විසිවැනි සියවසේ ආරම්භයත් එක්කම ලෝක සිතියමට අලුත්ම, බලාපොරොත්තු සහගත රටක් එකතු වුණා. ඒ තමයි ඔස්ට්‍රේලියාව. කැන්බරා (Canberra) නගරය නිර්මාණය කරලා ඉවර වෙනකම් ඔස්ට්‍රේලියාවේ තාවකාලික අගනුවර විදියට තෝරාගත්තේ මෙල්බර්න් (Melbourne) නගරයයි. සුන්දර Melbourne නගරයේ රසවත් ඉතිහාසය ගැන අපි ඉදිරියේදී කතා කරමු. අද කියන්න යන්නේ මෙන්න මේ ඓතිහාසික නගරයේ සුන්දර පරිණාමය ඇස් දෙකෙන්ම දැකගන්න ලැබෙන අපූරු අවස්ථාවක් ගැනයි.
මෙල්බර්න් නගරයේ තියෙන ඓතිහාසික Old Treasury Building එකේ පැවැත්වෙන සුවිශේෂී ප්‍රදර්ශනය ඔයා කවදා හරි බලන්න ගිහින් තියෙනවද? සම්පූර්ණයෙන්ම නොමිලේ නැරඹිය හැකි මේ ප්‍රදර්ශනයෙන්, පහුගිය සියවසක කාලය ඇතුළත මෙල්බර්න් නගරය මුහුණ දුන් හැලහැප්පීම් සහ ලබාගත් දියුණුව ඉතාමත් ලස්සනට පෙන්වා දෙනවා.
ලෝක මහා සංග්‍රාම 2ක් සහ දරුණු ආර්ථික කඩාවැටීම් වලින් පස්සේ, මේ නගරය නැඟී සිටියේ කොහොමද? Melbourne නගරය තුළ බහුසංස්කෘතික සමාජයක් නිර්මාණය වීම, සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලැබීම, පොදු ප්‍රවාහන සේවා දියුණු වීම සහ අදටත් අපිට දකින්න ලැබෙන පැරණි ඓතිහාසික ගොඩනැඟිලි ආරක්ෂා කරගන්න උරුමයන් සුරැකීමේ නීති එහෙමත් නැත්නම් Heritage laws ආවේ කොහොමද කියන කතාව මේ ප්‍රදර්ශනයෙන් දිගහැරෙනවා.
ප්‍රදර්ශනයේ විශේෂත්වය
මෙල්බර්න් නගරයේ පැරණි ඓතිහාසික ඡායාරූප සමඟ, දේශීය ඡායාරූප ශිල්පිනියක වන Sarah Pannell විසින් මෑතකදී ලබාගත් නවතම ඡායාරූප එකම තැනකදී සසඳා බැලීමට නරඹන්නන්ට අවස්ථාව ලැබෙනවා.
ගිනි නිවන ඉනිමඟේ සිට අහස්කුස සිඹින මන්දිර දක්වා
මේ ප්‍රදර්ශනයේදී ඔයාට දැකගන්න ලැබෙන වඩාත්ම රසවත් කතාවක් තමයි එදා මෙල්බර්න් නගරයේ ගොඩනැඟිලි හැදුණු විදිය.
එදා මෙල්බර්න් නගරයේ ගොඩනැඟිල්ලක් කොච්චර උසට හදන්න පුළුවන්ද කියලා තීරණය කළේ ගිනි නිවන හමුදාවේ තිබුණු දිගම ඉනිමඟේ උස අනුවයි! ඒ කියන්නේ ගින්නක් ඇති වුණොත් බේරගන්න පුළුවන් මට්ටමට, ඒ කියන්නේ තට්ටු 12කට විතරක් ගොඩනැඟිලිවල උස සීමා කරලා තිබුණා.
හැබැයි අද වෙනකොට ඒ සීමාවන් බිඳගෙන, අහස්කුස සිඹින දැවැන්ත අහස්මාලිගා මෙල්බර්න් නගරය පුරාම නැඟී සිටින හැටි දකිද්දී පුදුම හිතෙනවා.
ඔයා දැනට මෙල්බර්න් නගරයේ ජීවත් වෙන කෙනෙක් වුණත් නැතත් නගරයේ සැබෑ අනන්‍යතාවය වටහා ගන්න අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ප්‍රදර්ශනයක් විදියට මේ ‘Making Modern Melbourne’ හඳුන්වන්න පුළුවන්!
ඉරිදා සිට සිකුරාදා දක්වා උදෑසන 10 සිට සවස 4 දක්වා විවෘතයි
මේ වටිනා ප්‍රදර්ශනය ඔයාට නොමිලේම දැකබලා ගණන් පුළුවන්
Location
Old Treasury Building
20 Spring St
East Melbourne 3002
වැඩි විස්තර දැනගන්න
03 9651 2233
Image credit: www.oldtreasurybuilding.org.au