ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන තරඟ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සුවිශේෂී වාර්තාවක් තැබීමට තරුණ ධාවන ශූර Yevan David සමත්ව තිබෙනවා. පසුගිය සෙනසුරාදා (ජූලි 4) එංගලන්තයේ සුප්‍රකට Silverstone ධාවන පථයේ පැවැති FIA Formula 3 Sprint Race එකේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වුණා.
මෙය Formula 3 තරඟාවලියකදී ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවකයෙකු මෙවැනි දස්කමක් දක්වමින් Podium එකට නැගීමට සමත් වුණු පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වනවා.
ඉවසීමෙන් ආ සුපිරි ගමනක්
AIX Racing කණ්ඩායම නියෝජනය කරමින් තරඟයට එක්වූ Yevan David, තරඟය පුරාම ඉතාමත් ඉවසිලිවන්ත මෙන්ම දක්ෂ ධාවනයක නිරත වෙමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය කරා ළඟා වුණා. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඉහළින්ම සනිටුහන් කිරීමටත්, තමන් සතු සුවිශේෂී දක්ෂතාව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමටත් මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග යෙවාන්ට හැකි වී තිබෙනවා.
තරඟයේ අවසාන ප්‍රතිඵලය
මෙම තරඟයේ ප්‍රථම ස්ථානය, තත්පර 20කට ආසන්න විශාල පරතරයක් තබා ගනිමින් ජයග්‍රහණය කිරීමට Campos Racing කණ්ඩායමේ Ugo Ugochukwu සමත් වුණා. ඔහුගේම කණ්ඩායමේ Theophile Nael 3 වන ස්ථානය දිනාගත්තා.
Racing ලෝකයේ අතිශය තරඟකාරී මෝටර් රථ ධාවන ඉසව්වක් වන Formula 3 තරඟ බිමේදී ලාංකීය ධජය ලෙළදෙවූ යෙවාන් ඩේවිඩ්ට සන්නස Digital අපගේ උණුසුම් සුබපැතුම්!