Cool Pasta සෞඛ්‍යයට හොඳයි කියන්නේ ඇත්තක්ද?

  • Home
  • /
  • Blog
  • /
  • Cool Pasta සෞඛ්‍යයට හොඳයි කියන්නේ ඇත්තක්ද?

බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම කෑමක් වගේම ලෙහෙසියෙන්, රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි පැස්ටා කියන්නේ. හැබැයි පැස්ටා කියන්නේ සරල කාබෝහයිඩ්‍රේට් (Simple Carbohydrates) වැඩි ආහාරයක් නිසා, සෞඛ්‍යය ගැන හිතන, බර අඩු කරගන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් පැස්ටා කන එක සීමා කරන්න උත්සාහ කරනවා.

හැබැයි අලුත්ම පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා ඔයාට පැස්ටා කන එක නවත්වන්නේ නැතුව, ඒක සෞඛ්‍ය සම්පන්න විදිහට කන්න පුළුවන් අපූරු ක්‍රමයක්. 

ඒ තමයි පැස්ටා පිසූ පසු සීතල කර ආහාරයට ගැනීම.

ගොඩක් දෙනෙක් Meal Prep කරන්න පුරුදු වෙලා තියෙන්නේ පහසුව නිසා. හැබැයි ඔයා පහසුවට කරන මේ වැඩේ නිසා ඔයාට අමතර health benefit එකක් ලැබෙන අවස්තාවක් තමයි මේක. 

උෂ්ණත්වය වෙනස් කිරීම මඟින් පැස්ටා සහ බත් වැනි පිෂ්ටය අධික ආහාර තන්තු (Fiber) අධික ආහාර බවට පරිවර්තනය කරන්න පුළුවන්.

 

උණු උණුවේ කනකොට මොකද වෙන්නේ?

පැස්ටා හෝ බත් ලිපෙන් බාපු ගමන්, උණුවෙන්ම තියෙනකොට ඒවායේ තියෙන පිෂ්ටය (Starch molecules) පවතින්නේ ඉතාම ලෙහෙසියෙන් බිඳ දමන්න පුළුවන් මට්ටමක. මේ නිසා අපි ඒ කෑම කෑවාම, අපේ ආහාර ජීර්ණ පද්ධතිය මඟින් ඒවා ඉතාම ඉක්මනින් සීනි බවට පත් කරලා රුධිරයට මුදා හරිනවා. ප්‍රතිඵලයක් විදිහට රුධිරයේ සීනි මට්ටම එකපාරටම ඉහළ යනවා.

 

ශීතකරණයේ තැබූ විට සිදුවන මැජික් එක

පැස්ටා ශීතකරණයේ තැන්පත් කළාම වෙනස්ම ක්‍රියාවලියක් සිදුවෙනවා. කෑම සීතල වෙනකොට ඒවායේ තියෙන පිෂ්ටය නැවත සකස් වෙලා තදින් එකිනෙක බැඳෙනවා. විද්‍යාත්මකව මේවා හඳුන්වන්නේ “ප්‍රතිරෝධී පිෂ්ටය” (Resistant Starch) කියලයි. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ retrogradation කියලා. සරලවම කිව්වොත්, මේක ශරීරයට හිතකර තන්තු (Fiber) වර්ගයක් වගේ ක්‍රියා කරනවා.

 

ප්‍රතිරෝධී පිෂ්ටයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ:

  • සීනි මට්ටම පාලනය කිරීම: ධාන්‍ය වර්ග, broccoli සහ බෝංචි වගේම මේ ප්‍රතිරෝධී පිෂ්ටයත් ශරීරය තුළ ජීර්ණය වෙන්නේ ඉතාම සෙමින්. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම එකපාරටම ඉහළ යන්නේ නැහැ.
  • බඩගින්න පාලනය: ආහාර සෙමින් ජීර්ණය වන නිසා බඩ පිරුණු ගතිය දිගු වේලාවක් පවතිනවා. මේ නිසා අනවශ්‍ය ලෙස බඩගිනි හැදෙන්නේ නැහැ.
  • ජීරණ පද්ධතියේ සෞඛ්‍ය: මෙය අපේ බඩවැල්වල ඉන්න හිතකර බැක්ටීරියාවලට හිතකර නිසා ආහාර ජීර්ණය පහසු කරවනවා.
  • කොලෙස්ටරෝල් පාලනය: රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීමට සහ ඇතැම් ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු කිරීමට උදවු වෙනවා.

 

පැස්ටා ආයෙත් රත් කළොත් ගුණය නැති වෙයිද?

සීතල පැස්ටා කන්න අකමැති අයට තියෙන හොඳම ආරංචිය තමයි මේක. Fridge එකේ තිබ්බ පැස්ටා හෝ බත් නැවත රත් කරලා (Reheat) කෑවත් මේ සෑදුණු ප්‍රතිරෝධී පිෂ්ටය විනාශ වෙන්නේ නැහැ. ඒ සෞඛ්‍යමය ප්‍රතිලාභය ඒ විදිහටම ලැබෙනවා.

 

විශේෂයෙන් මතක තබාගන්න:

පිෂ්ටය, ප්‍රතිරෝධී පිෂ්ටය බවට පත්වීමට යම් කාලයක් ගත වෙනවා. හොඳම ප්‍රතිඵල ලබාගන්න නම් පැස්ටා හෝ බත් පිසූ පසු පැය 24ක් පමණ ශීතකරණයේ තැබිය යුතුයි. 

ඒ වගේම, බාහිර පරිසරයේ ඇති බැක්ටීරියා වර්ධනය වෙලා ආහාර විෂවීම් (Food poisoning) සිදුවීම වළක්වාගන්න, නිවුණු වහාම කෑම ශීතකරණයේ තැන්පත් කරන්න වගබලා ගන්න.

 

Don't forget to share this post!

Recent Posts

869
June 4, 2026