුළු ලොවටම අහිතකර තත්ත්වයක් උදාකරමින්, අපගේ ජීවිත අඳුරේ දැමීමට විශාල වෙරක් දරන, දේශගුණ විපර්යාස නමැති මහා බලවේගය පිළිබඳවයි.අද, අපි අපගේ අනාගතය  පිලිබඳ තර්ජනයකට මුහුණ දෙමින් සිටිමු. දේශගුණ විපර්යාස අප පසුකර ගොස්, ඉතා වේගයෙන් ඉදිරියට යනු දකින්නට ලැබේ.  එහි අධික වේගය  නිසා අපට කාගේ හෝ උදව් පතා හදිසි ආයාචනයක් කිරීමට  සිදුවී ඇත. එහෙත් අපගේ පිළිසරණට මෙලොව කිසිවෙක් නොමැත. අපට සිටිනුයේ අප පමණකි.

මේ නිසා අද මේ අවස්ථාවේදී, සියලුම දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින් ඇතුළු, ලොව සෙසු ජනතාවගෙන්, ඉල්ලා සිටිනුයේ අවශ්‍යතාව අනුව, අප ඉදිරියේ තිබෙන සංග්‍රාමයේ  නායකත්වය ගන්නා ලෙසටයි.

 මේ සියල්ල හරියාකාර ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ආම්පන්න අප සතුව ඇත. 

එහෙත් අපගේ පසු බෑමක් තිබේ. 2015 පැරිස් සම්මුතියෙන් පසුව වුවත්, අප  අපගේ ඉදිරි ගමන වෙනුවෙන්, නිසි පියවර තබා නොමැත.

හිතවත් මිත්‍රවරුනි,  අප ඉදිරියේ ඇති ව්‍යසනය මැඩ පවත්වා ගැනීම සඳහා, කඩිනමින් කටයුතු කළයුතුද යන්න ගැන, කිසිම සැකයක් ඇතිකර ගන්නට එපා. දැනටමත් ලෝකයේ බොහෝ තැන්වල, වාර්තාගත උෂ්ණත්ව වැඩිවීම් සිදුවෙමින් පවතී.  ජගත් කාලගුණ විද්‍යා සංවිධානයේ තොරතුරු අනුව, ඔවුන් දත්ත ගැනීම ආරම්භ කළ, 1850 වර්ෂයේ සිට මේ දක්වා  කාලය තුල, පසුගිය දශක දෙකෙහි පමණක්  වසර 18 ක්ම  උෂ්ණත්වය අධිකම වර්ෂ වි තිබේ. අධි තාප තරංග, ලැව් ගිනි, චන්ඩ මාරුත සහ ජල ගැලීම් මගින් සිදුවූ අතිශය ප්‍රබල ව්‍යසන සහ මරණ පිලිබඳ සටහන් අප මතකයේ තිබේ. 

ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ, 2018 අගෝස්තු මාසයේ සිදුවූ මහා ජලගැලීම නිසා, ජීවිත හානි හාර සියයක් පමණ සිදුවී, මිලියනයක පමණ ජනතාවට උන් හිටි තැන් අහිමි  විය.  පසුගිය වර්ෂයේදී ‘මාරියා’ සැඩ කුණාටුව නිසා  පෝර්ටෝ රිකෝ දූපත්වල මිනිස්සු 3000 ක් ජීවිතක්ෂයට පත්වූහ. මෙය ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවූ දරුණුතම  සැඩ කුණාටුවකි. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුත්තේ, එහි මළවුන්ගෙන් බොහෝ දෙනෙකු මියගියේ, සැඩ සුළඟ නිසා ඇතිවූ  විදුලි බලය ඇනහිටීම, පානීය ජල හිඟකම සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා බවයි. 

දශක කිහිපයකට ඉහතදී සිට, විද්‍යාඥයෝ මෙවැනි ව්‍යසන සිදුවියහැකි බව පුන පුනා  කීහ. බොහෝ රාජ්‍ය නායකයෝ එම ප්‍රකාශ පිලි නොගත්හ. නොසැලකිල්ලේ අවසාන ප්‍රතිඵලය මෙයයි. 

කලකට පෙර  විද්‍යාඥයින් විසින්  සඳහන් කරන ලද,  සිදුවිය හැකියයි අනුමාන කළ,   සමහර උපද්‍රව වල  උපරිම අන්තරාය සිදුවී තිබේ. ආර්ක්ටික් සාගරයේ අයිස් තට්ටු බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා වේගයෙන් දියවී යමින් තිබේ. ඉතිහාසයේ පළමු වරට ග්‍රීන්ලන්තයට උතුරෙන් පිහිටි, අයිස් තට්ටු කැඩී බිඳී යමින් පවතී. ආර්ක්ටික් ප්‍රදේශයේ මෙම අනපේක්ෂිත කාලගුණ විපර්යාස නිසා, පෘථිවි  උතුරු අර්ධ ගෝලයේ  දේශගුණ රටා විකෘති වෙමින් පවතී. එයට සමගාමීව ලැව්ගිනි හට ගනිමින් ඒවායේ පැතිරී යාමද වැඩිවන බව වාර්තාවේ. මෙවර හටගත් ලැව්ගිනි කෙතරම් විශාලද යත්, ඒ  නිසා ඇතිවූ  ධූමිකා, ලොව වටා විසිරී ගොස් තිබේ. ඒ උණුසුම නිසා අයිස් තට්ටු දියවීම තවත් වැඩිවී තිබේ.

විවිධ හේතු නිසා සාගර ජලයේ ආම්ලික භාවය වැඩි වෙමින් පවතී. මේ නිසා සාගර ජීවීන්ගේ  ආහාර දාම වල, පාදක නිෂ්පාදකයෝ විනාශ වෙති. මෙය මත්ස්‍ය සම්පත් හිඟ වීමට හේතුවකි. කොරල් පර විනාශ වීමද, සාගර ජල ආම්ලිකතාව නිසා සිදු වන්නකි.

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අධික වීම නිසා, ධාන්‍ය වර්ග වල පෝෂ්‍යජනක භාවය අඩුවෙමින් පැවතීම හේතුවෙන්, බිලියන ගණනක් මිනිසුන්ගේ සෞඛ්‍යයට සහ ආහාර සුරක්ෂිතතාවට බාධා පැමිණේ. දේශගුණ විපර්යාස වල බලපෑම වැඩිවන තරමට, ආහාර හිඟයද  වැඩිවිය හැකිය. 

විෂම දේශගුණය නිසා, පරිසර පද්ධති පීඩාවට පත්වන විට සමහර ජීවීන් හට වඳවී යාමේ තර්ජනයක්ද එල්ල වෙමින් පවතී. 

කෘෂිකාර්මික කටයුතු වලින් දිවි ගෙවාගත් බොහෝ මිනිසුන්ට, කාලගුණ විෂමතා නිසා සශ්‍රීක භාවය අඩු වී ඇති, තම ඉඩ කඩම් වල ඇති භෝග  පලදාව අඩුවන විට, ගේ දොර අතහැර දමා, වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට සිදුවී ඇත. 

පසුගිය මැයි මාසයේදී, ජගත් කාලගුණවිද්‍යා සංවිධානය තවත් අප්‍රසන්න   සිද්ධියක් වාර්තා කරන ලදී. මෙයින් දැක්වූයේ, වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ්  මාසික සාමාන්‍යය, කිසිදා නොවූ විරූ ආකාරයකට ඉහල ගොස් ඇති බවයි. කලින් වාර්තා කළ ආකාරයට එය 400 ppm (කොටස් මිලියනයකට CO2 කොටස් 400) ලෙස සාමාන්‍ය මට්ටමේ පැවති අතර, මේ මාසයේ අගය 411 ppm වී  තිබේ. මෙය වසර මිලියන තුනක දී වැඩිවී ඇති, ඉහලම අගයයි. මෙය මහත් අනතුරු හැඟවීමකි.

හිතවත් මිත්‍ර වරුනි, සිදුවන දේ අපට පැහැදිලිය. කළයුතු දේ සහ කළයුතු ආකාරයද අපි දනිමු. එසේ වුවත් කණගාටුවට කරුණ වනුයේ අපගේ අභිලාශය, කළයුතු දෙයෙහි අසලකටවත් යොමුවී නැති බවයි.

දැනට වසර තුනකට ඉහතදී, (2015 දී) ලෝක රාජ්‍ය නායකයින් සියලු දෙනා පැරිස් සම්මුතියට අත්සන් කළ අවස්ථාවේ, දෙනලද ප්‍රතිඥාව මට මෙහිදී සිහියට නැගේ. ඔවුන් සියලු දෙනාම එකහෙලා පොරොන්දු වුයේ,  ගෝලීය උණුසුම, 2030 වර්ෂය වන විට, කාර්මික විප්ලවයට පෙර තිබුණු, උෂ්ණත්ව මට්ටමේ සිට, 2 oC ක   සීමාව නොඉක්මවීමට, සහ හැකිතරම් දුරට එය 1.5 oC  මට්ටමේ තබාගැනීමටත් අවශ්‍ය කටයුතු කරන බවටයි.

මෙම ඉලක්ක වලින් බලාපොරොත්තු වූයේ, දේශගුණ විපර්යාස වලින් සිදුවිය හැකි බරපතල ආපදා, තරමක් දුරටවත් ලිහිල් කර ගැනීමයි. එසේ වෙතත්, අද  විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ අප තවමත්  බලාපොරොත්තු ඉලක්ක අසලටවත් ගොස් නොමැති බවයි. එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව, දේශගුණ විපර්යාස මැඩලීම සඳහා,  අප මෙතෙක් ආවරණය කර තිබෙනුයේ බලාපොරොත්තු ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් බව හෙළිවී තිබේ.

අපට සිදුවී ඇත්තේ ඉතා දුෂ්කර පර්වතයක් තරණය කිරීමටය. එහෙත් එය අපහසු කාර්යයක් නොවේ. අපි එහි බෑවුම සහ උස ගැන අවබෝධයක් ඇතිව  සිටිමු. මෙහිදී අප කළයුතු එකම දෙය, මාරාන්තික හරිතාගාර වායු මුක්තවීම නතර කර, දේශගුණය රැක ගැනීමට ක්‍රියා කිරීමයි. අප හැකි ඉක්මණින් ෆොසිල් ඉන්ධන මත යැපීම  නතර කළ යුතුය. වහාම ඒ සඳහා, ජලය, හිරු එළිය සහ සුළඟ වැනි ප්‍රභව වලින් ලබාගත හැකි සුපිරිසිදු බලශක්තියට ප්‍රවිෂ්ඨ විය යුතුය. අප වනාන්තර  විනාශය වහාම නතර කළ යුතුය. පරිහානියට ලක්වී ඇති වනාන්තර නැවත ප්‍රකෘතිමත් කළ යුතු අතර, අපගේ කෘෂි කාර්මික වත් පිළිවෙත් නවීකරණය කළ යුතුය.

අපගේ ආර්ථිකය තවත් ශක්තිමත් කර, එහි කාර්යක්ෂමතාව වැඩි කළ යුතුය. අපගේ නගර සහ ගමනාගමන පද්ධති ප්‍රතිසංස්කරණ වලට භාජන කළ යුතුය. අපගේ ගොඩනැගිලි  සිසිලනය කිරීම, උණුසුම් කිරීම සහ ආලෝක කිරීමේ ක්‍රම නවීකරණය කර බලශක්ති නාස්තිය අවම කළ යුතුය. අප ඉදිරියේ ඇති බලවත්ම අභියෝග මේවා වේ. අප මෙයට බියවිය යුතු නැත. මේ අනතුරු හැඟවීමක් පමණකි. එයට බිය වීමෙන් අවශ්‍ය දේ සිදු නොවේ.

බිය නොවන්න. මාගේ එකම පරිකල්පනය සහ බලාපොරොත්තුව, දේශගුණ මෙහෙයුම මගින් ලබාගත හැකි වාසිදායක තත්ත්ව, ගැන ඔබ සැමගේ සිත් යොමු කිරීමයි.

සුහද මිත්‍රවරුනි, අප දේශගුණ විපර්යාස අභියෝගය  අභිබවා ගියහොත් මනුෂ්‍ය සංහතියට ලැබිය හැකි වාසි අපමණය. මෙයින් වැඩි කොටසක් ආර්ථික වාසි වේ. සමහරවිට ස්වාර්ථය හෝ පෞද්ගලික වාසි පමණක් දකින්නෝ දේශගුණ විපර්යාස පිටු දැකීම ඉතාමත් වියදම් අධික, ආර්ථිකයට හානිකර ක්‍රියාදාමයක් ලෙස දකිති. මෙය මහත් ප්‍රලාපයක් පමණකි. සත්‍යය එහි ප්‍රතිවිරුද්ධ පැත්තයි.

  දේශගුණ විපර්යාස නිසා දැවැන්ත ආර්ථික පාඩු සිදුවේ. පසුගිය දශකයේදී පමණක්, විෂම කාළගුණ හේතු සහ පොසිල ඉන්ධන දැවීම නිසා, හටගෙන ඇති සෞඛ්‍ය ගැටළු මගින් ඇමෙරිකානු ආර්ථිකයට, ඩොලර් මිලියන 240 ක පාඩුවක් සිදුවිය. මෙම වියදම් ඉදිරි දශකයේදී දෙගුණ වනු ඇත. වසර 2030 වනවිට අධික උණුසුම් ලෝකයේ, ඵලදායිතාවය හීන වීම නිසා ඩොලර ට්‍රිලිනයක ආර්ථික අවාසියක් සිදුවේ.

දේශගුණ මෙහෙයුම් මගින්, බොහෝ වාසි ලබාගත  හැකි බව, අධ්‍යයන වලින් දකින්නට ලැබේ. පසුගිය සතියේ මා සහභාගිවූ දේශගුණ විපර්යාස වලට අදාළ සමුළුවකදී, දේශගුණ මෙහෙයුම් සහ සමාජ ආර්ථික ප්‍රගතිය එකිනෙකට අන්‍යෝන්‍ය බලපෑමක් ඇතිකරන බව  හෙළිදරව් විය. මේ අනුව දැනට යෝජිත නිසි මග ගමන් කර, දේශගුණ උපද්‍රව මගහරවා ගතහොත්, අපගේ සාමාන්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රය මේ  ආකාරයටම තිබියදීත්,  2030 වනවිට ඩොලර් ට්‍රිලියන 26 ක ප්‍රතිලාභ අත්වන බව, එහිදී  තවදුරටත් පෙන්වා දෙන ලදී. මෙයට සරල උදාහරණයක් වශයෙන් හානියට පත් වනාන්තර ප්‍රතිස්ථාපනය ගත හැකිය. වනාන්තර යලි ගොඩනැගීම සඳහා වැය කරනු ලබන, සෑම ඩොලර් එකක් සඳහාම, ආර්ථික වාසි සහ දිළිඳු බව දුරැලීම මගින් ඩොලර් 30 ක ප්‍රතිලාභයක් ලබා ගත හැකිවේ. හායනයට පත්වී ඇති ඉඩකඩම් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමෙන්, ගොවියන් සහ සතුන් ඇති කරන්නන්ට යලිත් සරිලන ආදායමක් ලබාගත හැකිවන අතර, ඔවුනට ගම් බිම් අතහැරදා, සරු බිම් කරා යාමට සිදු නොවේ.

දේශගුණයට ඔරොත්තු දීමේ, ජල සම්පාදන ව්‍යාපෘති සහ සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය කිරීම මගින්, වාර්ෂිකව අකාලයේ මියයන දරුවන් 360,000 කගේ පමණ ජීවිත බේරා ගත හැකිය.  ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන ආකාරයට, 2030 වසර වනවිට ‘හරිත ආර්ථිකය’ මගින් මිලියන 24 ක් පමණ වන ජනතාවකට නව රැකියා සැපයිය හැකිවේ. 

චීනයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ, නව පුනර්ජනනීය බලශක්ති  අංශ නිසා, උත්පාදනය වෙමින් පවතින රැකියා සංඛ්‍යාව, මෑත අතීතයේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් කර්මාන්ත අංශ  මගින් සපයන ලද රැකියා සංඛ්‍යාවට වඩා වැඩිවෙමින් තිබේ. බංග්ලාදේශයේ ස්ථාපනය කරනු ලබන, ගෘහස්ත සූර්ය කෝෂ පද්ධති මගින්, නව රැකියා 115,000 වැඩි ප්‍රමාණයක් ආරම්භවී ඇත. එයට සමගාමීව ගෘහස්ත පරිසර දූෂ්‍ය ඉන්ධන  භාවිතය ඉවත්වීම නිසා, එරට  ග්‍රාමීය ජනතාවට, ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රතිලාභ අත්වී තිබේ. මෙසේ බලන කළ, පුනර්ජනනීය බලශක්තියට මාරුවීම මගින්, නව රැකියා සැපයීම, ජල නාස්තිය අඩුවීම, ආහාර නිෂ්පාදනය වැඩිවීම සහ අපට උපද්‍රව කරනු ලබන දූෂිත වායුව පිරිසිදු කිරීම වැනි හිතකර කාර්යයන් රාශියක් සිදුවේ. 

මේ නිසා දේශගුණ මෙහෙයුමෙන් වාසි ලැබීම විනා කිසිම පාඩුවක් සිදු නොවේ.  

අප  මුහුණ පා ඇති අභියෝගය, ඔරොත්තු නොදෙන  එකක් බව තවමත් බොහෝ අය සිතමින් සිටිති. මම මෙයට කිසිසේත් එකඟ නොවෙමි.

මෑත අතීතයේදී මානව වර්ගයා ඉමහත් අභියෝග රාශියකට  මුහුණ දී, ඒවාට විසඳුම් ලබාගෙන ඇත. මෙයින් සැලකියයුතු අභියෝග සංඛ්‍යාවකට විසඳුම් සෙවීමේදී මිනිසාට විවිධ බෙදුම්වාදී අදහස් සහ වෙනත් මතභේද පසෙකට ලා, එකමුතුව කටයුතු කර ඉලක්ක සපුරා ගත හැකිවී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුයේ මේ ආකාරයටය. මේ මගින් අපට යුද බිය සහ රෝග බිය නිවාරණය කළහැකි විය. දිළිඳු භාවය අඩු කිරීමට අත දිය හැකිවිය. වායු ගෝලයේ ඕසෝන් හිඩැස ප්‍රකෘතිමත් කළ හැකි විය.

අප දැන් සිටිනුයේ පැවැත්ම සහ විනාශය අතර සංධිස්ථානයකය.

මෙහිදී අප ඉදිරියට යාම පිණිස, හරිමග ගත යුතුය – ඇත්තේ නිවැරදි එක් මගක් පමණකි –  එම මගෙහි යාම සඳහා අපට ඇති සියලුම  මානව උපාය කුසලතා, ඒකරාශී  කළ යුතුය.

මෙම උපාය කුසලතා අපට තිබේ. දැනටමත් විසඳුම් සෙවීම සඳහා එම කුසලතා ප්‍රායෝගිකව භාවිත වෙමින් පවතී. පුනර්ජනනීය බලශක්ති භාවිතය විශාල වශයෙන් ඉහල යමින් ඇති බව පෙනේ. 

ෆොසිල් ඉන්ධන භාවිතයේදී සිදුවන, පරිසර දුෂණයද මිල කළ විට, පුනර්ජනනීය බලශක්තියේ  මිල අඩුය.  පසුගිය වසරේදී (2017) චීනය,  මෙම ‘හරිත’ බල ශක්තිය නිපදවීම සඳහා ඩොලර් බිලියන 126 ක් වැයකර තිබේ.  මෙය කලින් වසරට වඩා 30% ක වර්ධනයකි.

2030 වනවිට, යුරෝපයේ බල ශක්තියෙන් තුනෙන් එකක් පුනර්ජනනීය බල ශක්තිය විය හැකිය. මොරොක්කෝ රාජ්‍යයේ නිවාස මිලියනයකට සූර්ය බල ශක්තිය සැපයීමට සැලසුමක් තිබේ. ලොව ප්‍රථම පාවෙන සුලං බල ශක්ති පද්ධතිය, ස්කොට්ලන්තයේ අටවා තිබේ.

බලාපොරොත්තු ඇතිකර ගතහැකි විකල්පද එලි දකිමින් පවතී. 

ෆොසිල ඉන්ධන බහුල, ගල්ෆ් රාජ්‍ය කිහිපයක් සහ නෝර්වේ රාජ්‍යය,  තෙල් ආර්ථිකය වෙනුවට විකල්ප මං සෙවීම ආරම්භ කර තිබේ. සවුදි අරාබිය පුනර්ජනන ව්‍යාපෘති සඳහා බෙහෙවින් ආයෝජනය කරන අතර, තෙල් පාදක ආර්ථිකයේ සිට, බලශක්ති පාදක ආර්ථිකයකට මාරුවීමට පියවර ගෙන තිබේ. ලෝකයේ විශාලතම ව්‍යාපාර 130 ක් පමණ, තම මෙහෙයුම් සඳහා,  සියයට සියයක්ම පුනර්ජනනීය බල ශක්තිය පමණක් යෙදවීමට තීරණය කර තිබේ. 

මා මෙසේ සඳහන් කළ, සියලුම පුරෝගාමී රටවල බලධාරීහු කව්රුත්, අනාගතය විනිවිද දැක තිබේ. මේ සියල්ල ඉතා නිර්භීත ඉදිරි පියවර වේ. එහෙත් ප්‍රතිචාරය තවමත් ප්‍රමාණවත් නොවේ.

කණගාටුවෙන් වුවද තවත් යමක් ප්‍රකාශ කිරීමට තිබේ.

සමහර රාජ්‍ය බලධාරීන්  විසින් තීරණ ගැනීමේදී, දක්වන ‘උදාසීන භාවය’ නිසා පැරිස් සම්මුතිය ක්‍රියාත්මක වේදෝයි  සැකයක්ද තිබෙන බව පෙනේ.

මෙසේ සිදු නොවිය යුතුය. මුළු ලොවටම විපතක් සිදුවෙමින් පවතින මේ අවදියේදී, තතු  දත් විද්වතුන් විසින් පෙන්වා දෙන ‘හරි මග’ යාම කාගේත් සදාචාරාත්මක  යුතුකමකි.  මෙහිදී නොකියාම බැරි දෙයක්ද තිබේ. 

දේශගුණ විපර්යාස අර්බුදය දියුණු තියුණු වීම සඳහා, හරිතාගාර වායු බහුල වශයෙන් මුක්ත කර, බෙහෙවින්ම දායක වී තිබෙනුයේ, ලොව ධනවත්ම රාජ්‍ය කිහිපයයි. එහෙත් දේශගුණ විපර්යාස නිසා වැඩිපුරම පීඩාවට පත්වී තිබෙන්නේ, ඉතාමත් අවදානම් තත්ත්වයක ජනතාවක් ජීවත්වන  දිළිඳු රටවල්ය.

මේ නිසා ධනවත් රටවලට තම හරිතාගාර වායු මුක්ත වීම කපා හරිමින්, දිළිඳු රටවල් මුහුණ පාමින් සිටින අගාධයෙන් ගොඩ වීම සඳහා අනුවර්තනය වීමට අත හිත දීම පරම යුතුකමකි. 

 

‘සියලු රාජ්‍යයන් එකාවන්ව පෙරටම යමු.  අපට අභියෝගය ජය ගත හැකිය.’

දයාරත්න වීරසේකර 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024