ඉන්දියානු ටෙස්ට් තරඟ සංචාරයේදී සුපිරි පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු සොනාල් දිනූෂ අගය කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උප සභාපති Rajeev Shukla විසින් විශේෂ සටහනක් තබා තිබෙනවා.
සොනාල්ගේ පිතිහරඹය ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් ටෙන්ඩුල්කාර්ගේ ක්‍රීඩා විලාශයට සමාන කරමින් ඔහු පවසා සිටියේ, සොනාල් ඉදිරියේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන බවට සැකයක් නොමැති බවයි.
ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව සොනාල් තැබූ වාර්තා
වයස අවුරුදු 25 ක් වන මෙම වමත් පිතිකරු තරඟ 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය පුරාම ඉන්දීය දඟ පන්දු යවන්නන්ව සම්පූර්ණයෙන්ම අසරණ කිරීමට සමත් වුණා..
පළමු ටෙස්ට් තරඟය: පළමු ඉනිමේදී ලකුණු 100 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 84 ක්.
දෙවන ටෙස්ට් තරඟය: පළමු ඉනිමේදී ලකුණු 101 ක් සහ දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 133 ක්.
දිගටම 50+ සීමාවට: තරඟාවලියේ ඉනිම 4 දීම අඛණ්ඩව ලකුණු 50 සීමාව පසුකිරීමට ඔහු සමත් වුණා.
ලකුණු 420 ක්: තරඟාවලිය පුරා ලකුණු 140 ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් මුළු ලකුණු 420 ක් රැස්කර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේද ඔහුයි.
සොනාල් අලුත් කළ සහ සම කළ ඓතිහාසික වාර්තා
- වසර 67 ක් පැරණි ලෝක වාර්තාව අලුත් කිරීම
ඉන්දියාවට එරෙහිව තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිම 4 දීම ලකුණු 50 සීමාව ඉක්මවා ගිය ලොව 5 වන පිතිකරු බවට සොනාල් පත් වුණා.
අවසන් වරට මෙම දක්ෂතාව දක්වා තිබුණේ 1959 දී එංගලන්තයේ Ken Barrington විසින්.
ගතවූ වසර 67 තුළ කිසිදු පිතිකරුවෙකුට මෙය කිරීමට හැකිවූයේ නැහැ.
- Andy Flowerගේ වසර 26 ක් පැරණි වාර්තාව සම කිරීම
ඉන්දියාවට එරෙහි තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියක ඉනිම 4 දීම ලකුණු 50 ඉක්මවා රැස් කළ දෙවන පිතිකරු බවට ඔහු පත් විය.
මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ 2000 වසරේදී සිම්බාබ්වේ හිටපු නායක Andy Flower විසින්.
විශේෂත්වය වන්නේ සොනාල් උපත ලබා ඇත්තේද 2000 වසරේ දෙසැම්බර් මාසයේ වීමයි. එමෙන්ම ඉනිම 4 න් ඉනිම 3 කදීම ශතක ලබාගැනීමටත් සොනාල් සමත් වුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වන පිතිකරු වීම
ඕනෑම රටකට එරෙහිව තමන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග දෙකේදීම (ඉනිම 4 දීම) ලකුණු 50 සීමාව පසුකළ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරු බවට සොනාල් දිනූෂ පත් වුණා. මීට පෙර කුමාර් සංගක්කාර සහ දිමුත් කරුණාරත්න පමණක් මෙම දක්ෂතාව දක්වා තිබුණා.
Image credit: www.cricinfo.com