යළි ඒ උසස් අත්දැකීමට

  • Home
  • /
  • Lifestyle
  • /
  • යළි ඒ උසස් අත්දැකීමට

භාවනා ක්‍රම කීපයකින් යළිත් මේ අත්දැකීම ම ලබන්න යි පොඩි මෙහෙණින් වහන්සේ දුන් අවවාද අනුව මම යළිත් භාවනාව සඳහා සැරසුණෙමි.

ලොකු හාමුදුරුවන් වැඩ සිටි කුටිය, භාවනාවෙන් මට ශාන්ත සුවයක් අත් කර දුන් කුටිය පිරිසිදු කළෙමි. කවුළු පත් හැර, දුහුවිලි පිසදමා කුටිය තුළ හඳුන්කූරක් දැල්වූයෙමි. ආරාම භූමියේ විදුලි පහන් නිවී ගියේ ය. විහාරයේ පමණක් පහනක් දැල්වෙනු පෙනිණි. මම කුටියේ එක් කවුළුවක් හැර අනෙක් කවුළු වසාදමා, බිම පැදුරක් එළා ඒ මත කුඩා මෙට්ටය තබා එහි අර්ධ පද්මාසනයෙන් හිඳගතිමි. නළල මත දෝත තබාගෙන, බුදු රුව සිතෙහි තබාගෙන, බුදු ගුණ සිහි කරමින්, බුදු පියාණන්ට නමස්කාර කළෙමි. මාගේ ජීවිතය බුදු පියාණන් වහන්සේට පූජා කළෙමි.

මෙහි භවයේ දීත්, පෙර භවයන්හි දීත් මගේ සිතෙන්, කයෙන්, වචනයෙන් සිදු වූ සියලු වැරැදි වලට ත්‍රිවිධ රත්නයෙන්, සියලු ආර්යයන් වහන්සේලාගේන්, වැඩිහිටියන්, ගුරුවරුන් සහ මවුපියන්ගෙන් සමාව මට 

ලැබේ වා! යි පැතුවෙමි.

යම් ඉලක්කයක් කරා ළඟා වන තුරු මම මේ භාවනාව නතර නොකරමි යි යන අධිෂ්ඨානය ද සිතෙහි ගැඹුරින්ම ඇති කරගතිමි.

මේ මොහොත වන විට මගේ සිත යම් පමණක සමාධියකට පත් වී ඇති බව මට දැනිණි.

චතුරාරක්ඛ භාවනාව ඉතා කෙටියෙන් අවසන් කළ මම එහි සතරවන භාවනාව වන මරණ සති භාවනාවේ දිගට ම යෙදුණෙමි. එය මා සිතා මතා කළ දෙයක් නොවේ.

මරණය නියත යි – ජීවිතය අනියත යි.

මරණය නියත යි – ජීවිතය අනියත යි.

මරණය නියත යි – ජීවිතය අනියත යි.

කවර මොහොතක හෝ මේ ජීවිතයේ අවසානය – මරණය එළැඹිය හැකි යි. සමහර විට ඒ මේ සිටින ඉරියව්වේ ම, මේ භාවනා කරන ආසනයේම මේ මොහොතේ ම මගේ මරණය සිදු විය හැකියි.

මරණය නියත යි. මරණය නියත යි. මරණය නියත යි

මේ ආසනයෙන් නැගිට කුටියෙන් පිටතට යනවිට  පඩියෙන් වැටී මගේ මරණය සිදු විය හැකියි. නාන ළිඳ ළඟ ලිං පඩිය මත ලිස්සා වැටී මාගේ මරණය සිදු විය හැකි යි.

මා මහ මග ගමන් කරන විට රියක හැපී මාගේ මරණය සිදු විය හැකියි. රැයේ පන්සල් වත්තේ දී සර්පයකු දෂ්ට කිරීම නිසා මගේ මරණය සිදු විය හැකි යි, සතුරකුගේ පහරදීමක් නිසා මට සතුරකු නැහැ තමයි. එහෙත් පුරාණ කර්මයක් නිසා හෝ සතුරු පහරකින් මාගේ මරණය සිදු විය හැකියි. සමහර විට ලොකු හාමුදුරුවන් මෙන් දිගු කලක් ජීවත් වී සැනසිල්ලේ මරණයට මුහුණ පෑමට ද සිදු විය හැකියි. පක්ෂගාතය වැනි රෝගයකට ගොදුරුව වසර ගණනක් ඇඳේ සිට පණුවන්ගෙන් පීඩා විඳීමන් මරණයට පත් වීමට ද සිදු විය හැකිය.

කෙසේ හෝ කවර ආකාරයකින් හෝ මාගේ මරණය සිදු වෙනවා,එය වැළැක්වීමට මට හැකියාවක් නැහැ. ලෝකය ජය ගත්තා ය කියන මහා අධිරාජයන්ටත් සක්විති රජවරුන්ටත්, මහා පුරුෂයන් ලෙස ඉතිහාසගත වූ ඇත්තන්ටත් එක සේ මරණයට මුහුණ පාන්නට සිදු වුණා. ඒ මරණය මා කරා ද නිසැක වම ළඟා වෙනවා. කවර හෝ කොතැනක දී හෝ ඒ මරණය මා වෙතත් ළඟා වෙනවා.

මරණය නියත යි – ජීවිතය අනියතයි.

මරණය නියත යි – ජීවිතය අනියත යි.

මරණය නියත යි – ජීවිතය අනියතයි.

මගේ ශරීරය – මා උපන් දා සිට ආසාවෙන් පෝෂණය කළ, රැකබලාගත් මගේ ශරීරය මට අත්හරින්න සිදු වෙනවා. මරණයත් සමග ම මට සියල්ල අත්හරින්න වෙනවා. . මා සතු පොත්පත්, සිවුරු, පාත්‍රා, කුටිය, සාමණේර හැඳුනුම්පත, දැළිපිහිය, පාවහන්  මගේ මව – පියා – නංගී..මල්ලී, නෑදෑයන්, හිත මිතුරන් .මගේ කුඩය, වට අත්ත, උණුවතුර බෝතලය, මේ සියල්ල අත් හරින්නට සිදු වෙනවා.මා ඉතා ඇලීමෙන් බැඳී සිටි සියලු දේ අත්හරින්නට සිදු වෙනවා.

මරණයත් සමග සෑම දෙයක් ම, සෑම කෙනෙකු ම අත්හරින්නට සිදු වෙනවා. 

මා සිටියේ ඒ සියල්ලට ම බැඳී ඇලිලා.

 

මම මරණය එන තුරු නොසිට මේ මොහොතේ ම සියල්ල අත්හරිනවා. මේ මොහොතේ ම සියල්ල සිතින් අත්හරිනවා.මා මෙතෙක් කල් කළේ කුමක්ද?

ජීවී, අජීවී බොහෝ දේ අල්ලාගෙන සිටීම යි.

ඇත්තට ම අල්ලාගන්න හැකි වුණා ද?

නැහැ. කිසිවක් අල්ලාගන්නට බැරි වුණා.

ඇයි? – කිසිවක් අල්ලාගැනීමට, රඳවාගැනීමට මට හැකි වුණේ නැහැ.

ඇයි – ඒ කිසිවක් නිත්‍ය නොවූ නිසා සෑම දෙයක් ම අනිත්‍ය වූ නිසා.

මගේ සිත දැන් ගැඹුරු සමාධියක.

මට මගේ ම රූපස්කන්ධයේ මුල් අවස්ථාව පෙනිණි.මගේ මවගේ කුසේ – ගර්භාශයේ කුඩා බීජයක් – කලලයක්

මට පෙනිණි. එය සියුම් මස් වැදල්ලක්. එය නිත්‍ය නො වී ය. එය වෙනස් වී ඝන මස් වැදල්ලක් විය. එය මව ගන්නා ආහාර වලින්,පඨවි, ආපෝ, තෙජෝ, වායෝ කියන ධාතූන් සහිත ඒ ආහාර වලින් පෝෂණය වෙමින් වෙනස් විය. එහි කොන් හැදිණ; හිස අත් පා ලකුණු විය; පැවැති තත්ත්වය වෙනස් විය. නිත්‍ය නොවීය.

අනිත්‍යයට යමින් වෙනස් විය. සාමාන්‍ය මිනිස් සිරුරක හැඩය ගනිමින් අවස්ථා කීපයක් පසු කරමින් මාස කීපයකට පසු බිලිඳෙක් මවු කුසෙන් පිටතට ආයේ ය.

කලලය බිලිඳකු වූ හැටි – රූප කලාප ඇති වෙමින්, පවතිමින්, නැති වෙමින්, යළි ඇති වෙමින්, පවතිමින්, නැති වෙමින් කලලය බිලිඳකු දක්වා වැඩුණු හැටි මට පෙනිණි.

පැවැති රූප කලාප නැති වුණේ ඊට වඩා හොඳ ශක්තිමත් රූප කලාප ඇති වෙමිනි. ඒවා නැති වී ගිය පසු යළි ඇති වූයේ ශක්තිමත් රූප කලාප ය. මෙය මෙසේ සිදු වී බිලිඳෙක් ගොඩනැගිණි. බිලිඳා ද ඉන් පසු නිත්‍ය වූයේ නැත; වෙනස් වෙමින්,අනිත්‍යය කරා යමින්, ඇති වෙමින්, නැති වෙමින් ළමයකු දක්වා වැඩිණි. මේ හැම නැති වීමක් ම මරණයකි. එය ක්‍ෂණික මරණයකි.යළි එතැනම අලුත් රූප කලාප වැඩි සවිබල සහිත ව ඇති වේ.

රූප කලාප ඉපදි ඉපදී මැරි මැරී ක්‍ෂණයක් පාසා මෙය සිදු විය. බිලිඳා ළමයකු වූයේ. ළමයා ගැටවරයකු වූයේ,

තරුණයා මැදි වියට ආවේ, මැදි වියෙන් මහලු වියට ආවේ මේ රූපකලාපවල ඇති වීම්, නැති වීම් සමගයි. මහලු වියේ එක් අවස්ථාවක මේ රූප කලාප නැතිව ගිය පසු යළි රූප කලාප ඇති වීමක් නොවී නම් එය සම්මුති

මරණය වෙයි. ඒ නැති වීම සමග, මරණය සමග රූපස්කන්ධය අවසන් වෙයි.

ඒ ඇති වෙමින් නැති වෙමින් ගියේ කුමක් ද? මොනවා ද?

මවුකුසේ සිටිය දී ඇය ගත් ආහාරයෙන් ලැබුණු පඨවි – ආපෝ තේජෝ, වායෝ ධාතූන්ගෙන් සැදුණු වැඩුණු කලලය බිලිඳකු වූ පසු ද වැඩුණේ මවගේ කිරිවලිනි. ඒ කිරි ද අර ධාතු හතර ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ ධාතු ද ඇති විය; නැති විය. පැවැති ධාතු නැති වීමත් සමග අලුත් ධාතු ආහාරයෙන් එකතු විය. ඇති වීම් නැති වීම් වශයෙන් ක්‍ෂණික ව සිදු වූ මේ සිදුවීම් වැල පෙන්වූයේ රූපස්කන්ධයේ අනිත්‍යය ම ය.

ඉන් පසු ව මට පෙනෙන්නට වූයේ මළ සිරුර ය.

මළ සිරුරේ වූ වායෝ ධාතුව බාහිර පරිසරයේ වායෝ ධාතුවට එකතු වනු ද, මළ සිරුරේ වූ තේජෝ ධාතුව බාහිර පරිසරයේ තේජෝ ධාතුවට එකතු වනු ද, මළ සිරුරේ වූ ආපෝ ධාතුව බාහිර පරිසරයේ ආපෝ ධාතුවට එකතු වනු ද මළ සිරුරේ වූ පඨවි ධාතුව බාහිර පරිසරයේ පඨවි ධාතුවට එකතු වනු ද මට ක්‍ෂණික ව පෙනිණි.

මා නවසීවථික භාවනාව දිගු කලක සිට පුරුදු කළ හෙයින් මෙසේ මේ අභ්‍යන්තර ධාතූන් බාහිර ධාතූන්ට එක් වූ අයුරු පෙනෙන්නට ඇති යි සිතමි.ඉන් පසු කිසිවක් නැති හිස් බවකට ශූන්‍ය තත්ත්වයකට සිත පත් විය.

එය බොහෝ වේලාවක් – මිනිත්තු 35ක් පමණ පැවතිණ.මේ ශූන්‍යතාව යනු සිත ම ය; නාමස්කන්ධය ම ය. එය ද තවත් ස්වල්ප වේලාවකින් නැති වී යා හැකි ය. වෙනත් සිතක් ඇති විය හැකිය. මේ සිතුවිලි සිතේ වූ සියුම් සිතට දැනිණි.

මේ ශූන්‍යතාව අනිත්‍ය ය, අනිත්‍ය ය, අනිත්‍ය ය. මගේ සිත ගැඹුරු සමාධියක ය. අනිත්‍යය සිහි කරන විට මහා

කන්දක් සේ මේ සිත ඉහළට නැගෙනු දැනිණි. එය යළි පහළට බැස ආවේ ය.

අනිත්‍ය එහි ද අනිත්‍යය දිටිමි. අනිත්‍ය ය, අනිත්‍ය ය, අනිත්‍ය ය සිහි කරන විට යළි සිත කන්දක් සේ මතු විය. මෙසේ වාර කීපයක්ම මෙය සිදු විය.

නාමස්කන්ධයේ අනිත්‍යය සිතේ ඇති වීම නැති වීම දිටිමි.

මෙය මෙසේ සිදු වන්නේ කාගේ වත් අනුදැනුම ඇති ව නො වේ.

මෙය මගේ ය, මෙය මම ය, මගේ ය කියා ගත හැකි දෙයක් නොවේ. මේ සිත මගේ ආත්මය නම් මට වුවමනා ලෙස එය ස්වර්ගයේම රඳවාගත හැකි විය යුතු ය. එසේ කළ නොහැකි ය. සිත හේතූන් නිසා ඇති වේ. හේතූන් නැති වී ගිය විට නැති වේ. මෙය අනාත්මයි, අනාත්ම යි, අනාත්මයි.

සියල්ල අනාත්ම යි, අනාත්ම යි, අනාත්ම යි.

මේ කිසිවක් මම නොවේ; මගේ නොවේ; මාගේ ආත්මය නො වේ.

ඉතින් මා මේ කිසිවක් බදාගන්නේ ඇයි? ඇලෙන්නේ ඇයි? ගැටෙන්නේ ඇයි?

අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ මේ සියල්ල මම අත්හරිමි,

අත්හරිමි, අත්හරිමි, අත්හරිමි, අත්හරිමි. අත්හරිමි…

දිගට ම මගේ සිත අත්හැරීමේ රැඳිණ.

අත්හැරිමයන්න ද සිතේ පවත්නා සංස්කාරයකි.

ඒ සංස්කාරය ද අත්හරිමි, අත්හරිමි, අත්හරිමි.

මේ සිතීම, මේ සිතුවිලි, සංස්කාර ද අත්හරිමි…

මෙසේ මඳ වේලාවක් සිටි පසු සිත මහා නිශ්චලත්වයක ගිලිණ.

ඒ නිශ්චලත්වයේ දිගු වේලාවක් පැවැතිණ. පසු ව ඒ නිශ්චලත්වය

ඒ සුවබර නිශ්චලත්වය ක්‍රමයෙන් ලිහි ලිහී ගියේ ය. සිත මහා ශාන්ත ස්වභාවයකට පත් විය.

මම ඇස් ඇරියෙමි.

සිතද, ගත ද මහා සුවපත් බවක රැඳිණි. මම යළි ඇස් පියාගෙන, සිදු වූ දේ පිළිබඳව මෙනෙහි කළෙමි.

එදා නවසීවථික භාවනාවෙන් පසු ලද අත්දැකීමකට මේ අත්දැකීම ද සමාන ය.

මෙය පොඩි මෙහෙණින් වහන්සේට දැන් ම කියමි යි සිතුවෙමි. නැත. තවත් භාවනා කීපයක යෙදෙමි. ඉන් පසු උන් වහන්සේට මෙය දන්වමි.

දෙනගම සිරිවර්ධන

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024