ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බොහෝ දෙනෙක්ට තමන්ගේ නිවසේ ඉඩකඩ මදි වෙද්දී මුලින්ම මතක් වෙන ලේසිම විසඳුමක් තමයි තමන්ගේ වාහන නවත්වන Garage එක අමතර කාමරයක් බවට පත් කරගන්න එක. මේ ක්‍රියාවලියට ඕස්ට්‍රේලියාවේ කියන්නේ Garage Conversion කියලා.
නමුත්, ඔබට හිතුණු පළියට ගරාජයට කාපට් එකක් දාලා, බිත්ති ටිකක් පාට කරලා ඒක නිදන කාමරයක් විදිහට පාවිච්චි කරන්න නීතිමය වශයෙන් අවසර නැහැ. ඒ ඇයි සහ එහි ඇති නීතිමය තත්ත්වය මොකක්ද කියලා අපි මේ article එකෙන් බලමු.
නිවසක් සහ ගරාජයක් අතර ඇති නීතිමය වෙනස
ඕස්ට්‍රේලියාවේ පවතින National Construction Code (NCC) හෙවත් ජාතික ගොඩනැඟිලි කේතයට අනුව, සාමාන්‍ය ගරාජයක් වර්ගීකරණය කරලා තියෙන්නේ “Non-habitable structure” එකක් එහෙමත් නැත්නම් මිනිසුන් පදිංචි වීමට නුසුදුසු ඉදිකිරීමක් විදිහටයි.
නිදන කාමරයක්, සාලයක් හෝ Home office එකක් සාදන ප්‍රමිතියෙන් සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් නෙවෙයි සාමාන්‍යයෙන් ගරාජයක් හදලා තියෙන්නේ. එම නිසා ගරාජයක් නීත්‍යානුකූලව පදිංචි විය හැකි, Habitable ස්ථානයක් බවට පත් කිරීමට නම්, එය නිවසේ ප්‍රධාන කොටසක් ලෙස සැලකිය හැකි මට්ටමට වෙනස් කළ යුතුයි.
Garage Conversion වලදී බහුලවම කෙරෙන වෙනස්කම්
නිවසක ඉඩකඩ වැඩි කරගැනීම සඳහා බොහෝ දෙනා තම ගරාජය පහත සඳහන් දෑ සඳහා පරිවර්තනය කරනවා.
- අමතර නිදන කාමර
- Home offices
- අමතර සාලයක්
- Home gyms
- Studios
- ළමයින්ට සෙල්ලම් කිරීමට හෝ විනෝදාස්වාදය සඳහා වෙන්වූ කාමර (උදා: Rumpus/Games rooms)
ඇතැම් පිරිස් මෙය කුස්සියක් සහ bathroom එකක් සහිත Granny Flat එකක් හෙවත් ස්වාධීන කුඩා නිවසක් බවට පත් කිරීමටද උත්සාහ කරනවා. නමුත් ඒ සඳහා Local Councils වලින් ඉතා දැඩි නීති රීති පනවා ඇති අතර සෑම ස්ථානයකටම ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ.
Council Approvals අනිවාර්යද?
ඔව්, අනිවාර්යයෙන්ම! ගරාජයක් පදිංචියට සුදුසු කාමරයක් බවට පත් කිරීමේදී එම අවකාශය මිනිස් පරිභෝජනයට සුදුසු, ආරක්ෂිත, සුවපහසු සහ කල්පැවැත්මෙන් යුක්ත එකක් බවට සහතික කළ යුතුයි. මේ සඳහා Local Council වලින් නිසි අවසර ලබා ගැනීම සහ building permit ලබා ගැනීම අනිවාර්ය වෙනවා.
හුදෙක් පෙනුම වෙනස් කිරීමෙන්, එහෙමත් නැත්නම් Cosmetic Renovation එකකින් පමණක් ගරාජයක් නීත්‍යානුකූල වෙන්නේ නැහැ. නිසි අවසරයකින් තොරව, ප්‍රමිතියෙන් යුත් Insulation හෝ Waterproofing නොයොදා කරන වෙනස්කම් අනුමත නොකළ ඉදිකිරීම් ලෙස සැලකෙනවා. මෙවැනි අවස්ථාවකදී නිවාස රක්ෂණ ලබා ගැනීමේදී, නිවස නැවත විකිණීමේදී හෝ council එකේ නීතිමය පියවර හමුවේ ඔබ දැඩි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.
එම නිසා, ඔබත් ඕස්ට්‍රේලියාවේ සිටින ඔයා, ගරාජය අලුත් කාමරයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් නම්, වැඩ ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන්ම ඔයාගේ Local Council එක හෝ Building Certifier කෙනෙකු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීමට අමතක කරන්න එපා