එළඹෙන 2025 වසරේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(24) සමත් විය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන ICC කාන්තා ශූරතාවලිය යටතේ සංචාරක ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවති එක්දින තරගාවලියේ ඊයේ(24) වෙලින්ටන්හිදී පැවති තෙවැනි තරගයෙන් පරාජය වීමත් සමඟ නවසීලන්තය 2-0ක් ලෙස තරගාවලිය පරාජය විය. මේ සමඟ ඔවුන්ට මේ ශූරතාවලිය නිමා කිරීමට සිදු වූයේ ප්‍රසාද ලකුණු 21ක් සමඟ 6 වැනි ස්ථානයෙනි.
ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 22ක් සමඟ 5 වැනි ස්ථානයේ පසු වන අතර, කණ්ඩායම් 10ක් එක්ව සිටින මේ ශූරතාවලියේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 5 සමඟ සත්කාරකයන් වන ඉන්දියාව (27) ද ලෝක කුසලාන තරගාවලියට ඍජු සුදුසුකම් ලබයි. ඔස්ට්‍රේලියාව (39), එංගලන්තය (32), දකුණු අප්‍රිකාව (25) ද මේ වන විට ලෝක කුසලානයේ ස්ථාන වෙන් කර ගෙන තිබේ.මේ ශූරතාවලිය යටතේ ඉතිරි තරගවලින් ශ්‍රී ලංකාව අබිබවා යෑමට හැකියාව ඇත්තේ බංග්ලාදේශයට (19) හෝ බටහිර ඉන්දීය කොදෙව් පිලට (14) පමණි. එසේ වුවද ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයෙන් පහළට නොවැටෙන බැවින් ඍජු සුදුසුකම් ලැබී තිබේ.