ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිටියට සමුදෙයි.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න  හෙට (6) ගාල්ල  ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී  ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත්ගේ  100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගය බව‍ට වාර්තා වේ. ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ ලිඛිතව දැනුම් දී තිබේ. 

2012‍ නොවැම්බර් 17 වැනිදා  දිමුත් කරුණාරත්න  සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සිය වැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයේදී සිදුවීම සුවිශේෂී සිදුවීමකි.

දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරණයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළ 36 හැවිරිදි දිමුත් කරුණාරත්න ඔහුගේ  අවසන් ටෙස්ට් ඉනිම් 25කදී ශතක වාර්තා නොවූ අතර, අර්ධ ශතක 5කට සීමා විය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ටෙස්ට් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ දිමුත් ටෙස්ට් තරග 99කදී ලකුණු 7172ක් ලබා ඇති අතර, වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සිව් වැනි ස්ථානයේ පසුවේ. 36 හැවිරිදි දිමුත් කරුණාරත්න ලොව පුරා සෑම ක්‍රිකට් පිටියක ක්‍රීඩා කොට ඇති අතර, ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු ලබා ඇත්තේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී බංග්ලා‍දේශයට එරෙහිව ලකුණු 244 වේ. දිමුත් මෙතෙක් වාර්තා කොට ඇති ටෙස්ට් ශතක 16න් 6ක්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වාර්තා කර ඇති අතර, පල්ලෙකැ‍ලේදී ද්විත්ව ශතකයක් හා ශතක 2ක් රැස් කළේය.

2019 වසරේ පෙබරවාරියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය භාරගත් දිමුත් කරුණාරත්න, ටෙස්ට් තරග 29කට නායකත්වය ලබාදී, ඉන් තරග 12ක් ජයග්‍රහණය කරා මෙහෙයවා නායකත්වයෙන් ඉවත් විය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්ෂිකව සංවිධාන කරන සම්මාන උලෙළ අතුරින් විශාලතම ගෞරවය හිමි වන වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය දරන කාලයේදී දිමුත් කරුණාරත්න නිර්දේශ විය. එමෙන්ම මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද අයිසීසී ටෙස්ට් කණ්ඩායමට දිමුත් ඇතුළත් විය. ඔහු අයිසීසී ටෙස්ට් කණ්ඩායමට නම් කරන ලද තුන්වන අවස්ථාව මෙය වූ අතර මීට පෙර, 2018 සහ 2021 දී දිමුත් කරුණාරත්න එම ලෝක ටෙස්ට් කණ්ඩායමට නම් විය. මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරට පසුව, තුන් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් අයිසීසී ලෝක ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයකු වූ තුන්වන ශ්‍රී ලාංකිකයා බවට දිමුත් පත්විය.දිමුත් 100 වැනි හා අවසන් ටෙස්ට් තරගය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ සමරු සිහිවටනයක් හා මිලියන ගණනක මුදල් තිළිණයක් ප්‍රදානය කිරීමට සැලසුම් කොට ඇත. මේ විශේෂ ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම උදෙසා දිමුත්ගේ ආරාධනාවෙන් පැමිණෙන අමුත්තන්ට, ක්‍රීඩකයන් වෙනුවෙන් ඇති ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ විශේෂ ඉඩකඩක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ලබාදී ඇත.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025