පරිසරයෙන් ඉවත් කිරීමට ඉතාමත් අසීරු ‘ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්’

  • Home
  • /
  • Blog
  • /
  • පරිසරයෙන් ඉවත් කිරීමට ඉතාමත් අසීරු ‘ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්’

විවිධ යාන්ත්‍රික ක්‍රමවේද භාවිත කර, භූ ගර්භයෙන්  ලබාගන්නා පෙට්‍රෝලියම් හෝ බොර තෙල් වැනි භූගත ෆොසිල සංයෝග, ඉන්ධන බවට පරිවර්තනය කර ගැනීමේදී වෙන්වී යන, විවිධ අතුරු ඵල (byproducts) භාවිත කර, ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලැබේ. ඒවා නිෂ්පාදනයේදී  මූලික කරගනු ලබන, එකිනෙකට වෙනස් දිගු රසායනික දාම සහිත බහු අවයවීක රසායනික සංයෝග ‘පොලිමර’ (polymer) ලෙස හැඳින්වේ.  මේ ආකාරයට විවිධ සංයුති අනුව සකස්වී සෑදෙන ප්ලාස්ටික් වර්ග දසදහස් ගණනක්  හඳුනාගෙන තිබේ. පොලිතීන් වැනි ඇසුරුම් ද්‍රව්‍ය වල සිට නොයෙකුත් ආකාරයේ බෝතල්, විවිධ භාජන සහ දෘඪ භාණ්ඩ නිෂ්පාදනය වැනි දහසකුත් එකක් පාරිභෝගික අවශ්‍යතා සඳහා ප්ලාස්ටික් භාවිත වේ. මේ නිසා නූතන පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ප්ලාස්ටික් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වී තිබේ. එහෙත් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය ගැන සලකා බලන විට ඒවා අත්‍යවශ්‍ය මෙන්ම අප්‍රසන්න (necessary evils) භාණ්ඩ ලෙස හැඳින්වීමද  නිවැරදිය. දහස් සංඛ්‍යාත ප්ලාස්ටික් සංයෝග හඳුනාගැනීම, පාරිභෝගික දැනුවත් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ අත්වැලක් වශයෙනුත්, සියලුම ප්ලාස්ටික් වර්ග ප්‍රධාන කොටස් කිහිපයකට  බෙදා වෙන්කර, ඒවායේ සංයුතියද සඳහන් කර  තිබේ. 

ප්ලාස්ටික් වර්ග කිහිපයක් හඳුනා ගැනීමේ සංකේත 

මිනිසා ඇතුළු සමස්ත ජීවී සංහතියම වාසය කරන පෘථිවියට,මහත් උපද්‍රව ගෙන දීමේ ව්‍යසනයක මට්ටමකට පරිසර දූෂණය උග්‍ර වෙමින් පවතී. ජීවීන්ගේ මූලික  ජීව ක්‍රියාවලියක් වන  ශ්වසනයේදී හුවමාරු වන, ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් වායු වලට  අමතරව,  වෙනත් අහිතකර වායු මෙන්ම විවිධ ක්‍ෂුද්‍ර අංශු වලින්ද  වායු ගෝලය පිරී  පවතින බව දැන් දැන් හෙළිවේ. මෙහිලා විස්තර කෙරෙනුයේ, නිමි ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සිදුවිය හැකි පරිසර දූෂණයටත් වඩා කිහිප ගුණයකින්  වැඩි පරිසර හානියක්, ප්ලාස්ටික් භාවිතයේදී ඒවායින් ඉවත්වන අංශු මාත්‍ර  කොටස් වලින් සිදුවන බව පෙන්වා දීමයි. මේ ආකාරයට සිදුවිය හැකි පරිසර හානියහරිතාගාර ආචරණය සිදු කරන, කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, සහ මීතේන් වැනි වායු මගින් පරිසරය උණුසුම් වීම නිසා සිදුවෙමින් පවතින  මහා ව්‍යසන වලටත් වඩා බලගතු අනාගත විපතක් විය හැකි බවට  පෙරැයීම් කර තිබේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් ක්‍රමක්‍රමයෙන්  පරිසරයට  මුදා හැරෙන සියුම් අංශු වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් (microplastics) මෙම ආපදාවට හේතුවන බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

ප්ලාස්ටික් සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 

ලොව මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන ප්ලාස්ටික් භාණ්ඩ, උපකරණ සහ මෙවලම් ආදියෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය දශක කිහිපය තුළදීය.  Science News සඟරාවේ පළකර තිබූ ලිපියකට අනුව 1950 වර්ෂයේදී ගෝලීය ප්ලාස්ටික්  නිෂ්පාදනය  මෙට්‍රික් ටොන් (Mt) මිලියන 2.3  ක් වී ඇත.(මෙට්‍රික් ටොන් සඳහා සංකේතය Mt වේ)  වාර්ෂික ප්ලාස්ටික් නිෂ්පාදනය 2015 වසරේදී  448 Mt  ක් වී තිබේ.   ලෝකයේ මෙම නිෂ්පාදන ධාරිතාව 2050 වන විට මෙය මෙන්  දෙගුණයක් වියහැකි  බවට පෙරැයීමක්ද කර තිබේ.සෑම වසරකදීම මෙම  ප්ලාස්ටික් තොගයෙන් මෙට්‍රික් ටොන් මිලියන අටක් පමණ මහා සාගරයට එකතු වන බවටද ගණන් බලා තිබේ. මෙයින් සමහර ප්ලාස්ටික් ද්‍රව්‍ය ස්වාභාවිකව දිරා යාම පිණිස වසර 400 පමණ ගතවන බවද නිගමනය කර ඇත.

ඕනෑම ප්ලාස්ටික් වර්ගයක ඉතාමත් කුඩා කැබලි හෝ අංශු ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස දැක්විය හැකිය. යුරෝපීය රසායනික නියෝජිතායතනයේ  (European Chemicals Agency) අර්ථ දැක්වීමකට අනුව මිලිමීටර් 5 ක ප්‍රමාණයට වඩා අඩු ඕනෑම ප්ලාස්ටික් කොටසක් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයට වැටේ. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් දෙආකාරයකට පරිසරයට එකතුවේ. 

  1. ප්‍රාථමික ප්ලාස්ටික් කෙඳි, පබළු හෝ කැටිති  –  විවිධ  කෘතීම රෙදි වර්ග හෝ  වෙනත්  එදිනෙදා ජීවිතයේදී  භාවිත කරනු ලබන විවිධ කෘතීම භාණ්ඩ වලින් බිඳී ගොස්  කෙලින්ම පරිසරයට එකතු වන,  5 mm  හෝ ඊට අඩු  කොටස් 
  2. ද්විතීය ප්ලාස්ටික් අංශුප්ලාස්ටික් බෝතල්, ධීවර දැල්, ප්ලාස්ටික් මලු,   මෛක්‍රෝ වේව් උදුන් සඳහා සකස් කළ  උපකරණ ආදිය භාවිතයෙන් පසු, පරිසරයට එකතුවීමෙන්  ඒවායේ ස්වාභාවික ක්ෂයවීම සහ හායනය නිසා වෙන්වන  කොටස් 

ඇඟිලි තුඩක රඳවා ඇති විවිධ ආකාරයේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සමූහයක්

මේ දෙවර්ගයම පාංශු  සහ ජලජ පරිසර වල එකතු වන අතර, ඉහත දෙවර්ගයේම ඉතාමත් සියුම්  ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේද  විසිරී පවතී.

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්:  සාගරයෙන් වායු ගෝලයට 

 සාගරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීම දුෂ්කර කාර්යයකි. වෙරළ ආසන්නයේ  සහ නොගැඹුරු මුහුදේ ගොඩගැසෙන ප්ලාස්ටික් යම්කිසි යාන්ත්‍රික ක්‍රමයකින් එකතු කර ගත හැකි වූවත්, දියඹේ  ඒ ඒ ජල මට්ටම් වල ඉල්පෙමින් පවතින ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් එසේ ඉවත් කළ නොහැකිය. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් විසිරි යාම සම්බන්ධව The Proceedings of the National Academy of Sciences නම් ප්‍රකාශණයක පළකර තිබෙන තොරතුරකට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර කොටසේ, හඳුනාගන්නා ලද සීමිත ප්‍රදේශයක පමණක්  වායු ගෝලයේ, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ටොන් 1100 ක් පමණ රැඳී තිබෙන බව, විද්‍යාත්මක ආදර්ශ (models) සහ ගණිත කර්ම උපයෝගී කර ගෙන ගණනය කර තිබේ.

මෙතරම් විශාල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක්  වාතයට එක්වන්නේ කෙසේදමේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ප්‍රකාශණයට අනුව, මෙයින්  සැලකියයුතු  ප්‍රතිශතයක් වාතයට මුසු වනුයේ මහා සාගරයෙන් බව අනුමාන කරයි. ගංගා, ඇළ, දොළ ඔස්සේ මුහුදට පිවිසෙනු ලබන  ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදී ද්‍රව්‍ය  කල්යාමේදී  මිලි මීටර් පහකට වඩා කුඩා ක්‍ෂුද්‍ර අංශු බවට කැඩී  වෙන්වේ. ගෘහස්ත රෙදි සේදීමේ  යන්ත්‍ර  වලින් නික්මෙන අපද්‍රව්‍ය වල තිබෙන, රෙදිපිළි වලින් වෙන්වී යන ක්ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි මෙන්ම වැසිකිලි, කැසිකිලි වලින් ගලායන අපද්‍රව්‍ය වලද අඩංගු විවිධ අද්‍රාව්‍ය කෙඳි වර්ගද ජලඅපවහන පද්ධති ඔස්සේ ගොස් අවසානයේදී මුහුදු ජලයට මිශ්‍ර වේ. දශක කිහිපයක් තිස්සේ පැවති  මෙම ක්‍රියාදාමයේ අහිතකර බව දැන් දැන් හෙළිදරව් වෙමින් තිබේ. මීට අමතරව නගරවල මළ අපවහන පද්ධති වල කිඳා බසින ගොහොරු මඩ (sludge), ඉඩම් ගොඩ කිරීමට  සහ කෘෂිකාර්මික කටයුතු වලදීද භාවිත කෙරේ. මේවායේ ඇති ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි විශාල වශයෙන් පසට එකතු වේ.  වගාකටයුතු වලදී බිම් කෙටීම  හෝ  පස් පෙරලීම සිදු කරන විට පිටවන දුවිලි සමගද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයට එකතුවේ.

මිනිසා විසින් ස්වකීය අවශ්‍යතාවයන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් වල අවසාන ඵලය වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මේ ආකාරයට නිරතුරුවම සාගරයට එකතුවීම නිසා, සාගරයේ ඒවා දරාසිටීමේ උපරිම හැකියාව,(carrying capacity)  මේ වන විට ඉක්ම යමින් පවතී. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ  කොර්නෙල් විශ්ව විද්‍යාලයයේනැතලි මාවෝල්ඩ්  විද්‍යාඥවරිය  ඉතා වැදගත් කරුණක් මෙසේ හෙළිදරව් කර තිබේ.

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්, වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන් වෙරළට ගොඩ නොගැසේ. රළ පහර සහ හමායන සුළඟ නිසා, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගත මුහුදු ජලයජල බිඳිති (droplets)  ලෙස  වාතයට මුසුවේ.මෙම බිදිති වල ඇති ජලය වාෂ්ප වී ගිය පසු, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේ ඉතිරි වේ. සුළඟත්   වාතයේ සංවහන ධාරාත්  ඔස්සේ විසිරි යන මෙම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්  අංශු, ගොඩබිම සහ සාගර සිමා මායිම් ඉක්මවා ගොස් වායු ගෝලය පුරා පැතිරී යයි. දින කිහිපයක් වාතයේ රැඳී පවතින මෙම අංශු ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වර්ෂා ලෙස නැවත පෘථිවිය මත පතිත විය හැකි බව අනුමාන කළ හැකිය.  මේ ආකාරයට වරක් ගොඩබිම තිබීමුහුදට සංක්‍රමණය වන  ප්ලාස්ටික්, එහිදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් බවට පරිවර්තනය වී, වාතයට මුසුවී නැවතත් පොළොවටම පතිත වීම අනාගත මහා ව්‍යසනයක පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. සමහරවිට මෙසේ සිදුවීම අම්ල වර්ෂා(acid rains)  වලටත් වඩා ජීවීන්ට පීඩාකාරී විය හැකිය. මෙම නිරීක්ෂණ වලට අනුව, ‘සාගරයෙන් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අපනයනය කර ගැනීමේ නියෝජිතායතනයක්ලෙස පෘථිවි භුමිය, නම් කිරීමද නිවැරදිය.

වාතයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් කරන ලද ඉහත සඳහන් කළ පර්යේෂණ වලින් අනාවරණය කර ඇති ආකාරයට සාගරයෙන් වායු ගෝලයට එකතු වනුයේ, සමස්ත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 11-16% පමණක් බව නිගමනය කර තිබේ. එසේ නම් ඉතිරි ප්‍රමාණය වාතයට මුසු වන්නේ කෙසේදමෙයින් වැඩි කොටසක් හටගන්නේ නාගරීකරණය, ප්‍රවාහන කටයුතු වැනි වත්මන් සංවර්ධන ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලිවේ. මේ නිසාම, මෙම සංවර්ධන කටයුතු බොහොමයක් තිරසාර නොවන්නේද යන සැකයක්ද දැනට මතුවෙමින් පවතී. මේ නිසා පෘථිවි වායු ගෝලය තුළම  අන්තර්ගතවූ නව “ප්ලාස්ටිකගෝලයක්” (plastisphere)  ද තිබෙන බව වර්තමානයේ පරිසර විද්‍යාඥයෝ සඳහන් කරති.

ප්‍රවාහණ කටයුතු ආශ්‍රිතව හටගන්නා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්

 අද ලොව මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විවිධ ආකාරයේ රථවාහන භාවිත වේ. දුම්රිය, මුහුදු යාත්‍රා සහ අහස්  යානා හැර අනිකුත් සියලුම රථවාහන ධාවනය කරනුයේ රබර් ටයර් රෝද මත වේ. ස්වාභාවික ද්‍රව්‍යයක්  වන රබර් වල ඇති රසායනික සංයෝගයද කලින් සඳහන් කර ඇති ආකාරයට දිගු කාබන් දාමයක් සහිතඅයිසොප්‍රින්’ (isoprene) පොලිමරයකි. රථවාහන භාවිතයේදී ඒවායේ රබර් ටයර් කලකදී ගෙවී යන බව ප්‍රකට කරුණකි. මෙසේ ගෙවී යාමේදී රබර් අංශුද වායු ගෝලයට එකතුවේ. ස්වභාවික රබර් සංයෝගය ටයර් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේදී එහි දැඩි බව පවත්වාගැනීම පිණිස තවත් නොයෙකුත් සංයෝගද ආදේශ කරගනු ලැබේ. මේ නිසා අවසානයේදී රබර් ටයර් වලින් ගෙවී යන කොටස්ද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ගිණිය  හැකිය.  මේ ආකාරයට ඕස්ට්‍රේලියානු පරිසර අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සකස් කරන ලද වාර්තාවක මෙසේ දක්වා තිබේ.

මහා මාර්ග වල ධාවනයේ යෙදෙන වාහනවලරබර් ටයරයක භාවිත කාලය අවසන් වන විට ටයරයේ  බරින් 15% ක් පමණ ගෙවී යයි. 

මේ අනුව 2019 වර්ෂයේදී පමණක් ඕස්ට්‍රේලියාවේ රබර් ටයර් ටොන් 533,000 ක් පමණ භාවිත කර ඇති අතර, මෙයින් ගෙවී ගොස් ඇති රබර් අංශු ටොන් 80,000 පමණ පරිසරයට මුක්තවී තිබේ.

මේ ආකාරයට විමසා බලන විට, ඕස්ට්‍රේලියාවේ මෙන් දස ගුණයක් හෝ ඊටත් තරමක් වැඩි රබර් අංශු ප්‍රමාණයක්  ගෝලීයව පරිසරයට එකතු වන බව අනුමාණ කළ හැකිය. මෙය වසරකට ටොන් 800,000 කට වැඩිවිය හැකිය. මෙයද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් පරිසර දූෂණයේ තවත් පැති කඩක් නොවන්නේද? (කෙසේ වෙතත් මෑතදී කර ඇති පර්යේෂණයකට අනුව රබර් පොලිමර වියෝජනය කළහැකි ක්ෂුද්‍රජීවීන් සිටින බවද  සොයාගෙන තිබේ)

වාහන ගමනාගමනය සඳහා මහාමාර්ග භාවිතයේදී, මහාමාර්ග මතුපිට අතුරා ඇති කොටස්ද ක්‍රමක්‍රමයෙන් ගෙවී යයි. මෙහිදී සිදු වනුයේ, මහා මාර්ගයේ අතුරා ඇති  තාර හෝටාර් මැට්’ (tar-mat)  ලෙස හඳුන්වන මිශ්‍රණයේද  අඩංගු නොයෙකුත් කෘතීම ද්‍රව්‍ය ක්‍ෂුද්‍ර අංශු වශයෙන් මුදා හැරීමයි.  මේවාද බොහෝ දුරට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයේ ලා සැලකිය හැකිය. මෙයින්ද සෑහෙන ප්‍රතිශතයක් අවසානයේදී එකතු වන්නේ පරිසරයටය.

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ව්‍යසනය  මගහැරිය හැක්කේ කෙසේද ?

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් නිසා මිනිසාට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව මෙතෙක් පුළුල් විද්‍යාත්මක අධ්‍යයනයක් කර නොමැත්තේය. ජගත් වනජීවී අරමුදල (World Wildlife Fund -WWF) අනුග්‍රහයෙන් ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්යාලයයේ මෑතදී කරන ලද අධ්‍යයනයකට අනුව සෑම කෙනෙකුටම, සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් පහක් පමණ ආහාර මගින් ශරීර ගතවන බව සොයා ගෙන තිබේ. එසේම  2020 ජුනි මාසයේ කරනලද අධ්‍යයනයක් අනුව, ඇමෙරිකානු වැසියෙකු  සිය ආහාර, බීමවර්ග  සහ ශ්වසනය මගින් වසරකදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 74,000 ක් පමණ නොදැනුවත්වම තම ශරීරයට ඇතුළු  කර ගන්නා බවද හෙළිවී තිබේ.

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර ගත වීම කිසිසේත් සෞඛ්‍යයට හිතකර විය නොහැකිය. එසේ වුවද මෙම අහිතකර ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මගහැර මෙලොව ජීවත්වීමද අසීරු විය හැකිය. මේවා  නිසා සිදුවිය හැකි උවදුරු වලින් තරමක් දුරට හෝ  වැළකීම සඳහා අප විසින් අනුගමනය කළයුතු  පහසු පිළිවෙත් කිහිපයක් මෙසේය.

  1. හැකි තරම් දුරට වෙළඳපලේ ඇති බෝතල් කළ ජලය පානය කිරීමෙන් වැළකීම. සාමාන්‍යයෙන් නළ ජලයේ තිබෙන ප්ලාස්ටික් අංශු මෙන් දෙගුණයක්  බෝතල් කළ ජලයේ ඇති බව පරීක්ෂණ මගින් සනාථ වී තිබේ. 
  2. කිසිවිටක ප්ලාස්ටික් බඳුන්වල දමා ආහාර රත් නොකිරීමට වග බලා ගත යුතුය. ප්ලාස්ටික් රත්කිරීමේදී පිටවන සියුම් අංශුආහාර වලට මිශ්‍ර වේ
  3. ප්ලාස්ටික් භාජන, පිඟන් සේදීමේ යන්ත්‍රයක දමා සේදීමෙන්  වැලකීම. මෙම භාජන රත්වීමෙදී වෙන්වී යන සියුම් අංශු ජලාපවහන පද්ධතියට එකතුවේ අවසානයේදී නතරවනුයේ සාගරයේය.
  4. ප්‍රතිචක්‍රීකරණ සංකේත ‘3’ , ‘6’ සහ ‘7’ දරණ ප්ලාස්ටික් ඇසුරුම් භාජනවල කිසිවිටෙකත් ආහාර වර්ග අසුරා නොතැබීම.(අංක 5, 6 සහ 7 ඉහත සටහනේ දක්වා නැත) මේවායේ  වෙන වෙනම phthalates, styrene සහ  bisphenols යන රසායන  ද්‍රව්‍ය  අඩංගු වේ
  5. හැකිතරම් දුරට නැවුම් ආහාර ගැනීම. ප්ලාස්ටික් ඇසුරුම් වල බහා ඇති ආහාර වලට වඩා  මේවා ප්‍රවේශම් සහිතය.
  6. නිවසෙහි දූවිලි පතිත වීම හැකිතරම්  දුරට අඩුකර ගැනීම. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්  අංශු දූවිලි  සමග පහසුවෙන් බැඳී පවතී.  රික්ත ශෝධක යන්ත්‍රයක් (vacuum cleaner) භාවිතයෙන් දූවිලි ඉවත් කිරීම ඵලදායී වේ.
  7. එක් වරක් පමණක් භාවිත කෙරෙන පොලිතීන් බෑග්, බීම බට, ජල බෝතල්, හැඳි ගෑරුප්පු වැනි දේ සම්පුර්ණයෙන්ම අත්හැර දැමීම.
  8. හැකි සෑම විටකම  අත්‍යාවශ්‍ය සරල භාණ්ඩ දැමීම සඳහා ගැලපෙන පරිදි, කපු රෙදි බෑගයක් පාවිච්චි කිරීම වඩාත් නුවණට හුරු දෙයකි.  

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ආපදා අවම කරවීම සඳහා නව නැඹුරුවක් 

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් හටගැනීම නතරකිරීමට නම් ප්ලාස්ටික් පාදක කරගත් දහස් සංඛ්‍යාත නිෂ්පාදන නතර කළ යුතුවේ. මෙය කිසිසේත් කළ නොහැකි කාර්යයකි. අද ලොව පුරා ප්ලාස්ටික් පැතිරී ඇති ආකාරයට ප්ලාස්ටික් භාවිතයෙන් තොර ජන ජීවිතයක් ගැන සිතීමටවත් නොහැකිය. 

අනාදිමත් කාලයක සිට මිනිසා පුරුදුවී සිටිනුයේ යම්කිසි එදිනෙදා අවශ්‍යතාවයක් සඳහා  භාණ්ඩයක් සාදා ගැනීමෙන් පසු එය කලක් භාවිත කර ඉවත දැමීමයි. පසු කාලයේදී භාන්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී වුවද මෙම පිළිවෙතම අනුගමනය කර තිබේ. කල් යාමේදී ඉවත දමනදේ කසල ලෙස එකතු වන්නට විය. දැනටද  ආර්ථික වශයෙන් සමහර භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේදී  භාවිත කරන මෙම ක්‍රියාවලිය   රේඛීය ආර්ථික පිවිසුම  (Linear economy)  ලෙස නම්කර තිබේ.  ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයෙදීද තරමක් දුරට මෙම ක්‍රමය කිරීම භාවිත කිරීම නිසා ප්ලාස්ටික් කසල කඳු වශයෙන් ගොඩ ගැසේ. මෙම ව්‍යසනය මැඩපැවැත්වීම  සඳහාද භාවිත කළහැකි ආර්ථික විද්‍යාවේ නව යොමුවීමක් ලෙස ගැනෙනචක්‍රීය ආර්ථික පිවිසුම (Circular economy) පිළිබඳව දැනට පරිසර විද්‍යාඥයින් සිත් යොමු කරමින් තිබීම සාධනීය පියවරකි.රේඛීය ආර්ථික පිවිසුම ඉතාමත් සරල ආකාරයකට මෙසේ දැක්විය හැකිය.  

අපට හුරුපුරුදු මෙම රේඛීය ආර්ථික පිළිවෙත අනුව, අමුද්‍රව්‍ය සහ බලශක්තිය යොදවා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩයක් ටික කලක් පරිහරණය කර ඉවත දැමීම සිදුවේ. මෙම ක්‍රියාවලිය රේඛීය දාමයක් ලෙස ඉහත සටහනෙහි  පරිදි, දැක්විය හැකිය.

 භාණ්ඩ කල් ඉකුත් වීම, ආකෘතිය යල් පැනයාම, හෝ අනවශ්‍ය වීම වැනි හේතු නිසා බොහෝ භාණ්ඩ මෙහි දැක්වෙන  ඊළඟ ආකෘතියේ පෙන්නුම් කරන ආකාරයට ඉවත දැමේ.  මේ නිසා  බිලියන අටක් වන මිනිස් ප්‍රජාව  මගින් ඉවත දමන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙතෙකැයි ගිණිය නොහැකිය. මෙහි දක්වා ඇති රේඛීය ආර්ථික පිවිසුම  සටහනෙහි දැක්වෙන පරිදි, යෙදවෙන බලශක්තිය ලබාගනුයේ ස්වාභාවික සම්පත් වලිනි. එමෙන්ම අමුද්‍රව්‍ය වන්නේද භුමියේ හෝ සාගරයේ ඇති සම්පත්ය. මේවා බොහෝ දුරට  පුනර්ජනනීය නොවන සම්පත්වේ. මේවා උපයෝගී කර ගනිමින් නිෂ්පාදිත භාණ්ඩ ටික කලක් භාවිත කර ඉවතදැමීම නාස්තියකි.

මෙම සටහනේ පෙන්වා ඇති පරිදි තාපය අපද්‍රව්‍යයක් වශයෙන් අපතේ යාම මහත් පාඩුවකි. බොහෝ විට මෙය සිදුවන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදීය. රේඛීය ආර්ථිකය නිසා මෙසේ අපතේ යැවෙන ඝන අප ද්‍රව්‍ය  විශාල ප්‍රමාණයක්

පුලුස්සා දැමේනැති  නම් කසළ වශයෙන් පහත් බිම් පිරවීමට යොදා ගැනේ. මෙම  රේඛීය  ක්‍රියාවලිය නිසා ගොඩ ගැසෙන  අති මහත් අපද්‍රව්‍ය ප්‍රමාණය කළමනාකරණය කිරීම අපහසු වනවා පමණක් නොව, ඒ නිසා ඇති විය හැකි සනීපාරක්ෂක හා පාරිසරික අවදානම ද  ඉමහත් ය. ස්වාභාවික සම්පත් නො කඩවා යොදා ගැනීම මත යැපෙන, රේඛීය ආර්ථිකය නිසා පෘථිවි සම්පත් වේගයෙන් වියැකී යෑම ද  සිදු වේ.

මෙම අපතේ යාමට විසඳුමක් වශයෙන් යෝජිත නව ක්‍රමවේදය  ‘චක්‍රීය ආර්ථික පිවිසුමලෙස දැක්විය හැකිය. මෙම ක්‍රමවේදය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා යෙදවිය හැකි ආකාරය මෙහි දැක්වෙන සටහනෙන් පැහැදිලි වේ. 

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් හටගන්නේ, විවිධ ආකාරයට පසට, ජලාශ වලට, සාගරයට  සහ වායුගෝලයට එකතු වන මහාපරිමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කුඩා කැබලි වලට කැඩී බිඳී යාම නැතහොත්හායනයනිසාය.  මේ නිසා  චක්‍රීය ආර්ථික පිළිවෙත අනුගමනය කිරීම මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම පාලනය වන විට වායුගෝලයට  ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් එකතුවීමද පාලනය වනු ඇත. ඉහත රූප සටහනෙහි දැක්වෙන පරිදි ප්ලාස්ටික් භාවිතයේ අවසාන ඵල, අදට නොගැලපෙන රේඛීය ක්‍රමයට ඉවත් කිරීම වෙනුවට, නුතන චින්තනය වන  චක්‍රීය ආර්ථික පිවිසුම  ඔස්සේ  ප්‍රතිචක්‍රීකරණය කිරීම, තිරසාර භාවය සඳහා කරනු ලබන දැවැන්ත  ආයෝජනයක් වනු ඇත. 

මෙම රූප සටහනෙහි දැක්වෙන පරිදි බාහිර චක්‍රයේ  1, 2, 3, 4, 5 සහ 6 අංක වලින් දැක්වෙන්නේ රේඛීය ආර්ථික පිවිසුමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයයි. මෙහිදී ස්වාභාවික සම්පත් සහ අමුද්‍රව්‍ය ලබාගැනීම, ඒ මගින් භාණ්ඩ නිෂ්පාදනය, ඇසුරුම්කරණය, භාවිතය සහ නඩත්තුව එම අනුපිළිවෙලට සිදුවේ. අවසානයේදී භාවිතයෙන් ඉවත්වන ප්ලාස්ටික් වෙනත් ඝන අපද්‍රව්‍යත් සමග එක්කෝ දහනය කිරීම  හෝ ඉඩම් ගොඩ කිරීම සඳහා ගනු ලැබේ. මේ දෙආකාරයෙන්ම පරිසර දූෂණය සිදුවන අතර, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු මුක්ත වීමද සිදුවේ. 

එහෙත් මෙහි 1, 2, 3, 4, 5, 7 සහ 8 අංක වලින් පෙන්වා ඇති, චක්‍රීය ආර්ථික පිවිසුමේදී යළි  භාවිතය සහ නිමි භාණ්ඩ හෝ කොටස් ප්‍රතිචක්‍රීකරණය කිරීමට පියවර ගන්නා නිසා සිදුවන පරිසර හානිය අවම කරගත හැකිවේ. එසේම ප්‍රතිචක්‍රීකරණය කර ලබාගන්නා ඵලඅමු ද්‍රව්‍ය ලෙස යළිත් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන නිසා ස්වාභාවික සම්පත් වලට සිදුවන හානියද අඩුවේ. මෙසේ දශක කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන විට ස්වාභාවික සම්පත් භාවිතය සහ ප්ලාස්ටික් නිමි  භාණ්ඩ අතර සමතුලිත තාවයක් බලාපොරොත්තු විය හැකිය. මේ නිසා විසි එක්වැනි සියවසට අවශ්‍ය වන්නේ නාස්තිකාරරේඛීය ආර්ථිකයක්නො ව ප්‍රතිජනනීය රටාවක් (regenerative pattern) පාදක කරගත් ආර්ථික චින්තනයකින් මෙහෙයවෙනචක්‍රීය ආර්ථිකයක්බව පැහැදිලි වේ.  ප්ලාස්ටික් ව්‍යසනය මැඩපැවැත්වීම සඳහාද මෙම ක්‍රමය අනුගමනය කළ යුතු බවට පරිසර විද්‍යාඥයෝ ඒකමතිකව තීරණය කර තිබේ.

දයාරත්න වීරසේකර

 

 

 

Don't forget to share this post!

Recent Posts

28b525ddffc6798d60033e3428186253
November 1, 2024