පුරුෂාධිපත්‍ය හමුවේ ස්ත්‍රිය රූකඩයක් බවට පත් වෙලාද?

  • Home
  • /
  • Blog
  • /
  • පුරුෂාධිපත්‍ය හමුවේ ස්ත්‍රිය රූකඩයක් බවට පත් වෙලාද?

ස්ත්‍රිය යනු ස්වභාවධර්මය විසින් මෙලොව නිර්මාණය කළ සුන්දරතම වස්තුවකි. ස්ත්‍රියට ප්‍රජනක කාර්යය පැවරී ඇත්තේ ස්වභාවධර්මයෙන්මය. ඇයගේ ප්‍රජනක කාර්යයට යෝග්‍ය අයුරින් නම්‍යශීලී සිරුරක් සහිතව ඇය නිර්මාණය වූ නිසා ඇය පුරුෂයාට වඩා දුර්වල නම්‍යශීලී අයෙකු ලෙස සලකයි. ඇයට සාපේක්ෂව පුරුෂයා සතු දැඩි මාංශ පේශී හා ශාරීරික ලක්ෂණ නිසා ඔහු ශක්තිමත් එඩිතර අයකු ලෙස සලකයි. මෙකී ලක්ෂණයන් ස්ත්‍රිය හා පුරුෂයා ට වෙන්වෙන්ව ඔවුන්ට ආවේනික දේවල් ලෙස සමාජය විසින් නාමකරණය කරන ලදී. නමුත් ස්ත්‍රියක් දරුවන් වැදූ පමණින් ඇයට වෙනත් කිසිදු කාර්යයක් සිදු කිරීමට නොහැකි යැයි විද්‍යාත්මකව පවා ඔප්පු වී නැත. පුරුෂයා පවුලේ උපයන්නා විය යුතු අතර ස්ත්‍රිය ඔහුගේ යැපෙන්නිය විය යුතුය. සියලු තීරණ ගැනීමේ ශක්තිය පුරුෂයාට තිබෙන අතර ස්ත්‍රීයට සිදුවන්නේ ඒවාට යටත් වීම පමණකි. ඊට හේතුව මේ සමාජ ක්‍රමය තුළ පුරුෂාධිපත්‍ය මුල් මුල්බැසගෙන තිබීමයි. ලෝකයේ පුරුෂාධිපත්‍යය ආරම්භය දශක ගණනක් ඈතට දිව යන අතර ලංකාවේද පීතෘ මූලික කරගත් සමාජයක් තුළ පුරුෂාධිපත්‍ය එදා පටන් අද වනතුරුත් අඩු වැඩි වශයෙන් දැකගත හැකිවෙයි. ඒයාකාරයට පුරුෂාධිපත්‍ය මුල්බැසගත් සමාජ ක්‍රමයක් තුළ ස්ත්‍රිය යනු පුරුෂයා විසින් නටවන ලද රූකඩයක් වැනිය. සමහර ස්ත්‍රීන් සමාජයේ ඉහලට ඉගෙන ගත්තත් ඇය විවාහ වීමෙන් පසුව ඇයට රැකියාවක් කිරීමට ඉඩ නොදෙන පිරිමින් මෙරට ඇත. තවද විවාහ වීමෙන් පසුව ළමයින් හදන ගණන තීරණය කරනු ලබන්නේ ද පිරිමියා විසිනි. ඒ හමුවේ ස්ත්‍රිය යනු පුරුෂයා තෘප්තිමත් කරවන එක්තරා ආකාරය උපකරණයක් ලෙසද හැඳින්විය හැකිය. තමා කැමති ඇඳුමක් ඇදීමට, තමන් කැමති ගමනක් බිමනක් යාමට, තමා ආශ්‍රය කළ යුත්තේ කවුරුන්ද යන්න ආදී සියල්ල පුරුෂයාගේ කීමට අනුව සිදු කිරීමට පුරුෂාධිපත්‍ය යටතේ ජීවත්වන ස්ත්‍රියකට සිදුවේ. සමහර ආයතනයන් වල විධායක ශ්‍රේණියේ තනතුරු ස්ත්‍රීන් විසින් හොබවනවා අප කොතෙකුත් දැක ඇත. නමුත් ඇය යටතේ වැඩ කරනු ලබන පිරිමින් ඇයගේ අණ පිළිපැදීමට යම්තාක් දුරකට මැලිකමක් දක්වයි. ඊට හේතුව වන්නේත් ස්ත්‍රියකට යටත්වීම පරාජයක් ලෙස ඔවුන් දකින නිසාවෙනි. ස්ත්‍රියකටද ඇයට ම විශේෂ වූ සිතුම්-පැතුම්, හැඟීම් දැනීම් සමුදායක් තිබේ. පුරුෂයා සතුටු කිරීමම පමණක් ස්ත්‍රියට තිබෙන කාර්යභාරයක් නොවේ. යම් පුරුෂයකු ස්ත්‍රියක් විවාහ කරගත් පලියට ඇයගේ කැමැත්තකින් තොරව ඇය සමඟ ලිංගිකව හැසිරෙනවා නම් එයද දූෂණ ක්‍රියාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා දක්වා ඇත. අප මේ සිටින්නේ විසි දෙවන ශතවර්ෂයේය. ලෝකයේම අලුත් මානයකට ගමන් කරද්දී පුරුෂාධිපත්‍ය වැනි හණමිටි අදහස් පසෙකලා ස්ත්‍රියකට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය මේ සමාජ ක්‍රමය තුළ අප විසින් සකසා දිය යුතු නොවේද?

සටහන – ඉසුරි එදිරිසිංහ

Don't forget to share this post!

Recent Posts

116
October 21, 2024