එදා ලක්දිව පාලනය කළ වළගම්බා රජු සමයේදී බැමිණිතියා සාගතය උද්ගත වූ බව අප කොයි කවුරුත් දනී. එම රාජ්‍යයේ සිටි ජනතාවට ආහාර ගැනීමට මෙන්ම ජීවත්වීමට ඉතා අසීරු ආකාරයෙන් දැඩි නියං තත්ත්වයක් පවා ඇති වී තිබුණි. ඒ හරහා මිනිසුන් විශාල ප්‍රමාණයකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. වර්තමානයේ අපේ රටේද බැමිණිතියා සාගතයක් ඇතිවීමට ලකුණු මේ වන විට පහළ වී තිබේ. ජීවන වියදමට සාපේක්ෂව ඉහළ යන බදු බර හමුවේ, ජනතාවට හරිහැටි ආහාර ගැනීමට නොහැකි වුවත්, ස්වභාවධර්මය තවමත් අප කෙරෙහි අනුකම්පා සහගතව බලන නිසාවෙන් බැමිණිතියා සාගතයේ මෙන් ඇති වූ නියං තත්ත්වයක් තවමත් ඇති නොවී තිබීම වාසනාවකි. නමුත් නියඟයකින් පීඩා විඳින තරමටම මිනිසුන්ගේ ජීවිතවල කඩා වැටීමක් මේ බදු බර නිසාවෙන් දැකගත හැකිවෙයි. මීට අවුරුදු කීපයකට පෙර දවසට දෙවේලක් ආහාර ගත් මිනිසුන් අද එක් වේලක් කා බඩ පුරවා ගන්නා ආකාරය අප ඕනෑ තරම් දැක තිබේ. එදා පොල් සම්බෝලයක් සාදාගෙන බත් කටක් කෑ ජනතාවට, අද වෙද්දී පොල් ගෙඩියක් මිලට ගැනීමට ගිය විට එලව පොල් පෙනෙයි. ඒ තරමටම පොල් ගෙඩියක මිල අද වෙද්දී ඉහළ ගොස් ඇත.
කුඩා දරුවෙකුට ලබාදිය යුතු පෝෂ්‍යදායී ආහාර වේල අද බොහෝ දරුවන්ට නොලැබෙයි. දරුවාට අවශ්‍ය කිරිපිටි පැකට් එක ගැනීමට වෙළඳපොළට ගිය මව්වරුන්, තමන්ගේ දෑස් තෙත් කරගෙන නැවත එළියට එන්නේ කිරිපිටි පැකට් එකක් තියා දරුවාගේ ආහාර වේලට අවශ්‍ය කරන බිස්කට් වර්ගයක් පවා තමා සතු මුදලින් ගත නොහැකි බව දැන ගෙනය. බදු බර මෙතරම්ම වැඩි වීමට පෙර යුගයේ මව්වරුන්, තමන්ගේ දරුවන්ගේ පෝෂණය ගැන සිතා අඩුම තරමේ බිත්තරයක් හෝ තම්බා දුන්නත්, අද වෙද්දී ඒ දේ පවා කිරීමට නොහැකි තත්ත්වයක් එළැඹී තිබේ. අඩුම තරමේ වැඩිහිටියෙකුට සුප් එකක් පවා සාදා දීමට අවශ්‍ය කරන එළවළු ටික මිලට ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී තිබීම කෙතරම් කණගාටුදායක තත්ත්වයක්ද? මේ හරහා මතු වන්නේ සාගතයක ලක්ෂණ නොවේද?
අද වෙද්දි ළමා මන්දපෝෂණය වැනි තත්ත්වයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවක් මෙන්ම, ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ නොලැබීම හේතුවෙන් මියයන වැඩිහිටියන් ප්‍රමාණයද ඉහළ අගයක් ගෙන ඇති බව පෙන්නුම් කරයි. මේ තත්ත්වය තවදුරටත් මෙලෙසින්ම පැවතුණහොත්, එදා ඇති වූ බැමිණිතියා සාගතය අභිබවා යන සාගතයක් මෙරට ඇතිවෙනවා නිසැකය. ඒ නිසාවෙන් මේ කාරණාව සම්බන්ධයෙන් අදාළ අංශවල වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය ඉක්මනින්ම යොමුවිය යුතුය.
සටහන – ඉසුරි එදිරිසිංහ