වැහි අඳුර දාට ගෙදර ඉන්න පූසාත් බල්ලාත් මුළු ගැන්වී උණුසුමට නිදාගන්න මයි බලන්නේ. හොඳට හිරු එලිය තියෙන දාට නම් කිසිම කුරුල්ලෙකුට වත් ගෙවත්තේ කෑම අහුලන්කෑම තහනමි.හොරගල් අහුලනවා වගේ ගොස් අල්ලගන්න හැදුවත් දෙමලිච්චෝ අහුවෙන්නේ නැතිව එසැනින්ම ඉගිලෙන්නේපූස් පැටියට ඔච්චමක් කරමින්. අපේ වයිටාට නම් බුරනවාට වැඩිය වැඩක් නෑ. සෝමෙගෙත් නිමාලිගෙත් කෑම කඩේ හුරතලේට තනිවට සිටින්නේ මේ සාමාජිකයින් දෙන්නා විතරයි. නිමාලිගෙ කෑම කඩේ හරි ජනප්‍රියයි. කැකුළු හාල් බත්,කොස් ,දෙල් මැල්ලුමක්,කංකුං නැත්නම් මුකුණුවැන්න,පරිප්පු සමග මාලු හොද්දක් වරදින්නේ නෑ.
රාජකාරි කටයුතු සඳහාත් පුද්ගලික ආයතනවල සේවයට යන බොහොමයක්ම හැන්දෑවට එන ගමන් ගෙදරට රෑට කෑම ගෙනයන්නේ නිමාලිගේ බත් කඩයෙන්. උදේ පාන්දරම නැගිටලා ලක ලෑස්තිවෙලා බස්එකට හෝ කෝච්චියට දුවන්නේ වේලාවට රතු ඉර ගසන්ට පෙර රාජකාරියට රපෝර්තු කරන්නයි. බස් එකේ ගියොත් පොල් පටවන ගානට නේ මින්ස්සු පටවන්නේ. “ඉස්සරහට යන්න …ඉස්සරහට යන්න”කොන්දොස්තර කොළුවාගේ ගෝරනාඩුවේ අඩුවක් නැහැ. හැබැයි එහෙම පටවන් නොගියොත් බස් අයිතිකාරයාගෙන් හැන්දෑවට කොන්දොස්තර කොළුවාට ගොරනාඩුව. ඒ නිසා පනහක් යන්න ඕන බස්එකේ අසුවක් පටවනව. සමහරදාට නැවත අයන් කළයුතු තරමටම ඇඳුම් අයන් කරන්න ..වෙන ගානට පොඩිවෙලා.
රාජකාරි අවසන්වෙලා ගෙදර එන වෙලාවට මීට වැඩිය තදබදයි. ඇයි ඔක්කොම තැන් එක වෙලාවටනේ ඇරෙන්නේ, එහෙම මහන්සිවෙලා එන අයට රෑට කෑම උයනවා කියන එක මතක් වෙනකොටත් විඩාවයි. මේ අයට තියෙන ලොකුම පිහිට තමා නිමාලිගෙ කඩේ. වෙල් යායට හැරෙන අතුරු පාර අද්දර පිහිටි නිමාලිලාගේ කඩේ වටේටම වවන ලද සිය පෙති දාස් මල් ගස් යාය මල් වලින් නම් පිරිලා හරිම ලස්සනයි.. කඩේ. පුංචි වුනත් රස, පිරිසිදු කම, නිමාලිලගෙ ආදරය,කරුණාවන්තකම,නිතරම සිනහවෙන් සිටින මේ ආදරණීය දෙපල කඩේට ගෙනාවෙ අමුතුම සිරියාවක්. මේ හින්දම තමයි නිමාලිගෙයි – සෝමෙගෙයි බත් කඩේට බස්එකෙන් කෝච්චියෙන් එන තරුණ විවාහකයින්ගෙන් අඩුවක් නැත්තෙ.
“නිමාලි…අද නම් බත් පැකට් ටික ඔක්කොම වගේ ඉවරවුනා. ඉඳියප්පන් පැකට් තුනක් විතරයි දැනට තියෙන්නේ”.
“හරි..සෝමෙ අපි රෑට ඒක කන්න තියාගනිමු. බතුත් එලවළුත් චුට්ට චුට්ට තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. සත්තු දෙන්නටත් දෙන්න එපායැ”.
නිමාලි නිතරම මැසිවිලි නගන්නේ බල්ලාටයි පූස් පැටියටයි කෑම දාලා විනාඩි ගණනකින්ම බෙලෙක් පිඟන් දෙකම නිකන් හෝදලා වගෙයි ,මුන් දෙන්නම හරියට බඩ ගින්නේ ඉඳලා වගෙයි කියල.
“සතුන්ට කෑම දුන්නාම එහෙම තමයි,අපි වගේ උන් හැම වේලේම මොනවත් කන්නේ නැහැ නේ. තේරුම් ගන්න සතුන්ගේ හැටි…”
සෝමේ එහෙම කියද්දී නිමාලි කුටු කුටු ගගා මොනවදෝ මුමුණමින් කුස්සිය පැත්තට ගියා…
“හරි..හරි..මම.බලාගන්නම්කෝ. අහල පහල බල්ලො එනවද දන්නේත් නැහැ..? ඒත්..ඉතින් අපේ වයිටා සද්දේ දාන්නේ නැතිව ඉන්නේ නැහැ නේ” නිමාලි තනිවම කියවනව.
“අන්න මම කෑම බෙදලා තිබ්බා මේසේ උඩ, හට්ටි වලින් කෑම ගත්තොත් මතක ඇතුව වහන්න. නැත්නම් දන්නවනේ,පූසා වැඩේ දෙයි. මේ කාලා ඉතිරි ටික ඔය කොරහට දාලා තියන්න. මමත් කාලා ඉවර වෙලා සතුන්ට කෑම ටික අනලා දාන්නම් කො.”නිමාලි කීවා.
බල්ලාට සහ පූසාට කෑම දුන් නිමාලි කුස්සියේ දොර වසා කඩය තුලට ගියේ සෝමේට උදව් කරන්නයි…
“අද හොඳයි…කෑම ටික වේලාසනින්ම ගිහිල්ලා.”
“කාරෙකකින් ආපු මහත්තුරු කෑම පාර්සල් දැකලා පහක්ම අරගෙන ගියා.වෙනදා ගන්න මහත්වරුන් ඔක්කොම වගේ කෑම ගෙනිච්චා නේ.”
“එහෙනම් කමක් නැහැ” , කියමින් කඩය පිටුපසට ගිය නිමාලිට ඇස් අදහාගන්ට බැරිව කඩය ඉය්සරහට පිම්මේ ගියේ සෝමේ…සෝමේ..මාර වැඩක් තමයි කියමින් කෑ ගසාගෙනයි.
“අපි සතුන්ට දාන කෑම ටික අර පාරේ යන හිඟන මනුස්සයා සත්තු දෙන්නගේම පිඟන් වලින් අත දාලා අරගෙන කනවා. උනුත් කිසිම සද්දයක් නැතිව කනවා.”
“අනේ පවු සෝමේ.මට කඳුළුත් ආවා.කාගේ හරි තාත්තා කෙනෙක් නේද මෙහෙම සතුන්ට දාන ඉඳුල්කන්නේ?
ඇයි ..මේ මනුස්සයාගේ නෝනා දරුවෝ නැද්ද?”
“අනේ පව් දෙවියනේ..
පොඩ්ඩක් ඉන්න..මම බත් ටිකක් බෙදලා දෙන්නම්..”
නිමාලි සහ සෝමේ ළඟට යනවිටම අත්දෙක ඔසවා වැන්ඳ හිඟන්නා,
“ අනේ නෝන..මට සමාවෙන්න..මටත් බඩගිනි නිසයි මේ සත්තු දෙන්නාගෙ කෑමටිකක් මාත් කෑවේ..
අද විතරක්. නොවෙයි, පසුගිය දවස් දෙක තුනේම මාත් බත් කෑවා මුන් එක්ක.”
සෝමේ දුන් කෑම පාර්සලය අතට ගනිමින්
“පින් සිද්ද වෙනවා…ජාති ජාතිත් නෝනාටයි…මහත්තයාටයි. මම තවත් මේ පැත්තට.. කවරදාවත්ම ආපහු එන්නේ නැහැ” හිඟන්නා කීවේය.
“මේ…මම තව කෑම ටිකක් බෙදලාදෙන්නම්” නිමාලි කියත්ම
“මට එපා නෝනා. මේ සතුන්ට දෙන්න” යයි හිඟන්නා කීවේය.
පූසාටත්-බල්ලාටත් තට්ටුවක් දැමු ඔහු
“හොඳ හාම්පුතාලා දෙන්නෙක් උඹලට ඉන්නවා…
මට නැහැ නේ….“යැයි කියමින් යන්නට ගියා.
ආයි බඩගිණි උනොත් එන්න. මම කෑම පාර්සලයක් දෙන්නම්.නිමාලි කීවා.
දිනිල් ප්‍රේමරත්න…
ග්ලෙන් වේවර්ලි..