දුර්ලභ අඟහරු පාෂාණයක් ඉතා ඉහළ මිලකට වෙන්දේසි කිරීමක් පසුගිය දා සිදු වුණා. බැලූ බැල්මට සාමාන්‍ය ගල් කැබැල්ලක් මෙන් පෙනුනත්, මෙම විශේෂිත පාෂාණය ඩොලර් මිලියන 4.3 ක ලංසුවකට පසුව වෙන්දේසියේදී අලෙවි වුණා. අමතර බදු සහ ගාස්තු නිසා පාෂාණයේ මුළු මිල ඩොලර් මිලියන 5.3 ක් පමණ ඉහළ ගිය බවයි Sotheby’s පවසන්නේ.
කෙනෙක් මේ වගේ ගල් කැබැල්ලක් වෙනුවෙන් මිලියන ගණනක් ආයෝජනය කරන්නේ ඇයි කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මෙම කොස්මික් නිධානය පෙනෙන ආකාරයට වඩා බොහෝ සුවිශේෂී දෙයක්. මොකද මෙම පාෂාණය තමයි පෘථිවියේ මෙතෙක් හමු වූ, රතු ග්‍රහලෝකයේ විශාලතම කැබැල්ල.
නිව්යෝර්ක්හි Sotheby’s, එහි ස්වාභාවික ඉතිහාසය තේමා කරගත් විකිණීමක් ලෙස ජූලි 16 වන දින (අද දින) මෙම කිලෝග්‍රෑම් 25 ක අඟහරු උල්කාපාතය වෙන්දේසි කෙරුණා. වෙන්දේසියට පෙර සඳහන් කර තිබුනේ ඇස්තමේන්තුගත මිල ඇමරිකානු ඩොලර් මිලියන 2 සිට ඇමරිකානු ඩොලර් මිලියන 4 දක්වා පරාසයක (AU$6 million – AU$9 million) පවතින බවයි. මෙම සිදුවීම Sotheby’s “Geek Week” 2025 මාලාවේ කැපී පෙනෙන සිදුවීමක් වන අතර, පොසිල, උල්කාපාත සහ gem-quality ඛනිජ ඇතුළු ආකර්ෂණීය අයිතම 122 ක් ප්‍රදර්ශනය කෙරෙනවා.
නිල වශයෙන් Northwest Africa 16788 (NWA 16788) ලෙස හැඳින්වෙන මෙය දැවැන්ත ග්‍රහක බලපෑමකින් අඟහරු ග්‍රහයාගෙන් පිටතට විසි වී ඇති බව විශ්වාස කෙරෙනවා. Sotheby’s කියන විදිහට, මෙය විශ්වය හරහා කිලෝමීටර මිලියන 225 ක් පමණ ගමන් කර, පෘථිවියට ගොඩ බැහැලා තිබෙනවා. අවසානයේ දී මෙය සොයා ගත්තේ සහරා කාන්තාරයෙන් 2023 දී.
Sotheby’s තවදුරටත් පවසන්නේ එය මීට පෙර හඳුනාගෙන තිබූ අඟහරු නිදර්ශකයට වඩා 70% ක් පමණ විශාල වන අතර පෘථිවියේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම අඟහරු ද්‍රව්‍යවලින් 7% ක් පමණ නියෝජනය කරන බවයි.
“මෙය දැනට පෘථිවියේ ඇති අඟහරු ග්‍රහයාගේ විශාලතම කැබැල්ලයි. එතැන් සිට මෙතැනට මෙය පැමිණීමේ සම්භාවිතාව තාරකා විද්‍යාත්මකව කුඩායි” Sotheby’s හි විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ උප සභාපති Cassandra Hatton අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝවකින් පැවසුවාය. “පෘථිවි පෘෂ්ඨයෙන් ආසන්න වශයෙන් 70% ක් ජලයෙන් වැසී ඇති බව මතක තබා ගන්න. එබැවින් මෙය සාගරයේ මැදට නොව වියළි බිමකට පතිත වීම අපට ඇදහිය නොහැකි තරම් වාසනාවක්.”
උල්කාපාතය 37.5cm x 27.9cm x 15.2cm ක් පමණ වන අතර බර 24.67kg කි. පෘථිවි වායුගෝලය හරහා වැටෙන විට ඇති වූ අධික තාපයෙන් එහි වීදුරු වැනි පිටත තට්ටුව හැදිලා තිබෙනවා. එහි කුඩා සාම්පලයක් විශ්ලේෂණය සඳහා විශේෂිත රසායනාගාරයකට යවන ලද අතර එමඟින් එහි අඟහරු සම්භවය තහවුරු වුණා. විද්‍යාඥයින් එහි අද්විතීය රසායනික සංයුතිය 1976 දී අඟහරු මතට ගිය නාසා හි Viking landers විසින් විශ්ලේෂණය කරන ලද පාෂාණ සමඟ ගැලපීමක් කළා.
Sotheby’s ආයතනය මෙම උල්කාපාතය අඟහරු මැග්මා මන්දගාමීව සිසිල් වීමෙන් සෑදෙන ගිනිකඳු පාෂාණ වර්ගයක් ලෙස වර්ගීකරණය කරනවා. මෙම නිදර්ශකයේ රළු වයනයක් ඇති අතර පොදු පාෂාණ සාදන ඛනිජ වන pyroxene සහ olivine අඩංගු වෙනවා. පෘථිවියේ ඇති නිල වශයෙන් හඳුනාගත් උල්කාපාත 77,000 කට අධික සංඛ්‍යාවක් අතර හඳුනාගත් අඟහරු උල්කාපාත ඇත්තේ 400 පමණයි. මෙම උල්කාපාතය පෘථිවියට පැමිණි දිනය තවමත් අවිනිශ්චිතයි. නමුත් පරීක්ෂණවලින් පෙනී යන්නේ එය මෑත වසරවලදී වැටී ඇති බවයි.
මෙම උල්කාපාතය මීට පෙර රෝමයේ talian Space Agency හි ප්‍රදර්ශනය කර ඇති බවට Sotheby’s නිකුත් කරපු පසුබිම් තොරතුරු වල දැක්වෙනවා. කෙසේ වෙතත්, වෙන්දේසි ආයතනය එහි වත්මන් හිමිකරු හෙළි කරලා නැහැ. මෙම විකිණීම පිළිබඳ තොරතුරු පුද්ගලිකව තබා ගන්නා බැවින් උල්කාපාත කැබැල්ලට මීළඟට සිදු වීමට යන්නේ කුමද කියල තවමත් පැහැදිලි නැහැ.
අයිතම 100 කට වඩා ඇතුළත් වූ බදාදා පැවති වෙන්දේසියේදී, ජුරාසික් යුගයේ අග භාගයේ Ceratosaurus ඇටසැකිල්ලක් ඩොලර් මිලියන 26 කට අලෙවි වූ අතර Pachycephalosaurus ගේ හිස් කබල ඩොලර් මිලියන 1.4 කට අලෙවි වුණා.
Image credit goes to by : https://www.msn.com/