මෛත්‍රී බෝසතුන් පැවිදි වූ වප් පොහොයේ වැදගත්කම

  • Home
  • /
  • Blog
  • /
  • මෛත්‍රී බෝසතුන් පැවිදි වූ වප් පොහොයේ වැදගත්කම

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වුණු වප් පුන් පොහොය අදයි. ශ්‍රී ලංකාව තුළ වගේම ලොව පුරා සිටින බොදු ජනතාව දාන, සීල, භාවනා ආදී කරුණු මුල් කරගෙන මෙම පොහොය ඉමහත් බැති සිතින් සමරනු ලබනවා. ශාසන ඉතිහාසය තුළ වප් පොහොය වැදගත් වීමට හේතු;

වස් පවාරණය

වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් මාස තුන තුල වස් විසූ භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහොය දිනයේදීයි. මෙලෙස වස් පවාරණයත් සමග එළඹෙන චීවර මාසය තුළ උපාසක උපාසිකාවන් කඨින චීවර පූජාවන් පවත්වනවා.

සංකස්සපුර දේවාවරෝහණය

බුදු රජාණන් වහන්සේ ඇසළ පුන් පොහොය දිනයකදී, සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය දමනය කරනු පිණිස යමා මහා පෙළහර දක්වා 7 වන වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළා. තව්තිසාවේ වස් වසා මාතෘ දිව්‍ය රාජයා පිරිස දෙව් පිරිසට අභිධර්මය දේශනා කළා. 

ඉන් පසු එළඹී වප් පුර පොහොය දිනයේදී පුරා තුන් මසක් දෙව් ලොව වැඩ සිටි බුදු රජාණන් වහන්සේ වස් පවාරණය කොට දෙව් බඹුන්ගේ මහත් හරසර මැදින් තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට මහා පෙළහර පාමින් වැඩම කළේද වප් පුන් පොහොය දිනයකයි.

සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම

එසේ සංකස්ස පුරයට වැඩි බුදු රදුන් පෑ පෙළහර දුටු සැරියුත් මහා රහතන් මහන්සේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව බුද්ධශ්‍රීය වර්ණනා කළා. ඒ මොහොතේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස්ව සිටි දෙව් මිනිස් සමූහයාට ධර්මය දේශනා කළා. ඒ අසා බොහෝ දෙනා මාර්ගඵල ලැබුවා.

මෙහිදී පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව බුදු රජාණන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න සාරිපුත්තයන් වහන්සේ විසින් සාර්ථකව විසඳුවා. මේ අවස්ථාවේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයා ලෙස සැරියුත් මාහිමියන් පිදුම් ලැබුවා.

මෛත්‍රී බෝසතුන් ගෞතම සසුනේ පැවිදි වීම

මෙම දේවාවරෝහණ පෙළහර දැකීමෙන් හා තථාගතයන් වහන්සේ හා සැරියුත් මාහිමියන් අතර ඇති වූ සංවාදය අසා එතැන සිටි බොහෝ දෙනා සම්බුද්ධ සාසනයේ පැවිදි බව ලැබුවා. එසේ සසුන්ගත වූ බොහෝ දෙනා අතර මෛත්‍රී බෝධිසත්වයන් ද වනවා. සාසනික ග්‍රන්ථ තුළ දැක්වෙන ආකාරයට මෛත්‍රී බෝධිසත්වයන් අවුරුදු 80,000ක් ආයු වළඳන, සිය බුදු සසුනද වරක් දන් දී, පාරමිතා 19ක් පුරන අති පින්වත් බුදු රජාණන් වහන්සේ නමක්. 

විනය සංගායනාව

වරක් මිහිඳු මා හිමියන්ගෙන්, ලංකාව තුළ සම්බුද්ධ ශාසනය පිහිටියේද යනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා විමසුවා. ඒ අවස්තාවේදී උන් වහන්සේ දේශනා කළේ, ඒ සඳහා මෙරට මව් පියන්ට දාව උපන් දරුවෙක් මෙහිදීම පැවදිව විනය පිථකය ඉගෙනගෙන විනය සංගායනා කළ විට ලංකාද්වීපය තුළ සම්බුද්ධ සාසනය මුල් බැස ගන්න බවයි. 

ඒ අනුව සියලු සුදුසුකම් සපුරා සිටි මෙරට ප්‍රථම මහා රහතන් වහන්සේ වන අරිට්ඨ මාහිමියන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලා වප් පුන් පොහොය දිනයක විනය පිථකය සංගායනා කළා. ඒ මොහොතේ ලක් දිව සම්බුදු සසුන මුල්බැස ගත් අතර මහා පොලොව කම්පිත වුණු බව සඳහන් වෙනවා.

ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දකුණු ශාඛාව රන් කටාරමෙහි තැන්පත් වීම 

මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස මහරජතුමා විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට ගෙන්වීමට ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීම් කළා. 

ඒ අනුව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙස් අනුව පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගෙන් ශාඛාවක් වෙන් කරවා ගැනීමට ධර්මාශෝක රජතුම රන් තෙලිතුඩකින් මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දා. එම අවස්තාවේදී දක්‍ෂිණ ශාඛාව තෙමේම වෙන් වී සකසා තිබූ රන් කටාරමේ තැන්පත් වූ බව සඳහන් වෙනවා. මේ අසිරිමත් සිදුවීම සිදු වී ඇත්තේද වප් පුන් පොහොය දිනකයි.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025