ගෙදරට පැනපු හොරෙක්ට ගැහුවොත් හිරේද? ඕස්ට්‍රේලියාවේ Self-defence නීතිය මෙන්න!

කලින් article එකකින් අපි කතා කළා ඕස්ට්‍රේලියානු නීතියට අනුව මංකොල්ලකෑම (Robbery), සොරකම (Theft) සහ අනවසර ඇතුළුවීම (Burglary) අතර ඇති වෙනස්කම් පිළිබඳව. යම් හෙයකින් කෙනෙකු ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට කඩා වැදුණහොත්, ඔබ සහ ඔබේ දේපළ ආරක්ෂා කර ගැනීමට සිතීම ස්වාභාවිකයි. 

නමුත් ඕස්ට්‍රේලියානු නීතියට අනුව ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට කොපමණ දුරක් යා හැකිද? නීත්‍යානුකූලව බලය භාවිත කළ හැක්කේ කෙසේද? අද article එක ඒ ගැනයි.

 

ආත්මාරක්ෂාව (Self-defence)

මේ පිළිබඳව සිඩ්නි නුවර ප්‍රමුඛ පෙළේ අපරාධ නීතිඥයෙකු වන Alex Cao මහතා පෙන්වා දෙන්නේ, ආත්මාරක්ෂාව පිළිබඳ නීති රීති ඕස්ට්‍රේලියාවේ States සහ Territories අනුව සුළු වශයෙන් වෙනස් වුවද, රට පුරාම පොදුවේ පිළිගන්නා මූලික නීතිමය මූලධර්ම කිහිපයක් පවතින බවයි.

 

යමෙකු තමන්ව ආරක්ෂා කර ගැනීමට ගන්නා පියවරක් නීත්‍යානුකූල වීමට නම් මෙම කරුණු සම්පූර්ණ විය යුතුයි;

  • ක්‍රියාවේ අත්‍යවශ්‍යතාව: තමන්ව හෝ අන් අයව ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය බව විශ්වාස කිරීමට ඔයාට සාධාරණ හේතු තිබිය යුතුයි.
  • සමානුපාතික බලය (Proportionate Force): ඔබ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හෝ භාවිත කරන බලය, ඔබට එල්ල වූ තර්ජනයේ ස්වභාවයට සමානුපාතික විය යුතුයි. උදාහරණයක් විදිහට, කෙනෙකු ඔබට වාචිකව තර්ජනයක් කළ පළියට ඔහුට දරුණු ලෙස පහර දීමට නීතියෙන් අවසර නැහැ.
  • මාරාන්තික බලය භාවිතය (Deadly Force): ඔබේ ජීවිතයට හෝ වෙනත් අයෙකුගේ ජීවිතයට ක්ෂණිකව මාරාන්තික අනතුරක් ඇති බව පෙනෙන්නට තිබේ නම් පමණක් මාරාන්තික බලයක් (ජීවිත අනතුරක් විය හැකි ප්‍රතිප්‍රහාරයක්) භාවිත කිරීම නීත්‍යානුකූලව සාධාරණීකරණය කළ හැකියි.
  • තර්ජනය පහව ගිය පසු නැවත පහර නොදීම: සැකකරු මෙල්ල කළ පසු හෝ ඔහුට තවදුරටත් හානියක් කළ නොහැකි බව තහවුරු වූ පසු, දිගින් දිගටම ඔහුට පහර දීමට ඔබට අයිතියක් නැහැ. එසේ කළහොත් ඔබව වරදකරු වීමේ අවදානමක් පවතිනවා.

 

හදිසි අවස්ථාවකදී කළ යුත්තේ මොකක්ද?

ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට කිසිවෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව දැනගතහොත්, පුද්ගලිකව ඔවුන් සමඟ ගැටුමකට නොයා යුතුයි.

ඔබ කළ යුත්හ්ටේ හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වී, ආරක්ෂිත තැනක සිට වහාම 000 අමතා පොලිසිය දැනුවත් කිරීමයි.

දේපළවලට වඩා ඔබේ සහ ඔබේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වටිනා බැවින්, නීතිය අතට ගැනීමට වඩා ආරක්ෂක අංශවල සහාය පැතීම නුවණට හුරුයි.

 

Don't forget to share this post!

Recent Posts