ශ්‍රී ලංකාවට වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව තරඟාවලි ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාවට වසර 12කට පසු නවසීලන්තයට එරෙහිව තරඟාවලි ජයක්

කුසල් මෙන්ඩිස් ඉවසිලිවන්තව ගොඩනැගූ අගනා අර්ධ ශතකය හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මේ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින්, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් අංක 3 පිතිකරු ලෙස පන්දුවට පහරදීමට පැමිණ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම පසුකරන විටත් කඩුල්ලේ රැඳී සිටියේය.ඔහු පන්දු 102කට මුහුණදෙමින් ලකුණු 74ක් රැස්කිරීමට සමත් විය.මෙහිදී කුසල්ට අගනා සහායක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු 08වැනි කඩුල්ලට කුසල් සමගින් පන්දු 59කින් ලකුණු 47ක නොබිඳුණු සබඳතාවක්ද පැවැත්වීය.මේ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදාවිය.ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේය.ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලි 5ක් පැවැත්වී ඇති අතර, ඉන් එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන්වීම හැර සෙසු සියලුම තරගාවලි ජයගෙන සිටියේ නවසීලන්තයයි.පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.අවස්ථා කිහිපයක දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර මේ හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළේය.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළේය.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024