ලෝක ප්‍රකට Pop රජු මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ අලුත්ම සිනමාපටය වන “Michael”, මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් USD මිලියන 977ක දැවැන්ත ආදායමක් උපයා තිබෙනවා. ඒ අනුව, මෙතෙක් ලොව වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදාන සිනමාපටය හෙවත් Biopic එක ලෙස කිරුළු පැළඳ සිටි Christopher Nolanගේ ‘Oppenheimer’ (2023) චිත්‍රපටයේ වාර්තාව බිඳ හෙළීමට මයිකල් ජැක්සන් සමත්ව තිබෙනවා.
මීට පෙර, Queen සංගීත කණ්ඩායම ගැන හැදූ ‘Bohemian Rhapsody’ (2018) චිත්‍රපටය පසුකර යමින් ලොව සාර්ථකම සංගීතමය චරිතාපදාන චිත්‍රපටය බවට පත්වූයේද මේ “Michael” සිනමාපටයයි.
Box Office වාර්තා සුණු විසුණු වෙයි!
Antoine Fuqua විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයෙන්, මයිකල් ජැක්සන් “Jackson 5” නම් family group එකේ child star කෙනෙක්ව සිටි කාලයේ සිට ලෝකයේ ‘King of Pop’ බවට පත්වන තෙක් ආ ගමන නිරූපණය වනවා. මෙහි විශේෂත්වය වන්නේ මයිකල් ජැක්සන්ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම සැබෑ බෑණනුවන් (nephew) වන Jaafar Jackson වීමයි.
පසුගිය අප්‍රේල් මාසයේ තිරගත වීම ආරම්භ වූ පළමු සතියේදීම USD මිලියන 217ක ආදායමක් ලබමින්, ‘Straight Outta Compton’ සහ ‘Bohemian Rhapsody’ වැනි පෙරළිකාර චිත්‍රපට රැසක් පසු කිරීමට මෙය සමත් වුණා. එමෙන්ම, මෙය Lionsgate Studios ඉතිහාසයේ සාර්ථකම සිනමාපටය බවටද පත්ව තිබෙනවා.
“ඇතැම් සත්‍යයන් වසන් කර ඇති බවට” විචාරකයන්ගෙන් චෝදනා
චිත්‍රපටය රසිකයන් වැළඳගෙන තිබුණත්, සිනමා විචාරකයන්ගෙන් නම් ඊට එල්ල වූයේ යහපත් ප්‍රතිචාර නොවෙයි. බොහෝ දෙනෙක් මෙයට “Whitewash” නිර්මාණයක් සහ මුදල් සෙවීමේ අරමුණින් කළ නිර්මාණයක් ලෙස දෝෂාරෝපණය කළා.
මයිකල් ජැක්සන්ට එරෙහිව පසුකාලීනව එල්ල වූ ළමා අපචාර චෝදනා සහ විවිධ නීතිමය ගැටලු, කිසියම් රහස්‍ය ගිවිසුමක් (NDA) නිසා මෙම සිනමාපටයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවට විචාරකයන් චෝදනා කරනවා. චිත්‍රපටය ඔහුගේ ජීවිතයේ සුන්දර පැත්ත පමණක් පෙන්වීමට උත්සාහ කර ඇති බවයි “The Hollywood Reporter” සහ “Telegraph” වැනි සඟරා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, Rotten Tomatoes වැනි වෙබ් අඩවිවල සටහන් වන පරිදි, විචාරකයන් මොනවා කීවත් මයිකල්ගේ සැබෑ රසිකයන් මේ චිත්‍රපටයට ඉහළම ප්‍රතිචාර ලබා දී තිබෙනවා. මයිකල් ජැක්සන්ගේ පවුලේ සහයෝගය ඇතිව නිර්මාණය වූ මෙහි ගීත සඳහා යොදාගෙන ඇත්තේ ඔහුගේම සැබෑ කටහඬයි.
චිත්‍රපටය නිසා Online සංගීත ලෝකයත් කැළඹෙයි!
මේ සිනමාපටයේ ආගමනයත් සමඟ ලොව පුරා මයිකල් ජැක්සන්ගේ ගීත නැරඹීම සහ ශ්‍රවණය කිරීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
YouTube: පසුගිය මාසයේ බ්‍රිතාන්‍යය තුළ වැඩිම පිරිසක් නැරඹූ ගායකයා බවට මයිකල් පත්වූයේ, ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වූ Drake මෙන් දෙගුණයක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගනිමින්.
Spotify: ඔහුගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘Billie Jean’ මේ වන විට ලොව පුරා වැඩිම පිරිසක් ශ්‍රවණය කරන ගීතයක් බවට පත්ව තිබෙනවා.
Lionsgate සමාගම ඉදිරියේදී මයිකල් ජැක්සන්ගේ ජීවිතය ගැන තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Image credit: posterspy.com