කොදෙව් දූපත් යටත් කළ ඓතිහාසික ජයග්‍රහණයට හේතුව නව වෙනස්කම්ද?

  • Home
  • /
  • Sports
  • /
  • කොදෙව් දූපත් යටත් කළ ඓතිහාසික ජයග්‍රහණයට හේතුව නව වෙනස්කම්ද?

Kingston නුවර Sabina Park ක්‍රීඩාංගණයට ඇද හැලුණු නොනවතින වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ තෙවන සහ අවසන් එක්දින තරඟය ද එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට විනිසුරුවන්ට සිදු වුණා.

නමුත් මේ සිදුවීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අතිශය සතුටුදායක පුවතක් වාර්තා වුණා. ඒ, තරඟ 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය 1-0ක් ලෙස ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාවය තමන් සතු කරගැනීමට සමත්වීමයි. තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, දෙවන සහ තෙවන තරඟ දෙකම වර්ෂාවට සේදී යාම නිසා මෙම තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණා.

 

වසර 23ක ශාපය බිඳ දැමූ සිංහයෝ

මෙය සාමාන්‍ය ජයග්‍රහණයක් නොවේ. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරඟාවලි ජයක් ලැබුවේ වසර 23කට පසුවයි. මීට පෙර ශ්‍රී ලංකාව කොදෙව් දූපත් වලදී එක්දින තරඟාවලියක් ජයගෙන තිබුණේ 2003 වසරේදීයි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නව ප්‍රධාන පුහුණුකරු Gary Kirsten සහ නව එක්දින නායක කුසල් මෙන්ඩිස් සමඟින් ලබාගත් ඉතාමත් සුබදායී ආරම්භයක්.

“තරඟාවලිය ජයග්‍රහණය කිරීම ගැන ගොඩක් සතුටුයි. අපි ඒ ක්‍රීඩා කරපු එකම තරඟයේ අංශ තුනෙන්ම ඉතා හොඳින් ක්‍රීඩා කළා. ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට පෙර අපිට තව තරඟ ගොඩක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා නායකයෙක් විදිහට මගේ පළමු තරඟාවලි ජයග්‍රහණය ගැන සතුටු වෙනවා.” යනුවෙන් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පවසා සිටියා.

 

කොදෙව්වන්ගේ ලෝක කුසලාන සිහිනය අනතුරේද?

වර්ෂාව නිසා තරඟාවලිය අහිමි වීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඉතාමත් අවාසිදායක ලෙස බලපා තිබෙනවා. වසර 3කට පසු තමන්ගේ මව්බිමේදී ලැබූ පළමු එක්දින තරඟාවලි පරාජය මෙය වනවා සේම, 2027 එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට (Direct Qualification) ඔවුන්ට අවශ්‍යව තිබූ වටිනා ICC ranking points ලබාගැනීමේ අවස්ථාව ද මේ හරහා ඔවුන්ට අහිමි වී ගියා.

කොදෙව් කණ්ඩායම දැනට ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 10 වන ස්ථානයේයි. ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නේ මුල් ස්ථාන 8 තුළට පැමිණෙන කණ්ඩායම් පමණයි. ඔවුන්ට ඉදිරියේදී ලෝකයේ අංක 1 සහ අංක 2 කණ්ඩායම් වන ඉන්දියාව සහ නවසීලන්තය සමඟ තරඟ කිරීමට සිදුවන බැවින් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන මේ වන විට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

 

ඊළඟ සටන: T20I series එක සිකුරාදා සිට

එක්දින සටන නිමා වුවද, දෙපිල අතර විස්සයි 20 තරඟාවලිය ජූනි 12 වන සිකුරාදා උදෑසන 10.30 ට (AEST වේලාවෙන්) Kingston හිදීම ආරම්භ වීමට නියමිතයි. අනෙක් තරඟ දෙක ජූනි 14 සහ 15 යන දිනවලදී පැවැත්වෙනවා.

කෙසේ වෙතත්, ඉදිරි සතියේදීත් ජැමෙයිකාවට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට කාලගුණ අනාවැකි පළවී තිබෙනවා.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

881
June 10, 2026