Expired කෑම විසි කරනවද? නොදැනුවත්කම නිසා $2,500ක් අපතේ

ජීවන වියදම ඉහළ යන මේ කාලේ, ගෙවල්වල කෑම ටික ටික කල් තියාගන්න හැමෝම වගේ බලනවා. ඒත්, නොදැනුවත්කම නිසාම අපි තවමත් කන්න පුළුවන් හොඳ ආහාර විසි කරලා දාලා නාස්ති කරනවා කිව්වොත් ඔබ පිළිගන්නවද?

මෑතකදී කරපු සමීක්ෂණයකින් හෙළි වී තියෙන විදිහට, වියදම් අඩු කරගන්න ඕස්ට්‍රේලියානුවන්ගෙන් 14%ක්ම කල් ඉකුත් වුණ ආහාර කෑමට ගන්නවලු. ඒ වගේම 68%ක්ම කියන්නේ ආහාර මිලදී ගන්න ක්‍රම වෙනස් කරලා තියෙනවා කියලා. ඒත් එක්කම, Use-by “පාවිච්චි කළ යුත්තේ කවදාට පෙරද” සහ Best-before “මෙයට පෙර පරිභෝජනය කිරීම වඩාත් සුදුසුය” කියන ලේබල් දෙකේ තේරුම පටලවා ගැනීම නිසා පාරිභෝගිකයන්ට ලොකු මුදලක් නාස්ති වී යනවා.

ඕස්ට්‍රේලියානු පවුල් අවුරුද්දකට $2,500ක් තරම් වටිනා ආහාර නාස්ති කරනවා කියලා 2021 වසරේ කළ අධ්‍යයනයකින් පෙන්වා දීලා තියෙනවා. මෙරට වාර්ෂික ආහාර නාස්තිය ටොන් මිලියන 7.6ක්, ඒ කියන්නේ එක් පුද්ගලයෙක්ට 300kgක් විතර වෙනවා.

 

ඇත්තටම ආහාරයක් නරක් වෙන්නේ කොහොමද?

Use-by (මෙම දිනයට පෙර පාවිච්චි කරන්න): මේ ලේබලය තියෙන ආහාර ආරක්ෂිතව කන්න පුළුවන් වෙන්නේ එම දිනය දක්වා පමණයි. නැවුම් මස් වගේ ඉක්මනින් නරක් වන දේවල්වලට මේක දානවා.

Best-before (මෙයට පෙර පරිභෝජනය කිරීම වඩාත් සුදුසුය): මේකෙන් කියැවෙන්නේ අදාළ දිනය පහු වුණත් කෑම එක කන්න පුළුවන් කියන එකයි. හැබැයි එහි මුල් රසය හෝ නැවුම් බව අඩුවෙලා තියෙන්න පුළුවන්. ධාන්‍ය වර්ග, පාස්තා වැනි දේවල්වල මේ label එක තියෙනවා.

ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුව, Best-before දිනය පහු වුණත් ඒ ආහාර විකුණන්න සහ කන්න පුළුවන්. ඒත් ගොඩක් අය මේ ලේබල් දෙකම එකම විදිහට හිතලා, කන්න පුළුවන් හොඳ ආහාරත් ඉවත දානවා.

 

“සුවඳ බලලා, බලලා, රස බලලා” තීරණය කරමුද?

ආහාර නාස්තිය අඩු කරන්න ක්‍රියා කරන ‘OzHarvest’ ආයතනය කියන්නේ කල් ඉකුත් වුණාම කෑම බීම විසි කරලා දාන්න කලින් අපේ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා බලන්න කියලා.

“සුවඳ බලන්න, පෙනුම බලන්න, පොඩ්ඩක් රස බලලා ඒක හොඳයිද කියලා තීරණය කරන්න” යනුවෙන් ඔවුන් පවසනවා.

පාරිභෝගික දැනුවත්භාවය වැඩි කරන්න, බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළඳසැල් කිහිපයක් දැන් කිරි බෝතල්වල තිබුණු Use-by ලේබලය වෙනුවට Best-before ලේබලය දාලා තියෙනවා. ඒ හරහා පාරිභෝගිකයන්ට කිරි බෝතලේ හොඳද නැද්ද කියලා සුවඳ බලා තීරණය කරන්න පුළුවන්.

 

ඒත් පරිස්සමින්!

ආහාර සුරක්ෂිතතා විශේෂඥයන් අනතුරු අඟවන්නේ හැම කෑමකටම මේ ‘සුවඳ බැලීමේ ක්‍රමය’ හෙවත් sniff test එක පාවිච්චි කරන්න බැහැ කියලයි. සමහර නරක් වුණු කෑම සුවඳින් සාමාන්‍ය විදිහට තිබුණත්, ඒවායේ අහිතකර බැක්ටීරියා තියෙන්න පුළුවන්.

නැවුම් මස්, rockmelon වගේ දේවල්: මේවා පෙනුමෙන් සහ සුවඳින් හොඳට තිබුණත් අනතුරුදායක විෂබීජ තියෙන්න පුළුවන් නිසා පරිස්සම් වෙන්න ඕනේ. මස් වර්ගවල Use-by දිනය දැකපු ගමන් හරියටම ඒ විදිහටම පිළිපදින්න.

කල් තබාගත හැකි ද්‍රව්‍ය: නූඩ්ල්ස්, ටින්කෑම වගේ දේවල් Best-before දිනය පහු වුණත් සුවඳ බලලා තේරුම් අරන් පාවිච්චි කරන්න පුළුවන්.

 

මුදල් ඉතිරි කරගන්න, ආහාර නාස්තිය නවත්වන්න

කල් ඉකුත් වීමේ දිනයන් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තිබීමෙන් අපිට ගෙදර වියදම සෑහෙන ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. Nestlé වැනි සමහර ආයතන දැන් මැගී ක්ෂණික නූඩ්ල්ස් පැකට්වල “දිනය පහු වුණත්, ආහාර අපතේ නොයවා සුවඳ බලා, රස බලා පාවිච්චි කරන්න” කියන අදහස මුද්‍රණය කරන්න පටන් අරන් තියෙනවා.

නිසි පරිදි ගබඩා කිරීමෙන් (සිසිල්, අඳුරු තැන්වල තැබීමෙන්) සහ ඇසුරුම් නිවැරදිව පවත්වා ගැනීමෙන් කෑමවල කල්පැවැත්ම තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙනම්, ඊළඟ වතාවේ කෑම පැකට්ටුවක් දකිද්දී, විසි කරලා දාන්න කලින් ටිකක් කල්පනා කරලා බලමු නේද?

Don't forget to share this post!

Recent Posts