සෑම වසරකම ජූනි මාසයේදී ලන්ඩනයේ Horse Guards Parade පිටියේදී අති උත්කර්ෂවත් රාජ්‍ය උත්සවයක් පැවැත්වෙනවා. The King’s Birthday Parade, එසේත් නැතහොත් Trooping the Colour ලෙස හැඳින්වෙන මෙම උත්සවය බ්‍රිතාන්‍ය රාජකීය චාරිත්‍ර දින දර්ශනයේ සුවිශේෂීම අවස්ථාවක්.
රාජකීය හමුදාවේ උත්තමාචාරය පිළිගැනීම සඳහා රජු පෞද්ගලිකවම මෙම අවස්ථාවට සහභාගී වන අතර, නිලධාරීන් සහ සෙබළුන් 1,400කට අධික පිරිසක්, අශ්වයන් 200ක් සහ Household Division ඒකාබද්ධ තූර්ය වාදක කණ්ඩායම් මෙම පෙළපාලිය තේජවන්ත කරනු ලබනවා.
ප්‍රධාන පෙළපාලියට පෙර Reviews 2ක් පැවැත්වෙන අතර, පළමුවැන්න ‘The Major General’s Review’ ලෙසත්, දෙවැන්න ‘The Colonel’s Review’ ලෙසත් හැඳින්වෙනවා.
Trooping the Colour ඉතිහාසය
මෙම සුවිශේෂී සිරිත ප්‍රථම වරට හඳුන්වා දුන්නේ 1805 වසරේදීයි. නමුත් IIIවන ජෝර්ජ් රජතුමාගේ අසනීප තත්ත්වය හේතුවෙන් 1811 සිට 1820 දක්වා කාලය තුළ මෙය තාවකාලිකව නතර කර තැබීමට සිදු වුණා. පසුව IVවන ජෝර්ජ් රජතුමා බලයට පත්වීමත් සමඟ මෙම උත්සවය නැවත ආරම්භ වූ අතර, එතැන් පටන් එය වාර්ෂිකව නොකඩවා පැවැත්වෙනවා.
IIවන එලිසබෙත් රැජින ඇයගේ රාජ්‍ය පාලන කාලය තුළ සෑම වසරකම පාහේ මෙයට සහභාගී වූවා. ඇයට එය මඟහැරුණේ 1955 වසරේදී පමණයි. ඒ රට පුරා පැවති දුම්රිය වැඩවර්ජනයක් හේතුවෙන් උත්සවය අවලංගු කිරීමට සිදු වූ නිසා.
COVID-19 වසංගත සමයේ වෙනස්කම්
2020 වසරේදී, වසංගත තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායික ලෙස උත්සවය පැවැත්වීමට නොහැකි වූ අතර, Windsor බලකොටුව ඇතුළත ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් රැජින වෙනුවෙන් විශේෂ ආචාර පෙළපාලියක් පැවැත්වුවා.
2021 වසරේදී, සීමා කිරීම් මධ්‍යයේ වුවද, නැවතත් Windsor බලකොටු පරිශ්‍රයේදීම සාම්ප්‍රදායික අංග රැසක් ඇතුළත් කරමින් මෙය පැවැත්වුණා. එහිදී විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙබළුන් සහ තූර්ය වාදක කණ්ඩායම් එක් වූ අතර, ‘Red Arrows’ ගුවන් සංදර්ශනයකින් සහ රැජිනගේ නිල උපන්දිනය වෙනුවෙන් East Lawn පිටියේ සිට තුවක්කු 41ක රාජකීය ආචාර වෙඩි මුරයක් පවත්වමින් උත්සවය නිමා වුණා.
උත්සවයේ රාජකීය චාරිත්‍ර පෙළගැස්ම
මෙම මහා මංගල්‍යය ආරම්භ වන්නේ රජතුමා බකිංහැම් මාලිගයේ සිට ‘The Mall’ වීදිය ඔස්සේ අශ්ව කරත්තයකින් පැමිණීමත් සමඟයි. ඒ සඳහා Household Cavalry අශ්වාරෝහක බලඇණියේ විශේෂ ආරක්ෂක රැකවලක් රජතුමාට හිමි වෙනවා.
පෙරවරු 11.00 Horse Guards පිටියේ ඔරලෝසුව නාද වනවාත් සමඟම රජතුමා පැමිණෙන අතර, එහි සිටින සෙබළුන්ගෙන් රාජකීය ආචාරය හෙවත් Royal Salute පිළිගනු ලබනවා.
ඉන්පසුව රජතුමා අශ්වයා පිටින්ම සෙබළ බලඇණි අතරින් ගමන් කරමින් පෙළපාලිය නිරීක්ෂණය කරනවා.
ධජය රැගෙන යාම
තූර්ය වාදක ඛණ්ඩයන්ගේ සංගීත වාදනය මධ්‍යයේ, අදාළ රෙජිමේන්තු ධජය (Regimental Colour) සෙබළ බලඇණි අතරින් ගෞරවාන්විතව රැගෙන යනු ලබනවා.
පාබල හා අශ්වාරෝහක හමුදාවන් රජතුමා ඉදිරියෙන් ගමන් කරමින් ආචාර කරන අතර, කාලතුවක්කු බලඇණිද ඔවුන්ගේ තුවක්කු සමඟ පෙළපාලියේ ගමන් කරනවා.
උත්සවය නිමා කරමින් රජතුමා තම ආරක්ෂක බලඇණි පෙරටු කරගෙන නැවත බකිංහැම් මාලිගය වෙත පැමිණෙන අතර, මාලිගයේ වැට අසල සිට සෙබළුන් තමන්ගේ බැරැක්ක වෙත යන තෙක් ඔවුන්ගේ ආචාරය පිළිගන්නවා.
පස්වරු 1.00 ට අවසානයේදී රජතුමා රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ බකිංහැම් මාලිගයේ සඳලුතලයට (Balcony) පැමිණෙන අතර, එහි සිට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) පවත්වන අලංකාර ගුවන් සංදර්ශනය (Fly-past) නරඹනවා.
2026 වසරේ නිල උත්සව කාලසටහන
රජතුමාගේ උපන් දින පෙළපාලියට පෙර විශේෂ පෙරහුරු 2ක් පැවැත්වෙනවා. නමුත් විශේෂත්වයක් වන්නේ මෙම පෙරහුරු දින දෙකේදී රාජකීය ගුවන් හමුදාවේ ගුවන් සංදර්ශන (Fly-past) නොපැවැත්වීමයි.
- Major General’s Review
දිනය: 2026 මැයි 30 සෙනසුරාදා
මෙවර ටෘපින් ද කලර් පළමු පෙරහුරුව මේජර් ජෙනරාල් James Bowder OBE ගේ ප්‍රධානත්වයෙන් සහ නිරීක්ෂණයෙන් යුතුව පැවැත්වුණා.
- Colonel’s Review
දිනය: 2026 ජූනි 06 සෙනසුරාදා
විස්තරය: Grenadier Guards බලඇණියේ කර්නල්වරිය ලෙස රැජින මෙහිදී උත්තමාචාරය පිළිගැනීමට නියමිතව තිබුණත් ඇය වෙනුවට මෙය පිළිගත්තේ මේජර් ජෙනරාල් James Bowder විසින්.
- The King’s Birthday Parade
දිනය: 2026 ජූනි 13 සෙනසුරාදා
මෙවර ප්‍රධාන රාජකීය උපන් දින පෙළපාලියේදී ‘1st Battalion Grenadier Guards’ බලඇණියේ රෙජිමේන්තු ධජය අභිමානයෙන් යුතුව ප්‍රදර්ශනය කරමින් රැගෙන යාමට නියමිතයි.
Image credit: www.bbc.co.uk