වසර 36කින් පසුව නවසීලන්තය ඉදිරියේ ඉන්දීය කඩුලු බිදවැටෙයි

  • Home
  • /
  • Sports
  • /
  • වසර 36කින් පසුව නවසීලන්තය ඉදිරියේ ඉන්දීය කඩුලු බිදවැටෙයි

ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කර බැංගලෝරුහිදී ඊයේ (20) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 

මෙම ජයත් සමග තරග 3කින් යුත් මෙම තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තේය.නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 107ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ඔවුන් සමත් විය.

 

ඉකුත් 16 වනදා ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය වර්ෂාව නිසා සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදුවිය.

 

කෙසේ නමුත් දෙවැනි දිනයේ පළමු ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම ලකුණු 46කට සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකිවිය.ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 402ක් රැස් කළේය.

 

ඒ අනුව ලකුණු 356ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹීමට ඉන්දියාවට සිදුවිය.

 

කෙසේ නමුත් දෙවැනි ඉනිමේදී ඔවුන් ලකුණු 462කට දැවීගිය අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට ලබාදීමට හැකිවූයේ ලකුණු 107ක ඉලක්කයක් පමණි.

 

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ රැදී සිටින ඉන්දීය කණ්ඩායම පරාජය කර නවසීලන්තය ලැබූ මෙම ජය සැලකෙන්නේ, ඔවුන් වසර 36කට පසු ඉන්දියාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය ලෙසය.

 

අවසන් වරට ඔවුන් ඉන්දියාව ඉන්දියාවේදී පරාජය කර ටෙස්ට් ජයක් ලබා  තිබුණේ 1988 වසරේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයකදීය.

 

නවසීලන්තය හා ඉන්දියාව 1955 වසරේ සිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන අතර මේ දක්වා තරග 63ක් පැවැත්වී ඇත.ඉන් තරග 14ක් නවසීලන්තය ජය ගනිද්දී, ඉන්දියාව තරග 22ක් ජයගෙන ඇත.

 

එමෙන්ම දෙරට අතර තරග 37ක් ඉන්දියාවේ දී පවත්වා ඇති අතර, ඉන් මේ දක්වා නවසීලන්තය ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. තරග 17ක්ම ඔවුන් පරාජය වී ඇත.1988 වසරේ ටෙස්ට් තරගය ජයගැනීමට පෙර ඔවුන් ඉන්දියාව ඉන්දියාවේදී පරාජයට පත්කර තිබුණේ 1969 වසරේදීය.

 

මේ අතර නවසීලන්තය අද ලැබූ ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ, මෙය 2000 වසරෙන් පසු සංචාරක කණ්ඩායමක් ඉන්දියාවේදී ලකුණු 100කට වැඩි ඉලක්කයක් සම්පූර්ණ කරගත් පළමු අවස්ථාව ලෙසය.

Don't forget to share this post!

Recent Posts

118 (1)
October 22, 2024