ඔයාගේ Business එකේ brand එක සහ reputation එක ආරක්ෂා කරගන්න විදිහ ගැන අපි article කිහිපයකින්ම ගොඩක් දේවල් කතා කරා. අද අපි අරගෙන ආවේ මේ brand and reputation එකට අදාළ අන්තිම point එක. ඒ තමයි ‘Conflict of Interest’.
සාර්ථක ව්‍යාපාර අනුගමනය කරන නිවැරදි Business concept සරලව අපි ඔබ වෙත අරගෙන එනවා. මේ හැමදේම ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම business එකක් පටන් අරගෙන සාර්ථක කරගන්න උදව් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා..
Business එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම දැනගත යුතු ‘Conflict of Interest’ කියන්නේ මොකක්ද?
ඕනෑම Business එකක් ඉස්සරහට කරගෙන යද්දී නොහිතන ප්‍රශ්න, අභියෝග එන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ හැම එකකටම වඩා ලේසියෙන්ම Business එකක නම, විශ්වාසය විනාශ කරන්න පුළුවන් නිහඬ සතුරෙක් ඉන්නවා. ඒකට කියන්නේ Conflict of Interest කියලා. සරලවම කිව්වොත්, සේවකයෙක්ගේ පෞද්ගලික වාසි සහ සමාගමේ ලාභය හෝ අරමුණු අතර ඇතිවන ගැටුමයි.
උදාහරණයක් කිව්වොත්, ඔයාලගේ Business එකට ලොකු Contract එකක් දෙන්න Supplier කෙනෙක්ව තෝරන්න ලෑස්ති වෙනවා කියමු. ඒ තීරණය ගන්න ඉන්න සේවකයා, අදාළ Supplier කෙනෙක්ගෙන් වටිනා තෑග්ගක් හෝ වෙනත් පෞද්ගලික වාසියක් ගත්තොත්? අන්න එතන තියෙන්නේ පැහැදිලිවම Conflict of Interest එකක්.
මේක මෙච්චර බරපතළ ප්‍රශ්නයක්ද?
ඔව්, ඇත්තටම. Conflict of Interest කියන දේ ඕනෑම Business එකක වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒක හරියට Manage නොකළොත් විතරක් නෙවෙයි, “එහෙම දෙයක් වෙනවා ඇති” කියලා මිනිස්සුන්ට සැකයක් ඇති වුණත් (Perception of a conflict), ඒකෙන් ඔයාලගේ ව්‍යාපාරයේ කීර්ති නාමයට ලොකු හානියක් වෙන්න පුළුවන්.
ඒ නිසා මේ වගේ දේවල් කලින්ම වළක්වා ගන්න පැහැදිලි Conflict of Interest Policy එකක් Business එකට තියෙන්නම ඕනේ. ඒ හරහා සේවකයන්ට තේරුම් ගන්න පුළුවන්, මොන වගේ දේවල්ද ගැටුම් ඇති කරන්නේ සහ එහෙම දෙයක් වුණොත් ඒක ආයතනයට දන්වන්නේ කොහොමද කියලා.
වැඩේ ලේසි කරගන්න මෙන්න Check-list එකක්!
ඔයාලගේ Business එක ඇතුළේ මේ ප්‍රශ්නය හරියට පාලනය කරන්න මේ පියවර 3 අනුගමනය කරන්න පුළුවන්:
- විවිධ වර්ගයේ Conflicts හඳුනාගන්න: පෞද්ගලික ලාභ ලැබීම්, නෑදෑයින්ට හෝ යාලුවන්ට Business එක ඇතුළෙන් අනිසි වාසි ලබාදීම් වගේ එක එක වර්ගයේ ගැටුම් මොනවාද කියලා කලින්ම තේරුම් ගන්න.
- පැහැදිලි Policy එකක් හදන්න: ගැටුමක් ඇති විය හැකි අවස්ථාවක් ආවොත් ඒක ආයතනයට ප්‍රකාශ කරන්නේ/Declare කරන්නේ, ඒවා Record කරන්නේ සහ පාලනය කරන්නේ කොහොමද කියලා පැහැදිලි රීති මාලාවක් හදන්න.
- ගිවිසුම්වලට ඇතුළත් කරන්න: සේවකයන් බඳවා ගන්නකොට අත්සන් කරන රැකියා ගිවිසුමට හෙවත් Employment Contract එකට මේ Conflict of Interest Clause එක කොන්දේසියක් විදිහට අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න.
මතක තියාගන්න, Business එකක සාර්ථකත්වයට සහ විශ්වාසයට ලොකුම පදනම වෙන්නේ විනිවිදභාවයයි. ඒ නිසා අදම ඔයාලගේ ආයතනය ඇතුළෙත් මේ ගැන අවධානය යොමු කරන්න!