බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ

  • Home
  • /
  • Blog
  • /
  • බන්ධනය වැරදී මියගිය ගුරුන්නාන්සේ

ජයසිරි හාමු සීටිං වලව්වේ හාමුගේ වැඩිමල් පුත‍්‍රයා ය. කලකට පෙර ඔහු ගමේ පියවතී නම් රූමත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තේය.

දිනක් හැන්දෑවේ කාටත් හොරා ගං ඉවුරේ  සල්ලාපයේ යෙදී සිටි මේ දෙදෙනා නැවත නිවෙස් බලා යෑමට පිටත් වෙද්දී හොඳටම බිං කරුවල වැටී තිබිණි. පියවතී නිවසට යන විට ඇයගේ පියා හා මව කුඹුරට ගොස් සිටීම නිසා ඇගෙන් ප‍්‍රශ්න කිරීමට කිසිවකු නොවීය. රාත‍්‍රි අටට පමණ ගමේ ගොවියකු වූ සියනේරිස් මාමා කලබලයෙන් ගෙට ගොඩවිය. ‘‘ඇයි මලයා කලබලයෙන්’’ පියවතීගේ තාත්තා විමසීය. ‘‘හරි වැඬේනෙ අයියා ජයසිරි හාමුට පොළඟ ගහලනෙ, හොඳටම අමාරුයි. මං මේ කෝමාරික කෑල්ලක් අරං යන්න ආවෙ.’’ සියනේරිස් මාමා කීවේය. ‘‘යමං බලන්න අන්න කෝමාරිකා කෑල්ල කඩා ගනිං’’ පියවතීගේ තාත්තා වලව්වට යන්නට සූදානම්විය. ‘‘තාත්තේ මාත් එන්නං’’ පියවතී කීවාය. ‘‘උඹ කොහේ එන්නද?’’ තාත්තා වහා පිටත්විය.

‘‘අම්මේ ජයසිරි හාමුට පොළඟ ගහලලූ. අන්න තාත්තා වලව්වට ගියා. අපි දෙන්නත් යමු ඉක්මනට . ඔය බෙහෙත් හදන්න උදව් කරන්න ඇහැකිනෙ.’’ කඳුළු සඟවාගත් පියවතී කීවාය.‘‘තාත්ත එන්න එපා කියල නේද කීවේ.මව කීවත් පියවතීගේ පෙරැත්තය බලවත් විය.

පියවතී සහ මව වලව්වට යන විට එහි සෑහෙන පිරිසක් එකතු වී සිටියහ. පියවතී දුටු ජයසිරි හාමු ඇයට ළඟට එන ලෙස අතින් සංඥා දුන්නේය. ‘‘මං ඔයාව තනි කරන්නේ නෑ’’ ජයසිරි ගොත ගසමින් කීවද එතැන සිටි කිසිවකුටත් එය නොතේරුණේ පියවතීගේ හා ජයසිරිගේ සම්බන්ධය කිසිවකු නොදන්නා නිසාය. එහෙත් පියවතීට එය හොඳින් තේරුණ අතර එතෙක් තද කරගෙන සිටි කඳුළු දෙනෙතින් එළියට පැන්නේය. ‘‘බොහෝම නරක තිථියක බල නහරෙකටමයි පොළඟ ගහල තියෙන්නේ. ඇඟ පුරාම විෂ දුවල සනීප කරන්න අමාරුයි.’’ වෙද මාමා කියනු පියවතීට ඇසිණි. පියවතී අම්මාගේ උරහිසට ඔලූව තබා හඬන්නට පටන් ගත්තාය. මධ්‍යම රාත‍්‍රියේ ජයසිරි හාමු මෙලොව හැර ගියේය.

සතියක් පමණ වැඩි කතා බහක් නැතිව සිටි පියවතී ඈතට ගොස් තනිවම කතා කරන්නට වූවාය. මෙය දුටු තාත්තා ඒ ගැන විමසීමට ඇය වෙත ගිය විට එතැනින් නැගිට ඇය වෙන තැනකට ගියාය. මින් බියට පත් වූ තාත්තා ගමේ යකැදුරු තැන ගෙන්වා තෙල් සාත්තුවක් කරවූයේය. එහෙත් අසනීපයේ අඩුවක් පෙනෙන්නට නොතිබිණි. ගමේ යකැදුරු තැන කීවේ ළමයාට ළඟදී මියගිය පරාණකාරයෙක් වැහී ඇති බව හා මෙය වග්ගුපාල ගුරුන්නාන්සේ වැනි අයෙක් ලවා කපා දැමිය යුතු බවත් ය. අම්මා වෙත ගිය තාත්තා ‘‘මම කිව්වනෙ එදා වලව්වට කෙල්ලට එන්න එපා කියල. කොහෙද උඹත් දෝණියැන්ද ඉස්සර කරගෙන ආව. මම දැක්ක මේකි හාමු මැරෙන්න කලින් හාමුත් එක්ක කතා කරකර ඉන්නව.දැන් ඉතිං ඉඩකඩං උගස් කොරල තොවිල් කරහල්ලකො’’ අම්මාට බණින්නට පටන් ගත්තේය. වැස්සත් බැණුම් අහන, පෑව්වත් බැණුම් අහන ආකාසය මෙන් අම්මා සියලූ අවලාද අසමින් නිහඬව සිටියා මිස පියවතී පාවා දුන්නේ නැත.

වග්ගුපාල ගුරුන්නාන්සේ පැමිණ රෝගියාගේ සියලූ විස්තර කතා කොට පියවතීට ළඟදී අහලපහල මියගිය තරුණයකු බැල්ම හෙලන්නට පටන්ගෙන ඇති බව කීවේය. තාත්තා යළිත් අම්මාට බැණ වදින්නට විය. මේ අමනුෂ්‍ය දෝෂය පලවා හැරීමට මියගිය තරුණයාගේ වළ හාරා මිනී පෙට්ටිය මත දිගා වී මතුරන්නට වන බව කීවේය. තවද එසේ වළ හාරනවාට මියගිය ඇත්තන්ගේ නෑදෑයින් කැමැති නොවන නිසා ඉතා රහසිගතව මෙය කළ යුතු බව ද කීවේය. වැරදුනොත් තමාගේ ජීවිතය ද නැතිවන බව කි වග්ගුපාල එබැවින් මේ සඳහා තරමක ලොකු මුදලක් අය කළ යුතු බව ද කීවේය. පසුදින තමා අවශ්‍ය කළමනා රැගෙන පැමිණෙන බව ද, මත්පැන් බෝතල දෙකක්, බිත්තර දෙකක් උක්දඬු දෙකක් සූදානම් කර තබන ලෙස ද කියා වග්ගුපාල ගුරුන්නාන්සේ පිටත් විය.

බන්ධනය කැපීම සඳහා වග්ගුපාල ගුරුන්නාන්සේ පසුදින දහවල් පැමිණියේය. රහසිගතව ජයසිරි හාමු මිහිදන් කළ ස්ථානයට ගිය ඔහු පියවතීගේ තාත්තාට හිතවත් තරුණයන් දෙදෙනකු කැඳවා ගත්තේය. ඔවුන්ට ජයසිරි හාමුගේ මිනී වළ හාරා පෙට්ටිය මතුකර ගන්නා ලෙස දැන්වු වග්ගුපාල වළ වටේට අතුගා දැමීය. වලව්වට අයිති විශාල වත්තේ කෙළවරක මෙම ස්ථානය පිහිටීමත්, එයට යාබදව ඇත්තේ ආණ්ඩුවේ කැලය වීමත් රහසිගතව වැඩ කටයුතු කරන්නට පහසුවක් විය.

          මිනී වළ වටා ඝණකමක් ඇති නූලක් ඇද්ද වග්ගුපාල, තරුණයන් දෙදෙනා ඇමතීය. ‘‘මම මේ කරන්න යන්නෙ හරිම භයානක වැඩක්. පොඞ්ඩ ගැස්සිලා ගියොත් මාවත් වළට දාල වහන්න තමා වෙන්නේ තේරුණාද?’’ ‘‘කෝ මෙහාට ගනිං ඔය අරක්කු බෝතලේ’’ පැණි බිම බොන්නාක් මෙන් අරක්කු බෝතලය කටට තබා ගත් වග්ගුපාල එක හුස්මට භාගයක් පමණ හිස් කළේය. වටින් ගොඩින් අඳුර ගලා ආවේය.

‘‘ මම දැන් වළට බැහැල පෙට්ටිය උඩ නිදාගෙන මන්තර කියන්න ගන්නව. එතකොට ඔය හරියට නයෙක් එයි. ඌට උඹල දෙන්න බිත්තර දෙක දීපල්ල. හැබැයි උඹල බය වෙන්න එපා. ඕන්නං අර අරක්කු ටිකක් බිපන් මට වගේ හිතට හයිය එන්න. ඊළඟට එනවා මහ භයානක ඇතෙක්. සමහර විට නොඑන්නත් පුළුවන්. ඌට දීපං ඔය උක්දඬු දෙක හැබැයි උඹල බය වෙන්න එපා. එහෙම උනොත් මම තමයි අමාරුවෙ වැටෙන්නේ.’’ කිවූ වග්ගුපාල ගුරුන්නාන්සේ වළේ දෙපැත්තේ පන්දම් දෙකක් පත්තු කොට සිටුවා වළට බැස්සේය. 

‘‘ඔය නයා සමහර වෙලාවට බෙල්ලටම පනිනවලූ’’ එක් තරුණයෙක් අනෙක් තරුණයා බිය ගැන්වීය. 

‘‘නයාට වැඩිය භයානක ඇතාලූ. මේ වගේ ඒවයෙදි ඕන තරං මිනිස්සු පාගල මරල දාල තියෙනවලූ.’’ අනෙක් තරුණයා කී අතර දෙදෙනාගේ වදන් වලින් දෙදෙනාම ඉතා බියට පත්වූහ. ගුරුන්නාන්සේ මතුරන්නට පටන් ගත්තේය. විනාඩි දහයකින් පමණ දැවැන්ත නාගයෙක් ඒ දෙසට ආවේය. බියට පත් තරුණයෝ බිත්තර ඌ දෙසට විසි කළහ. බිත්තර දෙක ගිල දැමූ නාගයා එතැනින් ඉවතට ගමන් කළේය. තවත් විනාඩි දහයකින් පමණ කැලය දෙසින් අතු කොළ හෙළවෙන්නාක් මෙන් එක තරුණයෙකුට ඇසුණේය. මෙය අනෙක් තරුණයාට කී විට ඔහු බියට පත්ව 

‘‘අපි මෙතන ගිනිගොඩක් ගහමු. එතකොට ඇතාට මෙතෙන්ට එන්න බෑනේ’’ 

තරුණයන් දෙදෙනා  අතුගා දැමූ කොලරොඩු එකතුකොට විලක්කු දෙක ගලවාගෙන එතැන ගිනිගොඩක් ගැසූහ.

‘‘ඔන්න අලියා’’ එක් තරුණයෙක් අනෙක් තරුණයා බිය වැද්දීමේ අදහසින් කී විට බියට පත් වූ තරුණයා පසු නොබලා දුවන්නට විය. තනි වුණ අනෙක් තරුණයා ද මුල් තරුණයා අනුගමනය කළේය. වළ වටේට ගිනි ජාලා ඇවිලෙද්දී තරුණයන් දෙදෙනා පියවතීගේ ගෙදරට දිව විත් හති අරින ගමන් ම නාගයා ආ හැටිත්, අලියකු පසුපස පැන්නුවා යැයි බොරුවකුත් කීහ. වහාම ක‍්‍රියාත්මක වූ පියවතීගේ තාත්තා තවත් දෙදෙනෙකුත් තරුණයන් දෙදෙනාත් කැටුව මිනී වළ දෙසට ගිය අතර, ඔවුන්ට දක්නට ලැබුණේ වසා තිබූ පෙට්ටිය මත උඩුබැලි අතට දිගාවී මියගොස් සිටි වග්ගුපාල ගුරුන්නාන්සේය.

මෙහි සිදුවන්නට ඇත්තේ කුමක්ද

වග්ගුපාල එන විට විශාල නයෙක් මල්ලක දමාගෙන ආ අතර කාටත් හොරෙන් එය මිනීවළ ආසන්නයේ රොඩු අතරේ සඟවා තබා එහි කට ගැට ගසා තිබූ නූල මිනී වළ වෙත ඇද ගත්තේය. ටික වේලාවක් මතුරාගෙන යද්දී නූලෙන් ඇද නාග මල්ලේ ගැටය ලිහා දැමීය. වළ වටා තවත් එවැනිම නූල් යොදා තිබුණ බැවින් නාග මල්ලට අදින ලද නූලේ විශේෂත්වයක් නොවීය.

කුසගින්නේ සිටි නාගයා ඌ වෙත දැමූ බිත්තර ගිල දැමීය. ගුරුන්නාන්සේ කියූ දෙය හරියටම සිදු වුන හෙයින් ඊළඟට ඇතා එතැයි බිය වූ තරුණයෝ පලා ගියහ. වළ වටේ ගිනි ගොඩක් දැල්වීම නිසා වළේ සිටි ගුරුන්නාන්සේට ආශ්වාස කිරීමට ඔක්සිජන් මදි විය. ඔහු මත්පැන් පානය කර සිටි හෙයින් වළෙන් නැඟිට ඒමට අපහසු වී ඔක්සිජන් හිඟව මිය ගියේය. එක්තරා සත්‍ය කතාවක් හා බැඳුණ මෙහි සිදු වී ඇත්තේ මෙය බව මරණ පරීක්‍ෂණයෙන් සනාථ වුවත් ගම්මුන් අතර විශ්වාසය වූයේ අමනුෂ්‍ය පිල්ලිය නිසා මෙසේ වූ බවය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ ලියූ “හොරවෙදාට වැරදුන තැන” යන කෘතියෙන් උපුටා ගන්නා ලදී.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024