යන එන ගොඩක් තැන් වලදී photo එකක් ගන්න එක දැන් බොහෝ දෙනෙක්ගේ පුරුද්දක් වෙලා තියෙනවා. හැබැයි සමහර අවස්තාවලදී ගොඩක් අය අමතක කරන දෙයක් තමයි මේකෙන් තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට වෙන හානිය. ඒ වගේම සමහර තැන් තියනවා විවිධ විද්‍යාත්මක, සංස්කෘතික ආදී හේතූන් මත photos ගන්න ඉඩ දෙන්නේ නැති.
ඉතින් අපි අද කතා කරන්නේ මේ විදිහට photos ගන්න එකට අදාළ ඕස්ට්‍රේලියානු නීතිය ගැන. ඔයා ඕස්ට්‍රේලියාවට අලුත් කෙනෙක්නම් මේ ගැන දැනගෙන ඉන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.
ඔයා social media වෙනුවෙන් Content හදන කෙනෙක් වුණත්, එහෙමත් නැත්නම් Professional Photographer කෙනෙක් වුණත්, නැත්නම් ආසාවට memory එකක් විදිහට photo එකක් ගත්තත්, photo එකක් ගන්න කලින් ඒකට නීතියෙන් තියෙන ඉඩකඩ ගැන පොඩි දැනුවත්කමක් තියෙන එක ගොඩක් වටිනවා.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේදී ප්‍රසිද්ධ ස්ථානයක ඉන්න කෙනෙක්ව අපේ කැමරා කාචයට හසුකර ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා.
ප්‍රසිද්ධ ස්ථානයකදී වෙනත් අයගේ ඡායාරූප ගන්න පුළුවන්ද?
ඔයා පාරේ, park එකක එහෙමත් නැත්නම් Beach එකේ ඉඳන් photos ගන්නවා වෙන්න පුළුවන්. Australian Photographic Society එකේ සභාපති Pia Jessen කියන විදිහට, ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍යයෙන් වෙනත් අයෙකුගේ පින්තූරයක් හෝ වීඩියෝවක් ගන්න එම පුද්ගලයාගේ විශේෂ අවසරයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
සරලවම කිව්වොත්, ප්‍රසිද්ධ ස්ථානයකදී ඡායාරූපයකට හසුනොවී සිටීමට මහජනයාට නීතිමය අයිතියක් නැහැ.
නමුත්… මේ කරුණු ගැනත් පොඩ්ඩක් හිතන්න!
කොහොම වුණත්, ප්‍රසිද්ධ ස්ථානයකදී පින්තූර ගත්තත් නීතිමය වශයෙන් අපිට ප්‍රශ්නයක් විය හැකි අවස්ථා කිහිපයක්ම තියෙනවා.
Commercial Use: ඔයා ගන්නා photo එකක් යම් ව්‍යාපාරික හෝ වෙළඳ ප්‍රචාරණ කටයුත්තකට යොදාගන්නවා නම්, අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ අවසරය ලබාගත යුතුයි.
පෞද්ගලිකත්වයට හානි වීම: යම් කෙනෙකුගේ පෞද්ගලික ස්ථානයකට බලපාන අයුරින් හෝ වෙනත් කෙනෙකුට කරදරයක්/පීඩාවක් වන ලෙස photos ගැනීම නීති විරෝධී වෙන්න පුළුවන්.
අපහාසාත්මක වීම: commercial and creative arts lawyer, Sharon Givoni පෙන්වා දෙන්නේ, යම් කෙනෙකුව අපහසුතාවයට පත්වන, සිත් රිදෙන හෝ අපහාසාත්මක වන අයුරින් ඡායාරූපගත කළහොත්, ඒ අයට ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා හැකියාව තියෙන බවයි.
අපේ ගෙදරින් එළියට බැස්සට පස්සේ අපි යන එන හැම තැනකටම ඒ ස්ථානයට අදාළ නීති පද්ධතියක් තියෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට, ඔයා යන Gym එකේ, Swimming Pool එකේ හෝ වෙනත් ඕනෑම පෞද්ගලික/පොදු ස්ථානයක photos ගැනීම සම්බන්ධයෙන් වෙනස්ම රීති තිබෙන්නට පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි, එවැනි ස්ථානයකදී පින්තූරයක් ගන්න කලින් එතැන තියෙන නීති රීති ගැන පොඩ්ඩක් සොයා බලන එක.
ලස්සන photo එකක් ගන්න ගමන්ම, අනිත් අයගේ ගෞරවය සහ නීතිය ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ Photo shoot එක කරගෙන යන්න පුළුවන්!
අපි නිතර දකින ලස්සන landscape (paddock / field) වල photo ගන්නකොට අදාළ වෙන නීති, ඕස්ට්‍රේලියාවේ photos ගන්න තහනම් ස්ථාන, drone පාවිච්චි කිරීමට අදාළ නීති වගේ ගොඩක් දේවල් අපි ඉදිරි articles වලින් කතා කරමු.