පොසොන් පෝය ගැන සැබෑ කතාව මෙන්න!

  • Home
  • /
  • Blog
  • /
  • පොසොන් පෝය ගැන සැබෑ කතාව මෙන්න!

සෑම වසරකම ජුනි මාසයේ එළඹෙන පොසොන් පුර පසළොස්වක පොහොය දවස කියන්නේ ලාංකීය බෞද්ධ ජනතාවට වෙසක් පෝයට විතරක් දෙවැනි වන, අතිශය වැදගත් සහ ආගමික භක්තිය ඉහළින්ම දැනෙන දවසක්. මුළු රටම සුදු වතින් සැරසිලා, තොරණ සහ පහන් ආලෝකයෙන් ඒකාලෝක වන මේ වටිනා උත්සවයේ සැබෑ අර්ථය සහ ඉතිහාසය ඔබ දන්නවාද?

 

ඉතිහාසය වෙනස් කළ ඒ අපූරු හමුවීම

ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී (ක්‍රි.පූ. 236 දී) සිදුවූ එක් සුවිශේෂී සිදුවීමක් නිසා ලංකාවේ සමස්ත සංස්කෘතියම උඩුයටිකුරු වුණා. ඒ තමයි ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු දූත පිරිස ලංකාවට වැඩම කිරීම.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 වැන්නෙහි එළඹුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිවුනමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නම් අනාගාමී ඵලයට පත් රාජකීය උපාසකයාත් සමඟ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළහ.

එකල පැවති ජෙට්ඨනක්ඛත්ත නම් උත්සවය සැමරීමට පිරිස සමඟ මුව දඩයමේ ගිය දෙවන පෑතිස් රජු මුණගැසෙන්නේ මෙහිදීයි. එහිදී මිහිඳු හිමියන් රජතුමාගේ බුද්ධි මට්ටම මැන බැලීමට ඇසූ සුප්‍රසිද්ධ අඹ පැනය සහ ඥාති පැනයෙන් පස්සේ, රජු ඇතුළු පිරිසට ධර්මය දේශනා කළා. මේ උතුම් සිදුවීම සිහිපත් කරමින් තමයි අපි අදටත් පොසොන් පෝය සමරන්නේ.

ඉන් පසුව රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළා. අනතුරුව මිහිඳු මාහිමියෝ අනාගාමී ඵලයට පත් භණ්ඩුක උපාසකතුමා පැවිදි කළ අතර සුමන සාමණේරයන් දෙවියන් අරඹයා සමචිත්තපරියාය සූත්‍රය දේශනා කළා.

ඊට පසු දින රාජ මාලිගාවට වැඩම කොට දහවල් දන් වළඳා පේතවත්ථු විමානවත්ථු හා සච්චසංයුත්තය යන දහම් කොටස් අනුසාරයෙන් ධර්මය දේශනා කළා. මෙහිදී අනුලා දේවිය ඇතුළු රාජකීය කාන්තාවන් 500ක පිරිස සෝවාන් ඵලයට පැමිණි බව මහාවංශයේ, සමන්තපාසාදිකාවේ සඳහන් වෙනවා.

පසුව රටවැසියන් වෙනුවෙන් දේවදූත සූත්‍රය දේශනා කළ අතර එය අවසානයේ දහසක් දෙනා සෝවාන් පලයට පත් වෙනවා. මේ අයුරින් සිරිලකට වැඩම කළ දින සිට දිනෙන් දින රටවැසියනට ධර්මය අවබෝධ කරමින් උතුම් ශ්‍රී සද්ධර්මය මෙරට තුළ ස්ථාපිත කිරීමට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළා.  

 

අනුරාධපුරය සහ මිහින්තලයට ඇදෙන ජනගඟ

පොසොන් උත්සවයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථාන වෙන්නේ අනුරාධපුර පුදබිම සහ මිහින්තලයයි. ලංකාවේ නන් දෙසින් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් සුදු වතින් සැරසී, මේ පින්බිම් කරා ඇදී එන්නේ මහත් වූ ශ්‍රද්ධාවෙන්. බොහෝ දෙනෙක් දාන සීල ආදී පුණ්‍ය කර්මයන්ට මුල් තැනක් දෙමින් ඉමහත් භක්තියෙන් පොසොන් පොහොය සමරනවා.

 

තොරණ, දන්සල් මැදින් සතියක සැමරුමක්

පොසොන් පෝය කියන්නේ හුදෙක් ආගමික වතාවත්වලට විතරක් සීමා වෙච්ච දවසක් නෙවෙයි. පෝය දවසේ ඉඳන් දින කිහිපයක් පුරා මුළු රටම උත්සව සිරියෙන් ආලෝකමත් වෙනවා. රට පුරා පැවැත්වෙන දහස් ගණනක් වුනු දන්සල් ලොව පුරා බොහෝ දෙනාගේ සුවිශේෂී අවදානයක් දිනා ගන්නවා. ශ්‍රී ලංකාව තුළ වගේම, එහි ආගමික පසුබිමෙන් පන්නරය ලැබූ ලොව පුරා සිටින බොහෝ බෞද්ධයින් ලොව පුරා මේ උතුම් පින්කම් සිදු කරනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ද විවිධ ප්‍රදේශවල ඇති දැවැන්ත පින්කම් සහ දන්සල් අපිට දැකගන්න ලැබෙනවා.

පොසොන් පෝය කියන්නේ ශ්‍රී ලංකාවට ආගමික අවබෝධය විතරක් නෙවෙයි, නැවුම් සිතුවම් කලාවක්, කැටයම් කලාවක්, සාහිත්‍යයක් සහ අලුත් සංස්කෘතික හැඩගැස්මක් උරුම කර දුන් දවසයි. එබැවින් මේ වටිනා දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින්, අර්ථවත් ලෙස පොසොන් උත්සවය සැමරීමට අප සැවොම අදිටන් කර ගනිමු!

 

Image credit: fos.cmb.ac.lk

 

Don't forget to share this post!

Recent Posts

909
June 29, 2026