තීරණාත්මක මැතිවරණයකින් පසුව ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් විය.
2024 සැප්තැම්බර් මස 21 දින පැවැත්වූ මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට අනුර කුමාර දිසානායක මහතා සමත් විය. ඒ අනුව ඔහු අද (23) උදෑසන ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය.
අනුර කුමාර දිසානායක යනු ඈත දුෂ්කර ගමකින් දේශපාලනයට පිවිසි උගතෙකි.එතුමා 1968 නොවැම්බර් මස 24 වනදා මාතලේ දේවහූව ග්‍රාමයේ දී උපත ලබා ඇත.ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යන යුවළට දාවය.
පවුලේ දෙවැනියා වූ අනුර කුමාර දිසානායක මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වන අතර සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්වේ.එහිදී විද්‍යා – ගණිත අංශයෙන් දස්කම් දක්වා උසස් පෙළ සමත්වන ඔහු 1992 වර්ෂයේ දී ශ්‍රී ලංකා කැලණිය විශ්ව විද්‍යාලයට තේරී පත්විය.
1987 දී පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් සිටින සමයේ දී මෙරට තුළ පැවති ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර දිසානායක ඉන්පසුව සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්විය.එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර කුමාර දිසානායක සරසවි සිසුන් අතර ප්‍රසිද්ධියට පත්වූයේ අරවින්ද දිසානායක යන නාමයෙනි.දේශපාලනය පමණක් නොව වරෙක ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලැබීය. අනුර කුමාර දිසානායක වර්ෂ 1995 දී සිය උසස් අධ්‍යාපනය නිමකරන්නේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙනි.
අනුර කුමාර දිසානායක මහතාගේ තීරණාත්මක දේශපාලන ගමන් මඟ ආරම්භ කරමින් වර්ෂ 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්විය.ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවෙයි.ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේ පැවැති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.
ඔහු යළිත් වර්ෂ 2004 දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩි මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.2004 වසරේ දී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ජනතාවට විශාල මෙහෙවරක් කිරීමට අනුර කුමාර දිසානායක එහිදී සමත් විය.
අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මග තුළ අතිශය තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2014 වසරේ පෙබරවාරි මස 2වනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහ මහතාගෙන් අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරුණි.මෙය ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම අනුර කුමාර දිසානායකගේ ද දේශපාලනික ගමන්මග තුළ පුළුල් වෙනසක් ඇති කලේය.
2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ද අනුර කුමාර දිසානායක මහතාය.2019 වසරේ අගෝස්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නව දේශපාලන ව්‍යාපාරයකට මුලපුරනු ලැබීය.මෙය ජයග්‍රහණයේ මුල්ම අඩිතාලම විය.පෙර පැවති සාම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් මිදී නවමු ආරම්භයක් ලබා ගැනීමට මෙහි දී ඔහුට හැකිවිය.
ඉන් පසු 2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක ඡන්ද 418,553ක් ලබාගත් අතර එය 3.16%ක ඡන්ද ප්රතිශතයකි. ඉන්පසුව 2021 වසරේ දෙසැම්බර් 20 වනදා පවත්වන ලද ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වයට නැවත අනුර පත්විය.
එතැන් සිට මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ බිම් මට්ටමට ගොස් එහි සංවිධාන කටයුතු විධිමත්ව සිදුකර ජනතාව දැනුවත් කරමින් 2024 ජනාධිපතිවරණයට යළිත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වෙයි. බිම් මට්ටමේ සිට සෑම කණ්ඩායමක්ම දැනුවත් කිරීම ජාතික ජන බලවේගයේ කැපී පෙනෙන ලක්ෂණයකි.
ශ්‍රී ලංකා දේශපාලනික ඉතිහාසයේ ප්‍රථමවතාවට ප්‍රධාන පක්ෂ ද්විත්වයෙන් එහාට බලය රැගෙන ගොස් ජාතික ජන බලවේගය නම් පක්ෂය මත ජනතාව විශ්වාසය තබා ඇත.සාම්ප්‍රදායික දේශපාලන ගමන් මග ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ මහජනතාව වෙනසක් උදෙසා නව පක්ෂයකට අවස්ථාව ලබා දී තිබීම මෙම මැතිවරණයේ ඇති සුවිශේෂීත්වයකි.එමෙන්ම ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දෙවන මනාප ගණන් කල පළමු අවස්ථාව වන්නේ ද මෙම මැතිවරණයයි.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තිය සැබෑවක් කරන්නට ජනතා පරමාධිපත්‍ය බලය අනුර කුමාර දිසානායකට මේ වන විට ශ්‍රී ලංකාවේ මහජනතාව විසින් ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමියේ අනාගතය භාරගන්නා අනුර කුමාර දිසානායක මහතාට ශුභාශිංසන පිරිනමමු !