බල්ලො රැළක් එක්ක ගියත් මං තවම අවිවාහකයි

  • Home
  • /
  • History
  • /
  • බල්ලො රැළක් එක්ක ගියත් මං තවම අවිවාහකයි

කලකට ඉහත මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයෙහි ඉහළින් පොලිස් බලු උත්සවයක් පැවැත්විණි. එහිදී රට බල්ලන් කීප දෙනෙකු විශේෂ මණ්ඩපයක රඳවා ඔවුනට ගරු සත්කාර කැර මධුසමය සඳහා බලු ජෝඩු ජීවත් කර යැවීමක් ද සිදුවිය. මේ විස්සූක උත්සවය ගැන ගමේ බැල්ලියක දුටු ආකාරය ගැන විශේෂාංගයෙන් චිත්‍රණය කෙරේ.

ඔන්න! ආයිබෝවන්ඩ මං ගමේ බැල්ලියක්. ඔය සමහර තැන්වල වගේ ලොකු ජාතියේ බැල්ලියෙක් නෙවෙයි. මං හොඳට හිතලා කල්පනා කරලා මේ වචන ටික කියන්ඩ හිතුවේ. මේ ටිකවත් කිව්වේ නැති නම් මගේ කට කහවි.

අනාදිමත් කාලෙක ඉඳන් ඕගොලො අපේ පරපුරටම තින්දා කරනවා. ඒක පටන්ගන්නේ උණ පුරුකෙ ලෑවත් බලු වලිගෙ ඇද ඇරෙන්නෙ නෑ කියන කතාවත් එක්ක. අපේ  වලිගය එදා ඉඳන්ම තිබුණේ එහෙම තමයි. ඒක කවදාවත් කෙළින් පිහිටනවට අපි කැමතිත් නැහැ. ඒවට ඉඩ දෙන්නෙත් නැහැ. අපේ ප්‍රතිපත්තිය ඒකයි.

ඊළඟට ඕගොල්ලා අපට තවත් කෝචොක් එකක් දම්‍ය. කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන් කියලා කවදටත් හිටියෙ එහෙමයි. ඕ ගොල්ලො දැන් කලිසම ඉණෙන් බස්සනවා. කොණ්ඩේ පාට කරනවා. රිලා කට් කපනවා. ළමා අපචාර කරනවා. සමලිංගිකයන් නීතිගත කරනවා. අපට කන්ඩ දුන්නත් ඇත්ත කියන්න ඕනෑ.

සමහර නෝනලා පාරෙ යන්නෙ යන්තම් ඇඳුමක් පටලගෙන. ඒත් හෙළුවෙන්. අපට ඇඳුම් පිස්සුවක් නැහැ. ගත රස්නෙ, කිටි කිටියේ ගැහෙන සීතල මේ හැමදේටම සොබාධර්මෙ අපට දිගු ලෝම තියෙන හමක් දීලා තියෙනවා.

අපි මිනිස්සුන්ට වඩා බොහෝම නිදහස්. අපට ලිංගික තහංචි නැහැ. ඒඩ්ස්, උපදංශ, සුදුබිංදුම වගේ රෝග හැදෙන්නෙ නැහැ. අපට ලිංගික ඊර්ෂ්‍යාවක් ඔය අයට වගේ නැහැ. සොබාධර්මය අපට දුන්නු රටාව ඒකයි.

මාත් ගමේ බැල්ලියක්. පැටවු තුන් හතරපාරක් වැදුවත් මං තවම කන්‍යාවක් කිවුවොත් ඕගොල්ලො පුදුම වේවි. හැබැයි කන්‍යාවක් වෙන්නෙ හිතින් මිසක් ගතින් නොවේ ඇයි? මං එහෙම කියන්නෙ මං තවම කන්‍යාවක් කියලා. බල්ලො දහ දොළොස් දෙනෙක් එක්ක ගියත් මං ඔය එකෙක් එක්කවත් කැමැත්තකින් ගිහිං නැහැ. ඒකයි.

ඕගොල්ලො දැන් අපිව බන්දන්න හදන්නෙ අපි අයාලේ යන පිරිසක් කියලා හිතලාද ? බැන්ද කියලා අයාලෙ යන එක රහසින් මිනිස්සුත් කරනවා. නමුත් අපි ඒක එළිපිට කරනවා. ඒකයි ඔයගොල්ලොයි අපියි අතර තියෙන එකම වෙනස. සමහර විට මට ඇහිලා තියෙනවා එක අරමුණක වැඩ කරන්න බැරිවුණහම

දැන් හරියට එළිපත්තෙ ඉන්න බල්ලා වගෙයි කියනවා. ඒත් අපි එළිපත්තෙ ළිප් බොක්කෙ ඉන්නෙ ඔය ගොල්ලන්ගෙ ගේ දොර මුර කරන්න. හොරු ආවහම එළවන්ඩ කිසියම් අරමුණක් වෙනුවෙන්. මොනවද? ඒ වෙනුවෙන් ඔය ගොල්ලො අපට දෙන්නෙ. නිකන් ඉඳුල් බත් ටිකක් විතරයි. සමහර විට ගෙදර මහත්තයා බීලා ආවහම මගේ ඉඳුල් බත් එකටත් වැටෙනවා.

තවත් කතාවක් කියනවා. මට ඇහිලා තියෙනවා. මඟුල් ගෙවල් දෙකක් අතර ඉන්න බල්ලා වගේ කියලා. ඒ කියන්නෙ අපි කොහොමත් බඩගින්නෙ. මට ඉවසන්නම බැරි කතාව බල්ලගෙ පස්ස පැත්තෙ  මීයක් බැන්දා වගේ කියලා අපහාස කරන එක. ඒ වුණාට තමන්ගෙ ස්වාමිවරු වෙනුවෙන් ජීවිතය පුජා කළ අපේ පරපුරේ අය ඉන්නවා. සමහර සීත රටවල අපිට කරත්ත වලටත් බැඳලා අයිස් උඩ ගමන් කරවනවා. මහත්වරු නැගල ඉන්න  බක්කිය ඇදන් යන්නෙත් අපි.

බොහෝ දේවල් කතාකරගෙන ගියාට මට කියන්ඩ අවශ්‍ය දේ කියාගන්ඩ බැරි වුණා. මං තවම නෑම්බියක්. කෝ මට යුග දිවියක්. කසාදයක්. ඔය ගොල්ලො හිතන්නෙ ඉව තියෙන්නෙ අපරාධ අල්ලන්න සහාය දෙන අයට විතරයි කියලාද? මහත්තයෝ විවාහය කියන්නේ නැවත උපතක්. ඒ උප්පත්තියෙදි කෙනෙක් මැරිල යන්ඩ පුළුවන්. තමන්ගෙ ස්වාමි පුරුෂයා රාජමාලිගයට වගේම දුගී පැල්පතටත් තල්ලු කරන්න ඒ සහකාරියට පුළුවන්. රැපානේ හඳට උඩු බුර බුරා ඉන්න කියලා ද අපට කියන්නෙ. අපිව කසාද බන්දවන්ඩ කවුරුවත් තීන්දු ගන්න ඕනැ නැහැ. නගුට වනලා හැමදාම බැලමෙහෙ කරපු අපිව ඕගොල්ලන්ගේ ඒ නැවත උත්පත්තියේ තිඹිරිගෙය පෝරු මස්තකයට නග්ගන්ත ඕනි නැහැ. එහෙම කරලා පෝරුවත් බල්ලට ගියා කියලා අපට තවත් වතාවක් නින්දා අපහාස දෙන්නත් ඕනි නැහැ.

මට පැටවු තුන් පාරක් ලැබුණා. පළමු වතාවෙ හතර දෙනයි. ලස්සන බූල් පැටව්. වෙද මහත්තයගේ ගෙදර බූලා රෑ තිස්සෙ මට කරදර කරපු එකේ විපාකය. ඒත් මාව වැස්සකටවත් ඕගොල්ලන්ගේ ගෙදරකටවත් වද්ද ගන්නෙ නැහැනෙ. ඒ නිසා මගේ තනබුරුල්ල කිරි නැතිව වේළුණා. මං හොරෙන් කුණු බක්කිය අවුස්සලා හෝටල් පිටිපස්සෙ තිබුණු ඉඳුල් කාලා මගේ පැටව් කිරි ඇරෙනකම්ම ලොකු මහත් කළා. ඒත් පාර පුරා දිව්ව මගේ පැටව් පාරේ දුවන වාහන වලට යට වෙලා මැරුණා. මිනිස්සු කික්කියෝ එපා කියලා මගේ පැටව් දාලා ගියා.

ඒකෙ ප්‍රතිඵලේ ඕගොල්ලගෙම වාහනවලට මගේ පැටව් බිලිවීම විතරයි. ඒ පැටව් එක්ක මං සහවාසෙ ඉන්නද? ඊළගට පන්සලේ ටොමියා මං ළඟට ආවා. ඒ පාරත් මං තුන්දෙනෙක් වැදුවා. රෑ තිස්සෙ නිදිමරලා හදපු ඒ පැටව් කවුරුදෝ මල්ලක දාගෙන ගිහින් අදත් හොයාගන්න බැහැ. මේ තුන්වෙනි වතාව මං ආයිත් පැටව් ලබලා. කවුද මගේ දරුවන්ට උප්පැන්න දෙන්නෙ. කවුද ඒ අයව බලාගන්නෙ. සමහර විට නගර සභාවෙ බලු වෑන් එක ඇවිත් ඒ පැටව් ඇදගෙන ගිහින් දුම් කාමර වල දමාවි. විස දුමාරෙන් උන් මරා ඊට පස්සෙ දෙහිවල සතුන් වත්තෙ සිංහයන්ට කොටින්ට කන්න දමාවි.

මහත්වරුනි, දෙපාර්තමේන්තුවල බල්ලන්ට වගේම අපටත් දුක වේදනාව දැනෙනවා. ආසාවන් බලාපොරොත්තු තියෙනවා. අපට අපේ බලුකම තියාගෙන පාඩුවෙ ජීවත් වෙන්ඩ ඉඩ දෙන්න. හොඳ බල්ලො අභිජනනය කරන්ඩ කියලා පිස්සු වැඩ නම් කරන්න එපා. අනික අපි හනිමොන් යන්නේ ඔගොල්ලන්ට ඕනි වෙලාවට නෙමේ. ඒකට ජීව විද්‍යාත්මක කාරණා තියෙනවා. මිනිස්සුන්ට වගේ උදේ දවල් රෑ ඕනෑම වෙලාවක ඒ කටයුතු අපි කරන්නෙ නැහැ. මං එහෙම කිව්වෙ ඔය සමහර කොළඹ සමහර ලොකු ලොකු හෝටල්වල ගාල් කරලා තියෙන තඩි කාර් පෝලිමේ ගැන කියනවා ඇහිලා තියෙන නිසයි. මේ කාර්වලින් ඔහොම හෝටල්වලට උදේ සිට රෑ මැදියම දක්වා එන්නෙ කාර්යාල වැඩ කරන්නද? අපිට එහෙම පිස්සුවක් නැහැ. ලිංගික  ඊර්ෂ්‍යාව නිසා අපි අතරත් පොඩි පොඩි බලු පොර ඇති වෙනවා තමයි. ඒත් අපි මේවා කරන්නේ කාලෙකට විතරයි. ඒ කාලෙට අපේ ලිංගික අවයවවලින් ශ්‍රාවයක් ගලනවා. අපේ ස්වාමි පුරුෂයන්ට මේ ඊට අවස්ථාව කියලා ඉඟි කරන සුවඳක් දැනෙනවා. ඕ ගොල්ලන්ට හිතෙන හිතෙන හැටියට අපිව හනිමුන් යවන්න බැහැ.

අපේ මිනිස්සුන්ට මේ මහ පොළොව වැවෙන පලතුරු වටින්නේ නැහැ. එක අඹ ගෙඩියක දවස් දෙකහමාරකට දරුවෙකුට අවශ්‍යA සහ C විටමින් ප්‍රමාණය තියෙද්දී ඕගොල්ලො C විටමින් සියයට විස්සක් පමණ ලබා දෙන ඇපල් ගෙඩි ෆුඩ් සිටියෙන් ගෙනල්ලා කවනවා. අපේ අඹ ගෙඩියේ ගුණය ගන්න ඒ දරැවා ඇපල් ගෙඩි පහක් කන්න ඕනෑ. අපේ බතල ගෙඩිය පොඩියි. මඤ්ඤොක්කා අලය කුඩායි. යම් විදිහකින් ලොකු අලයක් හම්බ වුණොත් ඒවට ඔය ගොල්ලො රට අල කියනවා. ඒ වගේම ඕගොල්ලන්ට ගමේ බල්ලෝ වටින්නෙ නැහැ. උන්ගේ අභිජනනය හොද නැහැ උන් සුරයො නෙවෙයි. එහෙම අදහසක් තියෙන්නෙ ඒකනෙ, රට බල්ලන්ට මේ තරම් සැලකිලි,

මං ගමේ බැල්ලියක්, ශක්තිමත් දරු පැටව් හදන්න මටත් පුළුවන්. අපේ බලු නාමයට අපහාස නොකර අපටත් යන කල දවසක් ගැන හිතන්ඩ පුරුදු වෙයල්ලා,

අනෙත් එක පැටව් කොච්චර හිටියත් උන්ට කිරි දීලා පෝෂණය කරන්න අපට පුළුවන්. ඔය ගොල්ලන්ගෙ සමහර අම්මලා වගේ ඇඟපත අවලස්සන වෙයි කියලා අපි කවදාවත් පැටවුන්ට මවු කිරි නොදී රටකිරි දෙන්නෙ නැහැ.

ඒත් මං වදන පැටවු ගැන එක්තරා විදියකට හිතන කොට මට කිසි බයක් නෑ මොකද? අපේ පරපුරේ අය ළමා අපචාර කරන්නෙ නෑ. එහෙම අපචාර කරලා මරල  දාන්නෙත් නෑ. ඕගොල්ලන්ගේ ප්‍රාදේශීය සභා මන්තිරිවරු සභාපතිවරු කීදෙනෙක් නම් එව්වා කරනවාද? ඒ වගේම මං දැකලා තියෙනවා පිළිකන්නේ ඉඳන් ඕගොල්ලන්ගෙ ටීවි එකෙන්ම උන් යන්නෙ නිකන් උපාධියක් ගහලා රටට සම්මාන ගෞරව දීපු අය වගේ හිනාවේවී සැලියුට් ගගහා. අපේ අය එහෙම කරන්නෙ නෑ.

අනෙක අපට ස්වාමිවරු ඉන්නේ ඒ කාලෙට ඒ වෙලාවට විතරයි. පැටවු රකින්නෙ අපි. දරුවන්ට කන්ඩ දෙන්ඩ බෑ කියලා දරුවන් අරන් ගගේ මුහුදේ පනින්නේ නෑ. දරුවන් මරලා හංගන්නේ නෑ. මිනිසුන් හැටියට ලැජ්ජා සහගත දේ කරන ඕගොල්ලො බල්ලන් වන අපේ ගෞරවයට හානි කරන එක හොඳ නෑ කියලා දැන්වත් හිතපල්ලා.

මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා දිවයින පුවත්පතට 1990 දශකයේ ලිවූ ලිපියකි.

Don't forget to share this post!

Recent Posts

Copy-of-unnamed-300x183
March 28, 2024