බොහෝ අවස්ථාවන්හිදී, රිය පැදවීමට කැමති නමුත් ස්ථිර වීසා බලපත්‍රයක් නොමැති, ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය අමුත්තන් ‘visiting drivers’ ලෙස සලකනු ලබන අතර, ඔවුන්ට සිය රටේ වලංගු රියදුරු බලපත්‍රය රිය පැදවීම සඳහා භාවිත කරන්න පුළුවන්. Northern Territory (මාස 3) සහ New South Wales සහ Victoria (මාස 6) හැර, අනෙකුත් ඕස්ට්‍රේලියානු states සහ territories, visiting drivers ලාට ඔවුන්ගේ විදේශ රියදුරු බලපත්‍රය පවතින තාක් කල් දින නියමයක් නොමැතිව රිය පැදවීමට ඉඩ ලබා දෙනවා.
ඕස්ට්‍රේලියාවෙන් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ පුද්ගලයෙකු ස්ථිර පදිංචිකරුවෙකු හෝ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ විට පමණයි. Northern Territory, New South Wales හෝ Victoria හි රැඳී සිටින විදේශීය බලපත්‍ර හිමියන්ට, අදාළ බලපත්‍ර අධිකාරිය අමතා රිය පැදවීම සඳහා වන දේශීය අවශ්‍යතා දැනගන්න පුළුවන්.
මේ අනුව visiting drivers ලට මෙරට තුළද පැදවිය හැක්කේ තම විදේශ රියදුරු බලපත්‍රය මඟින් රිය පැදවීමට අවසර දී ඇති වාහන පමණයි. ඒ වගේම රිය පැදවීමේදී ඔවුන් තම විදේශ රියදුරු බලපත්‍රයේ ඇති ඕනෑම කොන්දේසියකට අනුව රිය පැදවීමත් අනිවාර්ය වෙනවා.
ඕස්ට්‍රේලියාවේ රිය පැදවීමේදී, visiting driver කෙනෙකු සෑම විටම තම විදේශ රියදුරු බලපත්‍රය රැගෙන යා යුතුයි. මෙලෙස රැගෙන යාමේදී එය, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හෝ විදේශ බලපත්‍රය ඉංග්‍රීසියෙන් නොමැති අවස්ථාවක නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ද රැගෙන යා යුතු වෙනවා.
ඔබගේ විදේශ රියදුරු බලපත්‍රය වලංගු නොවේ නම්, ඔබ ඕස්ට්‍රේලියානු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබිය හැකියි. ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේ අවසර ගැන වැඩි විස්තර දැනගන්න එක් එක් state එකේ හෝ territory එකේ මාර්ග අධිකාරිය සම්බන්ධ කරගන්න.
ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ආකාරය වෙනත් article එකකින් සම්පූර්ණයෙන්ම කතා කරමු.