අහසේ තිබෙන විවිධ හැඩයේ සහ විවිධ වර්ගවල වලාකුළු අපි හැමෝම දැකලා තියෙනවා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද මේ වලාකුළු කොච්චර බරයිද කියලා.
වලාකුළක බර තීරණය වෙන්නේ එය නිර්මාණය වෙලා තිබෙන පදාර්ථ අනුව. පෘථිවියේ, අප වටා තිබෙන වාතයේ ඇති නොපෙනෙන ජල වාෂ්ප සිසිල් වී ද්‍රව ජල බිඳිති හෝ ඝන අයිස් ස්ඵටික බවට ඝනීභවනය වන විට, අපේ ඇසට පෙනෙන දෘශ්‍ය වලාකුළු නිර්මාණය වෙනවා.
ඒ නිසා, වලාකුළක් සැලකූ විට එහි බරට ජලයේ විවිධ පදාර්ථ තත්වයන් දායක වී තිබෙනවා. ඒ වගේම, වාතයේ උෂ්ණත්වය අනුවත් ජල ඝනත්වය වෙනස් වෙනවා.
උෂ්ණත්වය වෙනස් වන විට, ජල අණු එකිනෙකට සමීපව ඇසිරීමට හෝ දුරින් ගමන් කිරීමට පටන් ගන්න නිසා වලාකුළක නිශ්චිත පරිමාවක බර විවිධ අවස්ථා වලදී වෙනස් වෙනවා.
අපි සාමාන්‍යයෙන් දකින වලාකුළක් 500,000kg (1.1 million pounds/ 500 tonnes) පමණ බරයි. වලාකුළක සාමාන්‍යය පරිමාව 1km3 ක් පමණ වන අතර ඝනත්වය 1.003kgm3 ක් පමණ වෙනවා.
එය අවට වාතයට වඩා 0.4% ක් පමණ අඩු ඝනත්වයක්. මේ නිසා වළාකුළු වලට පාවීමට හැකියාව ලැබෙනවා. ඒවා සැහැල්ලු හා සුදුමැලි ලෙස පෙනුණත්, මේ වලාකුළු හිතනවාට වඩා අධික ස්කන්ධයකින් යුක්තයි.