වාහනයක් පදවනවා කියන්නේ ලොකු වගකීමක්. හැබැයි අද කාලේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක, drive කරන අතරතුර වෙනත් දේවල් වෙත අපේ අවධානය යොමු වීම (Driving Distractions) ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා.
හැබැයි ඔයා දන්නවද, ඔයාගේ අවධානය පොඩ්ඩක් හෝ වෙනතකට ගියොත් සිද්ධ වෙන්න පුළුවන් අනතුර කෙතරම් දරුණුද කියලා? නවතම පර්යේෂණ වාර්තාවලට අනුව, රිය පදවන අතරතුර ජංගම දුරකථනයක් භාවිතා කිරීමෙන් අනතුරක් වීමේ ප්‍රවණතාවය 4 ගුණයකින් ඉහළ යනවා. වඩාත්ම භයානක දේ තමයි, drive කරන ගමන් තත්පර 2ක් වැනි සුළු කාලයකට ඔයාගේ ඇස් දෙක පාරෙන් ඉවතට ගියොත්, වාහනය අනතුරකට ලක්වීමේ අවදානම දෙගුණයකින් වැඩි වන බව සොයාගෙන තියෙනවා!
ඉතින්, මේ වගේ මාරක අනතුරුවලින් බේරිලා, පාරේ යනකොට 100%ක් අවධානයෙන් ඉන්න පුළුවන් සරල, හැබැයි වටිනා පුරුදු 6ක් ගැන අද අපි ඔයාට කියනවා.
අවධානය වෙනස් වීම වළක්වා ගන්න සුපිරි Tips 6ක්
1.ගමන පටන් ගන්න කලින්ම settings හදාගන්න:
වාහනය පණගැන්වීමට පෙර ඔයාට අවශ්‍ය music, GPS හෝ වාහනයේ තියෙන වෙනත් තාක්ෂණික මෙවලම් ඔක්කොම set කරගන්න. ඩ්‍රයිව් කරන ගමන් සිතියම් හෝ සින්දු මාරු කරන්න යන්න එපා.
2.ෆෝන් එක ‘Do not disturb’ දාන්න:
වාහනයට ගොඩවුණු ගමන්ම ඔයාගේ mobile phone එක ‘Do not disturb’mode එකට දාන්න. නැත්නම් අනවශ්‍ය Notification එකක් ආපු ගමන් ඔයාට ඒක බලන්න හිතෙන්න පුළුවන්.
3.දුරකථනය ඇස් මානයෙන් ඉවත් කරන්න:
ගමන අතරතුර ඔයාට ෆෝන් එකෙන් කිසිම වැඩක් නැත්නම්, ඒක ඇස්වලට නොපෙනෙන බෑග් එකක් ඇතුළේ හරි, වෙනත් තැනක් හරි දාලා තියන්න. එමගින් අවදානය බිඳෙන එක අඩු වෙනවා.
4.වාහනේ ඉන්න අයගේ උදව් ගන්න:
ඔයා සමඟ වාහනයේ ගමන් කරන අනෙක් අයට drive කරන වෙලාවට ඔයාට බාධා කරන්න එපා කියලා කියන්න. නැත්නම් call එකක් ආවොත් ඒකට උත්තර දෙන්න වගේ දේවල් ඔවුන්ට බාර දෙන්න.
5.ඩ්‍රයිව් කරන ගමන් කෑම බීමෙන් වැළකෙන්න:
එක අතකින් කන ගමන්, නැත්නම් කෝපි කෝප්පයක් බොන ගමන් drive කරන එක මාරම භයානකයි. ඒකෙන් ඔයාගේ පාලනය ගිලිහී යන්න පුළුවන්.
6.සෑම පැය 2කට වරක් විවේක ගන්න:
ඔයා දිගු ගමනක් යනවා නම්, අවධානය අඩුවීම සහ මහන්සිය මඟහරවා ගන්න සෑම පැය දෙකකට වරක්ම වාහනය ආරක්ෂිත තැනක නතර කරලා විනාඩි කිහිපයක පුංචි break එකක් ගන්න.
ඔයාට වාහනය ගැන Proper control එකක් නැති බව පොලිසියට පෙනී ගියහොත්, ලෝකයේ ඕනෑම රටකදී ඔයාට විශාල දඩ මුදලකට මුහුණ දීමට වගේම Demerit points වලටත් හේතු වෙනවා.
තාක්ෂණය නිසා අපේ ජීවිත ලේසි වුණාට, රෝදය පිටුපස ඉන්නකොට ඒ තාක්ෂණයම මාරකයෙක් කරගන්න එපා. ඊළඟ වතාවේ වාහනයට ගොඩවෙනකොට මේ සරල පුරුදු ටික මතක තබාගන්න!