අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ ‘නොබෙල්ත්‍යාග’

  • Home
  • /
  • Blog
  • /
  • අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ ‘නොබෙල්ත්‍යාග’

සෑම වර්ෂයකම  ඔක්තෝබර්  මාසයේදී පැවැත්වෙන, ලෝකයේ ඉතාමත් උත්කර්ෂවත් උත්සවයකදීතෝරාගත් විෂයය ක්ෂේත්‍ර කිහිපයක සියුම් පර්යේෂණ අනුසාරයෙන් මානව සංහතියේ අභිවෘද්ධිය  වෙනුවෙන්  ඉස්තරම් මෙහෙවරක් කරනලද ස්වල්ප දෙනෙකු ලෝකයේ ඉහලම සම්මාන වලින් පිදුම් ලබති. මොවුන් නොබෙල් සම්මාන ලාභීන් (Nobel Laureates) ලෙස හඳුන්වනු ලැබේ. 2022 වර්ෂයේදීද ක්ෂේත්‍ර හයක සම්මානලාභීන් නව දෙනෙකුට මෙම අනභිභවනීය ත්‍යාග හිමිවී තිබේ.

නොබෙල් ත්‍යාග හා සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ වලට යොමුවන අය තුළ තිබිය යුතු  අප්‍රතිහත ධෛර්යය, නොපසුබට උත්සාහය සහ සාමුහික වගකීම  මෙන්ම ඒ හා බැඳී  ඇති මානව දයාව පිලිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක්ද  මෙම ත්‍යාග ගැන විමසීමේදී හෙළිදරව් වේ. වර්තමාන සමාජයටද එම තොරතුරු බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම අගනා ත්‍යාග සඳහා ප්‍රාග් ධනය යොදවන ලද්දේ ඇල්ෆ්‍රඩ් නොබෙල් නමැති ධන කුවේරයෙකු විසින්ය. විශේෂයෙන්ම ලෝක සාමය සඳහාද එක් නොබෙල් ත්‍යාගයක් වෙන් කර තිබේ. එහෙත්, එම ධන කුවේරයා මුදල් උපයා ගත්, දැනුදු  අසම්මත යයි පිළිගැනෙන ක්‍රමවේදයක්  නිසාත්, ආරම්භයේදී සිටම, මෙම සම්මාන ත්‍යාග ව්‍යාපෘතිය මහත් කුතුහලයකට සහ විවේචනයටද  ලක්වී තිබේ.

දැනට ශත වර්ෂ හත අටකට පෙර සිට, මිනිසාගේ විවිධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා ලද පුපුරන ද්‍රව්‍යයක් ලෙස  ‘වෙඩි බෙහෙත් භාවිත කිරීම සාමාන්‍ය දෙයක් විය. “Gunpowder,” ලෙස හඳුන්වන ලද මෙම ද්‍රව්‍යය රසායනික මිශ්‍රණයකි. මෙහි පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් කුඩු සහ අඟුරු කුඩු අඩංගු වේ. මේ මිශ්‍රණය තුවක්කු පතරොමක් හෝ ගල් බෝරයක් වැනි සීමිත ඉඩකඩක් තුළ දහණය වීමට සැලැස්වූවිට  පුපුරා, ඉතා බලවත් ඉදිරි තෙරපුමක් ඇති කෙරේ. සතුන්  දඩයම් කිරීම වැනි සමහර අවශ්‍යතා වලදී භාවිත කරනු ලබන, තුවක්කු පතරොම්වල පුපුරන ද්‍රව්‍යය වන්නේද  වෙඩි බෙහෙත්ය. පෙර සිටම යුද සහ ආරක්ෂක කටයුතු වලදීත් වෙඩි බෙහෙත් භාවිත කර ඇත. යුද කටයුතු වලදී වෙඩි බෙහෙත් භාවිතය නිසාම මිනිසුන් දහස් ගණනින් මිය යන්නටද ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පියාවන ස්වීඩන් ජාතික, ඉම්මානුවෙල් නොබෙල්, ඉංජිනේරුවෙකු, නව නිපැයුම් කරුවෙකු මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙකුද ලෙස ප්‍රසිද්ධියට පත් විය. 19 වන ශත වර්ෂය මැදදී රුසියාවට සංක්‍රමණය වූ ඉම්මානුවෙල්, එවකට එරට සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින්  සමග සම්බන්ධවී රුසියාවේ    වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේය.  1853 වර්ෂයේ සිට රුසියාව මැදිහත්වූ ක්‍රිමියානු යුද්ධයෙදී රුසියානු යුද හමුදාවට  වෙඩි බෙහෙත් ඇතුළු වෙනත් පුපුරණ  ද්‍රව්‍ය සැපයීම මගින් ඉම්මානුවෙල් විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේය. එහෙත් 1856 දී පමණ යුද්ධය අවසන් වීමත් සමගම ඔහුගේ ව්‍යාපාරය අකර්මන්‍ය තත්ත්වයට පත් විය. මේ වන විට තරුණයෙකුව සිටි ඔහුගේ පුත් ඇල්ෆ්‍රඩ්, රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ  උසස් අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව ඉගෙන ගනිමින් සිටියේය. පියාගේ ව්‍යාපාරය ඇනහිටීම ගැන කම්පාවූ ඇල්ෆ්‍රඩ් ආපසු ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ගොස් වෙඩි බෙහෙත් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට පටන්ගත්තේය. 

කාර්මික විප්ලවය ආරම්භ වූයේද මේ කාලයේය. එයට සමගාමීව විවිධ නව නිපැයුම් එළි  දකින්නට විය.  කාර්මික විප්ලවයේදී හඳුනාගත් භූගත ගල් අඟුරු, අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට පත් විය. එහෙත් භූගත නිධි වලින් ගල් අඟුරු  ලබාගැනීම පිණිස ආකර හෝ පතල් සකස් කර ඒවා අභ්‍යන්තරයේ ඇති  ගල්  අඟුරු නිධි කඩා  ගැනීම අවශ්‍ය විය. ගල් අඟුරු නිධි පුපුරවා කැබලි වලට කඩා ගැනීම සඳහා වෙඩි බෙහෙත් භාවිත කිරීමට උත්සාහයක් ගත්  නමුත්, භූගත පතල් වල සීමිත ඉඩකඩෙහි වෙඩි බෙහෙත් භාවිතය මහත් අන්තරායකාරී ක්‍රියාවක් විය. 

මේ වනවිට නයිට්‍රෝ ග්ලිසරීන් (Nitro glycerine) නමැති තවත් පුපුරන ද්‍රව්‍යයක් වෙනත් පර්යේෂකයෙකු විසින් සොයාගෙන තිබුණි. එහෙත් එහි අධිකතර පිපිරුම් ගාමක බලය සහ   ගබඩා කර තැබීම අනතුරු දායක නිසාත්, ගල් අඟුරු ආකර වල භාවිත කළ නොහැකි විය. තම රසායන විද්‍යා පර්යේෂණවල නියැලී සිටි ඇල්ෆ්‍රඩ්,  ‘නයිට්‍රෝ ග්ලිසරීන්වෙනත් අක්‍රීය  ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කර අන්තරායකාරී බවෙන් අඩු මිශ්‍රණයක් නිපදවීම අභිමතාර්ථය කර ගනිමින්, විවිධ පර්යේෂණ කළේය. 

1864 වර්ෂයේදී ඇල්ෆ්‍රඩ්  තවත්  කිහිප දෙනෙකු සමග තම විද්‍යාගාරයේනයිට්‍රෝ ග්ලිසරීන්භාවිත කර පර්යේෂණ කරමින් සිටියදී සිදුවූ, මහා පිපුරුමකින් කිහිප දෙනෙක්ම මරණයට පත්විය. මේ අතර ඔහුගේ සහෝදරයෙකු වන එමිල් ද විය. 

මෙයින්ද පසුබට නොවූ, ඇල්ෆ්‍රඩ් තම පර්යේෂණ තවදුරටත් කරගෙන ගොස් 1867 දී,  ඒක සෛලීය ඩයටම් ජීවී සෛල බිත්ති අවශේෂ බහුල, ඩයැටෝමේශියස් අර්ත්(diatomaceous earth) නමින් හැඳින්වූ සියුම් අවසාදිත මුහුදු වැලි, පාදක කර ගනිමින් නයිට්‍රෝ ග්ලිසරීන් අන්තර්ගත කළහැකි  මිශ්‍රණයක් නිපදවා ගත්තේය. මෙය  ඉතාමත් සාර්ථක ආරක්ෂාකාරී පුපුරන ද්‍රව්‍යයක් විය. ඔහු මෙම නව රසායන මිශ්‍රණය ඩයිනමයිට් (Dynamite) ලෙස නම් කරන ලදී.  ග්‍රීක් භාෂාවෙන් dynamis ලෙස හැඳින්වෙනුයේ බලය (power) යන අර්ථයයි.   ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වූ මෙම ආරක්ෂාකාරී පුපුරණ ද්‍රව්‍යය, ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා බහුලව යොදා ගන්නා ලදී.  එසේ වුවද, මේ වන විට පුපුරන ද්‍රව්‍ය නිසා මිනිස් ජීවිත පවා විනාශවීම සම්බන්ධව බොභෝ මතභේද  ඉස්මතු වන්නට විය. විශේෂයෙන්ම සමහර පුවත්පත්මෙම නිෂ්පාදන විවේචනයට භාජන කළේය. එහෙත් ඊට වසර කිහිපයකට ඉහතදී සොයා ගන්නා ලද, ඉන්ධනයක් ලෙස භාවිත කළ හැකි, භූගත ෆොසිල ගල් අඟුරු, නිධි වලින් කඩා වෙන්කර ගැනීම පිණිස තම නව නිපැයුම භාවිත කිරීම මිනිස් සංහතියටම සෙතක් අත්පත් කර දෙන බවඇල්ෆ්‍රඩ් නොබෙල්  තදින්ම විශ්වාස කළේය. තම නව නිපැයුම නිසා ඇල්ෆ්‍රඩ් නොබෙල් ටික  කාලයකදීම අති විශාල ධනස්කන්ධයක හිමිකරුවෙකු බවට පත්විය. 

මේ අතරතුර ඇල්ෆ්‍රඩ් ගේ තවත්  සහෝදරයෙකු හදිසියේම මිය ගියේය. මෙම ආරංචිය වැරදි ආකාරයකට තේරුම් ගත්  ප්‍රංශ පුවත් පතක්, එසේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් යැයි වරදවා අදහස් කර   (Le marchand de la mort est mort)  මිනිස් ඝාතන වලට මග පෑදූ වෙළෙන්දා මියයයි යන සිරස් තලය යටතේ ලිපියක් පළකර තිබුණි.  ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙම සිද්ධිය නිසා මහත් කනස්සල්ලකට පත්විය. විවාහ නොවී තනිකඩයෙකු ලෙස ජීවත් වූ  ඇල්ෆ්‍රඩ්, තමාට මහත් අවමානයක් කළ පුවත් පත පිලිබඳව ඇතිවූ කනස්සල්ල මග හරවා ගැනීම සඳහා හොඳම මාර්ගයක් ගැන කල්පනා කළේය.   නයිට්‍රෝ ග්ලිසරීන්භාවිත කර, ඔහු විසින් නිපදවූ   ආරක්‍ෂිත පුපුරණ සංයෝගය, ඩයිනමයිට්  යන වෙළඳ නාමයෙන් අලෙවි කරඔහුට මෙතෙක් ලැබී ඇති මහා ධනස්කන්ධයත්, ඉදිරියෙදී  ලැබියයුතු ධනයත් මානව සංහතියේම අභිවෘද්ධිය සඳහාත් විශේෂයෙන්ම ලෝක සාමය සඳහාත් යෙදවීම තමාගේ යුතුකම බව ඔහු තේරුම් ගත්තේය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම නෛතික ලියකියවිලි වහාම සකස් කිරීම සඳහා තම නීතිඥයින්ට පවරන ලදී. තම අන්තිම  කැමති පත්‍රය මේ ආකාරයට සකස් කළ  ඇල්ෆ්‍රඩ් නොබෙල්, වසර 63 ක් ආයු වළඳා 1896 දී මිය ගියේය.

 ඇල්ෆ්‍රඩ් නොබෙල්  ඔහුගේ බූදලයට අදාළ උරුමය නොබෙල් ත්‍යාග සඳහා  වෙන්කර එම  අරමුදල පරිපාලනය සඳහා කීර්තිමත් සංවිධාන කිහිපයක්ද, තම අන්තිම කැමති පත්‍රය මගින්ම නම්  කරන ලදී.  මෙම ත්‍යාග ඔහුගේ නමින්ම හැඳින්විය යුතු බව සඳහන් කළ අතර, ඒ සඳහා බලය පැවරුණු ආයතන මෙසේය.

  • ස්විඩිනයේ රාජකීය විද්‍යා ඇකඩමිය – භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිලිබඳ  ත්‍යාග 
  • ස්විඩිනයේ සොලෝනා විශ්ව විද්‍යාලයයේ කැරොලින්ස්කා ආයතනය – වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව  පිලිබඳ ත්‍යාග
  • ස්වීඩන් ඇකඩමියේ භාෂා අංශය – සාහිත්‍යය පිලිබඳ ත්‍යාග 
  • නෝර්වීජියානු පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතනය – සාමය පිලිබඳ ත්‍යාග  

මෙම පැවරීම් වලට පසුව නොබෙල් ත්‍යාග පිරිනැමීමේ කටයුතු පරිපාලනය සඳහානොබෙල් පදනම පිහිටුවන ලදී. ආරම්භයේදී  නොබෙල් ත්‍යාග අරමුදලස්විඩීන ක්රෝනා මිලියන තිස් එකකට අධික විය. 

1968 සිට ආර්ථික විද්‍යාව සඳහාද, ස්වීඩනයේ  ස්වෙරිජස් රික්ස්බෑන්ක්ආයතනය මගින්  නොබෙල් ත්‍යාගය හා සමාන ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. මෙම ත්‍යාගයද නොබෙල් ත්‍යාගයක් වශයෙන් පිළිගෙන එහි   පරිපාලන කටයුතුදනොබේල් පදනම වෙත පවරා තිබේ.

පළමුවෙනි නොබෙල් ත්‍යාග ප්‍රදානය පවත්වන ලද්දේ 1901 වර්ෂයේදීය. මෙහිදී   X- කිරණ සොයාගත් Conrad Röntgen කොන්රඩ් රොන්ට්ජන්, භෞතික විද්‍යාව සඳහාත්, ශාකවල   ආස‍්‍රැතිපීඩනය සොයාගත් Van’t Hoff  වැන්ට් හොෆ්, රසායන විද්‍යාව සඳහාත් ත්‍යාග ලැබූහ. පළමුවෙනි නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ වරයා වූ හෙන්රි ඩුනාන්ට් Henry Dunant ටය. එතැන් පටන් 2021 වර්ෂය දක්වා, ආර්ථික විද්‍යාව සඳහා වන ත්‍යාගයද ඇතුළුව නොබෙල් ත්‍යාග 975 ක් නොබෙල් සම්මාන ලාභීන් 609 දෙනෙකුට ප්‍රදානය කර තිබේ.  මෙම සම්මාන ලාභීන් අතර 60 දෙනෙකු කාන්තාවෝ වෙති. මෙයින් සම්මාන වැඩි ප්‍රතිශතයක් හිමිවී ඇත්තේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ  වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර වල කර ඇති අද්විතීය නව සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහාය. මොවුන් අතරින් මාරි කියුරි (Marie Curie) විද්‍යාඥ වරිය, 1903 දී භෞතික විද්‍යාව  සහ 1911 දී රසායන විද්‍යාව  යන විෂයය ක්ෂේත්‍ර දෙකට නොබෙල් සම්මාන දෙකක් ලබා වාර්තාවක්ද පිහිටුවා ඇත. 

වාර්තාවන ආකාරයට මෙතෙක් 49 වතාවක් නොබෙල් ත්‍යාග පිරිනමා නොමැත. බොහෝ දුරට මෙසේ වූයේ පළමු සහ දෙවන ලෝක සංග්‍රාම කාල වලදීය. 2019 වර්ෂයේ COVID19 වසංගතය නිසා ත්‍යාග ප්‍රදාන උත්සවය zoom තාක්ෂණය ඔස්සේ කර තිබේ. 

නොබේල් ත්‍යාගය සඳහා පිරිනමනු ලබන රන් පදක්කම

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන රන් පදක්කමද සුවිශේෂී එකකි. මෙහි දක්වා  ඇති පරිදි එහි මූණතේ කැටයම් කර ඇත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ඡායාරූපකි. එහි වම් පැත්තේ ඔහුගේ නම සඳහන් කරදකුණු පැත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ උපත සහ මරණය සිදුවූ වර්ෂ ‘NAT-MDCCC XXXIII OB-MDCC XCVI’ ලෙස රෝම ඉලක්කම් වලින් සඳහන් කර තිබේ. එකක් 200 g බරින් සහ විෂ්කම්භය   66 mm ක් වූමෙම රන් පදක්කම් 1980 වර්ෂය දක්වා නිර්මාණය කර ඇත්තේ, කැරට්  23 රත්‍රන්  වලිනි. පසුව ඒවා කැරට් 18 ප්‍රතිචක්‍රීය කරන ලද, රත්‍රන් වලින් සෑදීමට පියවර ගෙන තිබේ. 

එක්  වර්ෂයක නොබෙල් ත්‍යාග පිරිනැමූ දින සිට ඉදිරි වර්ෂය තුළදීඅදාළ කේෂේත්‍ර සීමාවේ, සමස්ත මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉවහල්වන උත්කෘෂ්ඨ සේවයක් වෙනුවෙන් පමණක්, මෙම ත්‍යාග පිරිනැමීම විශේෂත්වයකි. 

විවිධ ක්ෂේත්‍රයන්හි නොබෙල් ත්‍යාග පිළිබඳ තීරණ ගැනීමේදී නොයෙකුත්  මති මතාන්තර සහ මතභේද වලට තුඩු  දුන්  අවස්ථාද එමටය. එහෙත් ඒ  සෑම අවස්ථාවකදීම නෝර්වීජියානු බලධාරීන් ඒවා සමථයකට පත්කර අවසාන තීරණ ගෙන තිබේ. මෙවැනි සිදුවීම් සහ වෙනත් සුවිශේෂී  ඇගයීම් කිහිපයක්ද මෙහිලා සඳහන් කරනු ලැබේ.  

  • 2019 වර්ෂයේදී රසායන විද්‍යාව සඳහා නොබෙල් සම්මානය දිනූ ජෝන්. බී. ගූඩ්ඉනෆ්, එවකට වයස අවුරුදු 97 ක වයෝවෘද්ධයෙක් විය. මොහු නොබෙල් සම්මානයක් දිනු වැඩිමහලුම පුද්ගලයාය.
  • පාකිස්තානු ජාතික මළාලා යුසෆ්සායි වයස අවුරුදු 17 දී    නොබෙල් සාම සම්මානය ලබා, වයසින්  අඩුම සම්මාන ලාභිණිය වූවාය. 
  • ත්‍යාග සඳහා නම් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූ නිසා, ‘මරණයට පසු සම්මාන’ (posthumous awards) ලැබූ සම්මාන ලාභීන් දෙදෙනෙකු ගැනද සඳහන්වේ.
  • 1939 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබුණු ඇඩොල්ෆ් හිට්ලර්, දෙවන ලෝක යුද්ධයේදී මිනිස් සමුලඝාතනවලට මුල්වූ පුද්ගලයා බව ඔප්පු වීමෙන් පසු, ඔහුගේ  නාම යෝජනාව ඉවත් කරන ලදී.
  • නොබෙල් ත්‍යාග හිමිවූ දෙදෙනෙකු එම ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇති අතර, නොයෙකුත් හේතු නිසා තවත් සිව් දෙනෙකුගේ ත්‍යාග අහිමි කර තිබේ.
  • මියන්මාරයේ අවුන් සාන් සුකී (Aung San Suu Kyi) සහ තවත් දෙදෙනෙකු නොබෙල් ත්‍යාග ලාභීන් වන  විට, තම රටවල දේශපාලන සිරකරුවන්වී  සිටියහ.
  • නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු කළු භේදය ඉවත් කිරීමට මූලික වීම නිසාද  අමෙරිකා එක්සත් ජනපදයේ  බැරැක් ඔබාමා සාමය සඳහා ජාත්‍යන්තර සහයෝගය ගොඩනැගීම වෙනුවෙන්ද, නොබෙල් සාම ත්‍යාග ලැබූ රාජ්‍ය නායකයෝ දෙදෙනෙකි.  
  • එමෙන්ම බෞද්ධ නායකයෙකු වන 14 වැනි දලයි ලාමා තුමා  සහ කතෝලික සාන්තු වරියක ලෙස නම්කර ඇතිතෙරේසා මව්තුමියද  නොබෙල් සාම ත්‍යාග ලැබූ ආගමික නායකයින්  අතර වෙති. 
  • 1948 වර්ෂයේ නොබෙල් සාම  ත්‍යාගය සඳහා නම්කර සිටි භාරතයේ මහා මානව හිතවාදියා වන මහත්මා ගාන්ධි, එම තේරීම් ප්‍රසිද්ධියට පත්කිරීමට දින දෙකකට පෙර, සාහසිකයෙකුගේ වෙඩි පහරින් මියගිය නිසා, ත්‍යාගය පිරි නැමීම අත්හිටවන ලදී.
  • ලෝකප්‍රසිද්ධගීතාංජලිකාව්‍ය සංග්‍රහය උදෙසා 1913 දී, රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාට සහ, ‘මිනිස් සාරධර්ම ඇගයීමපිලිබඳ කෘතියට  සහ චතුර කථිකත්වය උදෙසා   වින්ස්ටන් චර්චිල් දේශපාලනඥයාට  1953 දීද, සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග හිමිවී තිබේ. 
  • සාපේක්ෂතා වාදයලොවට හඳුන්වා දුන් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේප්‍රකාශ විද්‍යුත් ආචරණයපිලිබඳ සොයා ගැනීම්  සඳහාය.  

මිනිසාගේ අභිවෘද්ධියට අහිතකර, “අසම්මතද්‍රව්‍යයක් ලෙස   ශිෂ්ඨ සමාජයේ  ගැරහීමට ලක්වූ  ‘වෙඩි බෙහෙත්අලෙවියෙන් ලබාගත් මහා ධනස්කන්ධය, එම්මානුවෙල් නොබෙල් ගේ අවෑමෙන්, ඔහුගේ  පුත්‍රයා වන  ඇල්ෆ්‍රඩ් නොබෙල්ට අයිති විය. ගල්  අඟුරු ආකාරවල භාවිතය සඳහා වෙඩි බෙහෙත් අනාරක්ෂිත පුපුරණ ද්‍රව්‍යයක් නිසා ඇල්ෆ්‍රඩ් තව දුරටත් තම පර්යේෂණ කටයුතු මෙහෙයවා, ආරක්ෂාකාරීඩයිනමයිට්සොයා ගත්තේය. කාර්මික යුගයේදී ඉතාමත් බහුල ලෙස භාවිත කළ ඩයිනමයිට් නිසා ඇල්ෆ්‍රඩ් ගේ ආදායම දෙතුන් ගුණයකින් වැඩි විය. වෙඩි බෙහෙත් සහ ඩයිනමයිට් යන ද්‍රව්‍ය දෙකම පුපුරන ද්‍රව්‍ය  වූවත්, ඒවායින් මිනිස් සංහතිය සඳහා ලැබී  ඇති  ප්‍රතිලාභ මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. තම නිෂ්පාදන වලින් ඉදිරියේ දීත් මිනිස් සංහතියටම සෙතක්ම  අත්පත් කර දෙන බවඇල්ෆ්‍රඩ් නොබෙල්  තදින්ම විශ්වාස කළේය. විද්‍යා ගවේෂණ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු, නුදුරු අනාගතයේදීම ලෝක සාමය උදාවී, සමානාත්මතාවය ලොව පුරා පැතිරී යා යුතු බව තදින්ම විශ්වාස කළේය. මේ නිසාම ඔහු තම ධනය සම්පූර්ණයෙන්ම සදා අනුස්මරණීය නොබෙල් ත්‍යාග සඳහා වෙන්කරන ලදී. විශේෂයෙන්ම විද්‍යා ගවේෂණ වෙනුවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන අංශ තුන සඳහා ත්‍යාග තුනක් වෙන් කරනලද්දේ ඒ සම්බන්ධයෙන් ඔහු තුල පැවති  මහත් ගෞරවය නිසාමය. සාහිත්‍යය සහ සාම ත්‍යාග වලින් අදහස් කරන ලද්දේද ලෝක සාමය උදෙසා කරනු ලබන මෙහෙවර ඉහලින්ම අගැයීමකි. 

දයාරත්න වීරසේකර

(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි) 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024