80 දශකයේ ආරම්භ වූ භීෂණය නිසා. බොහෝ විට බැට කෑවේ. ඈත එපිට පිටිසර පළාත්වල අහිංසක දුප්පත් ජනතාවය. මෙවැනි කෙනෙකුට විභාග සහතිකයක් ලබාගැනීම සම්බන්ධව මට කළ හැකි වූ උපකාරයක් මෙසේ සටහන් කර තබමි.
හිටි ගමන් බෝම්බ පුපුරා ගිය අවිනිශ්චිත සමයේ රාජකාරි කටයුතු අඩාළ වූවාටත් වැඩියෙන් දකුණේ ත්‍රස්ත කළබල පැවතුණු සමයේදී අඩාළ වූ බව, ඒ කාලයේ රාජකාරි කළ කාටත් මතක ඇත.
” උදේ දහයට පෙර කාර්යාලයෙන් පිට නොවුවහොත් මරණය“
යන තර්ජනාත්මක පාඨය සහිත කඩදාසි කැබලි. තම කාර්යාල මේසය මත තිබෙනු දකින රජයේ සේවකයාට කාගේ පිළිසරණක්ද , හෙමිහිට කාර්යාලයෙන් පිටවීම හැර.
මා එකල වැඩ කළේ විභාග දෙපාර්තමේන්තුවේය.
මෙවැනි වාතාවරණයක් තිබුණු කාලයේ එක් දිනක. මම කාර්යාලයේ සිට ලියුමක් තැපැල් කිරිම සඳහා ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. ගේට්ටුවෙන් පිටත තරුණියක් සමග සිටි මහලු මවක්. ඉතාමත් බැගෑපත් අන්දමින් ” මහත්තයා උදව්වක් කරන්න ” කියමින් මට අතපෑවාය. මඳක් නතර වූ මම, ගේට්ටුවේ සිටි මුරකරුගෙන් මේ කාන්තාව ගැන විමසීමි. ඔහු එක්වරටම දුන් පිළිතුර වූයේ
“සර්, කිසිම ලියවිල්ලක් නැතුව. මේ දෙන්නා සහතිකයක් ගන්න ඇතුළට යන්න ඉල්ලුවා මට එහෙම යන්නට දෙන්න බැහැනේ” යනුවෙනි .
ඔවුනට විනාඩියක් සිටින ලෙස කී මා ලියුම් තැපෑල් කර පැමිණ ඔවුන්ගේ තොරතුරු මඳක් විමසීමි. ඔවුන් පැමිණ සිටියේ තරුණියගේ රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා, විභාග සහතිකයක පිටපතක් ලබා ගැනීමටය. ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වසර දහයකට පමණ ඉහතදී, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගම්බද පාසලකිනි. ඇයගේ සියල්ල භීෂණ සමයේදී විනාශ වී ගොස්ය.
ඔවුන්ගේ අවශ්‍යතාව තේරුම් ගත් මා, අමුත්තන් සඳහා දෙපාර්තුමේන්තුවට ඇතුල්වීම පිණිස තිබුණු පෝරමයක් ගේට්ටුවෙන් ලබාගෙන, එය සම්පුර්ණ කර දෙන ලෙස ඔවුනට දුනිමි. තම පුද්ගල හැඳුනුම්පත්ද නොමැති බව කී මව, පොලීසිය විසින් නිකුත් කර තිබුණු, කල් ඉකුත් වී ගිය. ලියවිල්ලක් පෙන්වුවාය. තරුණිය විසින් පෝරමය පුරවා ආපසු දුන් විට ඇයගේ අත් අකුරු දැක මම පුදුමයට පත්වීමි. ඒවා ඉතාමත් පැහැදිලිව, මනා සංයමයකින් යුතුව ලියන ලද ඉතා පැහැදිලි, අත් අකුරු විය. ඇය කථා කිරීමේදීද මනා විනීත සහ ආචාරශීලි භාවයක් පෙන්නුම් කළාය. මා ඔවුන්ට ගේට්ටුවෙන් ඇතුළට යාමට කී විට, මුරකරු එයට හරස් විය.
“සර්. පොතේ සටහනක් නොකර පිට කෙනෙක් ඇතුලට යැව්වොත් මම අමාරුවේ වැටෙනවා. කී ඔහු,
”සර්ගේ කෙනෙක් කියලා ලියන්න” යයි ඉල්ලීමක් කළේය.
මම එසේ කළෙමි.
දෙවනුව. ඊළඟ කපොල්ලේ සිටි පොලිස් නිලධාරියාට සහ පොලිස් කාන්තාවට මම කාරණය පැහැදිලි කර දුනිමි.
පොලිස් කාන්තාව විසින් එම අමුත්තන් දෙදෙනා ඇයගේ කුටිය තුළට කැඳවා ගෙන ගොස් කරන ලද පුර්ණ පරීක්ෂණයකින් පසුව, අදාළ පොලිස් පොතෙහිද තොරතුරු සටහන් කිරීමට පටන් ගත්හ. මේ සියල්ලටම පැය කාලක් පමණ ගතවිය. කෙසේ වුවත්
ජාතික හැඳුනුම් පත නොමැතිව ඇතුළට යාමට ඉඩදිය නොහැකි බව පැවසූ ඔව්හු මගේ බලවත් ඉල්ලීම නිසා, අමුත්තන් සතුව තිබූ එකම අනන්‍යතාව වන පොලීසියෙන් නිකුත් කරන ල දින ඉකුත් වූ කඩදාසිය තම සන්තකයට ගත්හ. එය දින ඉකුත්වී තිබුණු බව ඔවුන් නොදුටුවා සේය. ඔවුන්ගේ පොතෙහිද මට අත්සනක් තැබිමට සිදුවිය. කෙසේ හෝ ඔවුනට අමාරුම කපොලු දෙක පසු කිරීමට හැකි විය.
ඊළඟ පියවර රාජකාරියට අදාළය. එහෙත් රාජකාරිය මගේ විෂය පථයෙන් බාහිරය. අමුත්තන් දෙදෙනාට ආලින්දයේ වාඩි වී සිටීමට කී මම සහතික පත්‍ර ශාඛාවට ගොස්, එහි ප්‍රධානියා වන මගේ මිතුරා සමග සිද්ධිය සාකච්ඡා කළෙමි. වසර දහයක් පැරණි සහතික පිටපතක් ගැනීම පිළිබඳව අනුගමනය කළ යුතු සියලු පියවර. ඔහු මට පැහැදිලි කළේය.
ඔහු පැවසූ ආකාරයට තොරතුරු ඇත්තේ ලේඛණාගාරයේය. එහිද පැරණි සහතික තොරතුරු ඇත්තේ ක්ෂුද්‍ර ලේඛන සේයාපටි” (micro films) ලෙසටය. එම අංශයට ඇතුල් වීම සඳහා, ආයතන ප්‍රධානියාගෙන් ලබාගත යුතුය. ඊළඟට ලේඛනාගාරය භාර තාක්ෂණ නිලධාරියා විසින් අදාළ තොරතුරු ලබාදිය යුතුය.
මම ආයතන ප්‍රධානියාට කාරණය විස්තර කළෙම්, නළල රැළි කරගත් ඔහුගේ ස්වරූපයෙන්ම එම කාර්යයේ බරපතළකම තේරුම් ගතිමි. අමාරුවේ වැටී ඇති, මවට සහ දියණියට කෙසේ හෝ උදව් කළ යුතු යයි මම තීරණය කළෙමි.
ගොනුවක තිබුණු පෝරමයක් මට දුන් අප ප්‍රධානියා මේක පුරවලා ඉල්ලීමක් කරන්න. ඊට පස්සේ, ටෙක්නිකල් ඔෆිසර් වීරසිංහ ලවා, වැඩය කරවා ගන්න“
කියා මට කාරුණිකව, පෝරමය අත්සන් කර දුන්නේය. මම එය රැගෙන වීරසිංහ වෙත ගියෙමි.
අවශ්‍ය සහතිකය සොයා ගැනීමට, අදාළ විභාග අංක වැනි වැදගත් තොරතුරු කිසිවක් නැත. මතකයකට තිබෙන්නේ ඇය විභාගයට පෙනී සිටි පාසලේ නම පමණකි. ඒ පාසල ද භීෂණ සමයේදී විනාශ කර දමා තිබේ. මෙවැනි තත්ත්වයක් උඩ සහතික පිටපත් සෙවීමට මුලින් බලවත් අකමැත්තක් දැක්වූ ඔහු සේවකයෙකුට කථා කර
” කරුණාසේන, මෙන්නමේ සර් අපේ අපේ අඳුරු ගුහාවෙන් කරගන්න වැඩක් ගෙනැල්ලා ” මේක හොයලා බලමුද? අපි දැන් සති දෙක තුනකින් ඒ පැත්තට ගියේවත් නැහැනේ” යයි කීවේය.
ඔහු අඳුරු ගුහාව ලෙස නම් කළේ ලේඛනාගාරයයි. මුහුණ ඇඹුල් කරගත් කරුණාසේන
” කාටද සර්?, සර්ගෙම වැඩක්ද? අදම කර ගන්න ඕනද”?
යනාදි ප්‍රශ්න රාශියක් අසා, අදිමදි කරමින්
” එහෙනම් යමු” කියා
ඇතුළු කාමරයකට ගොස්, කොස්සක් සහ විදුලි පන්දමක්ද රැගෙන ඉස්සර විය. වීරසිංහ සහ මම ඔහු පිටු පසින් ගියෙමු. ලේඛනාගාරයේ දොර විවෘත කළ කරුණාසේන බිත්තියේ ස්විචයක් එබූ විට විශාල කාමරයේ එක විදුලි පහනක් පමණක් දැල්වී මඳ ආලෝකයක් වැටුණි.
ඔහු ඊට පසු කළේ කොස්ස වනමින් ඉදිරියට යාමය.
මා ලේඛනාගාරයට ගිය පළමු වතාව එය විය. කරුණාසේන කොස්ස වනමින් ගියේ එහි බැඳී තිබෙන මකුළු දැල් කැඩීමට බව විරසිංහගෙන් දැන ගතිමි. විදුලි පන්දම ගෙන ගියේ අඳුරු කාමරය තුළ ආලෝකය මඳ නිසා, ලේඛන කියවා තොරතුරු සොයා ගැනීමටය.
උදේ සිටම, මගේ ආසනයට නොගිය මා, අතුරුදන් වුවාදැයි මගේ අංශයේ අය සිතන නිසා, පැය භාගයකින් එන බව කියා. මම ලේඛනාගාරයෙන් පිට වූයෙමි. මහලු කාන්තාව සහ දියණිය තවමත් එතැනය.
පැය භාගයකින් ආපසු ගිය මට, විශාල ලිපිගොනුවක් පෙරළාගෙන කරුණාසේනගේ විදුලි පන්දමේ එළියෙන් පෝරමයක් පුරවන වීරසිංහ දකින්නට ලැබුණි.
“විභාග ශාලාව ඒ අවුරුද්දේ මාස්ටර් ෆයිල් එකෙන් ඉක්මනටම හොයා ගත්තා, ලැයිස්තු වල මුල් පිටුවේම නමත් තිබුණා”. කී වීරසිංහ
දැන් ඉතින් සහතිකයේ පිටපතක්, මයික්‍රෝ එකෙන් ගත්තම, මගේ ජොබ් එකේ අමාරු කොටස ඉවරයි” කියා යන්ත්‍රයේ බොත්තමක් එක් ස්ථානයකට කරකවා, එම ස්ථානයේ කැමරාවක් වැනි මෙවලමක් ක්‍රියාත්මක කළේය. එවිට ඡායාරූපයක් වැනි යමක් පිටතට පැමිණියේය. එය මුද්දරයක තරමට කුඩාකර තිබුණු සහතිකයේ, සාමාන්‍ය ප්‍රමාණයේ පිටපතකි. “දැන් මගේ වැඩේ ඉවරයි සහතික පත්‍ර යාඛාවෙන්, මෙහි පිටපතක් අරගෙන ලොක්කාගෙන් අත්සනක් ගත්තම ඔක්කොම හරි කියමින් සහතික උද්ධෘතය මා අතට දී විශාල ලිපි ගොනුව වසා දැමිය.
වීරසිංහටත්, කරුනාසේනටත් ස්තූති කළ මා සහතික පත්‍ර ශාඛාවට ගොස් නියමිත සහතික පිටපත ලබාගෙන, ආයතන ප්‍රධානියාගේ අත්සන ද ලබාගතිමි. විභාග සහතිකය තරුණියගේ අතට දෙන, විට පස්වරු තුන පමණ වී තිබිණ. එය අතට ගත් පසු, මවගේ සහ දියණියගේ මුහුණු වල තිබුණු පැහැපත්භාවය සහ මඳ සිනහ වලින් පිළිබිඹු වූයේ, කියා නිම කළ නොහැකි සතුටකි.
මට ආයුබෝවන් කියා යන්නට පිටත් වූ මහලු කාන්තාව, ආපසු හැරී මගේ නම ඇසුවාය. ඇයගේ පෙරැත්තය නිසා මට නම කීමට සිදු විය.
සති දෙකකට පසු, මට මවගෙන් ලිපියක් දෙපාර්තමේන්තු ලිපිනයට ලැබුණි. එම ලිපියේ කිහිප තැනකම. මටත් විභාග දෙපාර්තමේන්තුවටත් ස්තුති කර තිබුණි. දියණියට ගුවන් විදුලි ආයතනයක නිවේදිකාවක් ලෙස රැකියාවක් ලැබුණු බව. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබීම මටද මහත් සතුටක් විය. එදින මගේ වැඩ සෑහෙන ප්‍රමාණයක් අතපසු වූ වත් මගේ සීමාවෙන් පිටතට ගොස්, අසරණ වූ කෙනෙකුට පිහිට වීමට හැකිවිම ගැන, මම මහත් ප්‍රමෝදයට පත්වීමි.
මේ සිද්ධිය ආයතන ප්‍රධානියාට, වීරසිංහට සහ කරුණාසේනටත් කී විට, ඔව්හු ද සතුටට පත්වූහ.
දයාරත්න වීරසේකරයන්ගේ ආ මඟ සටහන් 1 කෘතියෙන් උපුටා ගැණින. මෙය ගොඩගේ ප්‍රකාශනයකි.