අද්භූත පෙට්ටගමේ කතාව

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Translation of the ‘Calamander Chest’ by Joseph Payne Brennan

 

“මේක කොදෙව් දූපත් වලින් ගෙනාවේ සර්!”

පරණ බඩු වෙළෙන්දා තම දෙඅත්ල එකට පිරිමදිමින් කීවේය. 

“හොඳ කළු මැදිරිය ලීයෙන් හදලා තියෙන්නේ. කලාතුරකින් හම්බවෙන බඩුවක් සර්!”

“එහෙනම්.. මම ඒක ගන්නම්.” අර්නස්ට් මාක්ස් මඳක් පසුබාමින් කීවේය. 

කළු මැදිරිය ලීයෙන් තැනූ මේ පෙට්ටගම ඔහුගේ ඇස ගැටුණේ පරණ බඩු කඩයක අලසව ඇවිදිමින් සිටියදී ය. එහි ගාම්භීර විදෙස් පෙනුම ඔහුගේ සිත පැහැර ගත්තේය. කළු පැහැති වයිරම් සහිත ඒ තද දුඹුරු ලීය බැලූ බැල්මට කළුවර ලීයක් සේ දිස්විය. අඩි දෙකක් තරම් පළලින්, අඩි පහක් පමණ දිගින් සහ අඩි තුනක් තරම් ගැඹුරින් යුතු වූ මේ පෙට්ටගම, හොඳින් ඉඩකඩ සහිත වූ එකක් බව පෙනුණි. පරණ බඩු කඩයේ වෙළෙන්දා මෙය ඩොලර් දොළහක් තරම් සුළු මුදලකට විකිණීමට සුදානම් බව වැටහුණු විට මාක්ස්ට එය කෙසේ හෝ ලබාගැනීමට සිත් විය.

එහෙත් වෙළෙන්දා මේ පෙට්ටගම විකුණා දැමීමට දක්වන උනන්දුවත් එහි අඩු මිළත් ඔහුගේ සිතේ සැකයක් ඇති නොකළා නොවේ. මේ වටිනා ලීය මතුපිටින් පමණක් පෙනෙන්නට ඇති දෙයක්ද? පෙට්ටගමේ නොපෙනෙන අඩුපාඩුවක් තිබේද?

මීට පසු දින පෙට්ටගම තම කාමරයට ගෙනවිත් භාර දුන් විට ඔහුට එහි කිසි අඩුපාඩුවක් සොයාගනු නොහැකි විය. එහි කලු මැදිරිය ලීය ශක්තිමත්ව තිබුණු අතර මුළු පෙට්ටගමේම කිසිදු ඇද පලුද්දක් නොවිණි. එහි පියන සුමට ලෙස වැසෙන බවත් එහි අගුලේ වූ විශාල ලෝහ යතුර පහසුවෙන් කරකැවෙන බවත් ඔහු නිරීක්ෂණය කළේය. 

තමන්ගේ මේ අලුත් මිලදීගැනීම ගැන මහත් සතුටින් මාක්ස් පෙට්ටගමේ ලීය මනාව ඔපදමා එය තම කාමරයේ හිස් ව තිබුණු කෙළවරකට තල්ලු කළේය. ඊළඟ වතාවේ නවාතැන් මාරු කරද්දී මෙහි වටිනාකම තදින් දැනෙනු ඇති බව ඔහුට කල්පනා විය. ඒ දවස එළඹෙන තුරු එය ඔහුගේ අරුමෝසමක් රහිත කාමරයට අලංකාරයක් එක් කරනු ඇත. 

සති කීපයක් ගත විය. තවමත් ඉඳහිට ඔහු තමන් අලුතින් අත්පත් කර ගත් මේ භාණ්ඩය වෙත ආඩම්බරය මුසු බැල්මක් හෙලුවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන සිතුවිලි ඔහුගේ මනසින් ගිලිහෙන්නට විය. 

එහෙත් එක් දිනක් පෙට්ටගම ඔහුගේ අවධානය පැහැර ගත්තේ නොසිතූ විරූ ලෙසිනි. එදින බොහෝ රෑ වනතුරු ඔහු කියවීමේ යෙදී සිටියේය. හදිසියේම, කුමක් හෝ හේතුවකට ඔහු තම දෑස පොතෙන් මුදාගෙන කාමරයේ කෙළවරේ වූ පෙට්ටගම දෙස යොමු කරන්නට යෙදුණි.

පුදුමයකි! එහි පියන යටින් මතුවී සුදු පැහැති දිගු ඇඟිල්ලක් පෙනෙන්නට තිබිණි. මෙය දැක භ්‍රාන්ත වූ මාක්ස් උන් තැනම නිසොල්මන්ව සිටියේ තම දෑස මේ අමුතු දසුන වෙතම අලවාගෙනයි. පෙට්ටගමේ කෙළවරින් එල්ලා වැටුණු මේ සුදුමැලි ඇඟිල්ල මහත අතකට සම්බන්ධ වූ බවක් පෙනුණු අතර එහි කෙලවරේ කළු පැහැති නියපොත්තක් විය.

මේ අමුතු දසුන දැකීමෙන් මුලින්ම ඇතිවූ කැළඹුම මඳක් පහවූ පසු තමන් තුළ තද කේන්තියක් මතුවන බව මාක්ස් ට දැනුණි. හදිසියේ මෙතැන පහළ වීමට මේ ඇඟිල්ලට කිසිම අයිතියක් තිබුණේ නැත! එය මහත් අසාධාරණ සහ මෝඩ සිදුවීමකි. තම කාමරයට මේ නිවසේ වෙනත් නවාතැන්කරුවෙක් හදිසියේ කඩා වැදුණු තරමට බලවත් නොරිස්සුමක් ඔහුට දැනුණි. මේ හදිසි මතුවීම නිසා තමන්ගේ සාමකාමී, සුවබර රාත්‍රියට බාධා වූ තරම්! 

නොසරුප් වදනක් කියමින් මාක්ස් තම අත වූ පොත පෙට්ටගමෙන් මතු වූ ඇඟිල්ල වෙත දමා ගැසුවේය. එසැණින් ඇඟිල්ල අතුරුදන් විය. නොඑසේ නම් එය ඔහුගේ දෘෂ්ටි පථයෙන් ඉවත් විය. කාමරය හරහා ආලෝකය විහිදෙන සේ තම කියවීම් ලාම්පුව ඇළ කළ මාක්ස්, වේගවත් ගමනින් පෙට්ටගම වෙත ගොස් වැරෙන් එහි පියන විවර කළේය. 

එහෙත් ඒ තුළ කිසිවක් තිබුණේ නැත.

පියන අත්හැරිය මාක්ස් තම පොත අහුලාගෙන නැවතත් පුටුව වෙත ගියේය. සමහරවිට තමන් වුවමනාවට වඩා පොත් කියවමින් සිටියා විය හැකි බව ඔහුට සිතුණි. අධික වෙහෙසට පත් තම දෑස තමන්ට මායාවන් පෙන්වනවා විය හැක. තව ටික වෙලාවක් කියවන්නට උත්සාහ ගත්තත් වරින් වර තම දෑස පෙට්ටගම වෙත යොමුවන බව ඔහුට දැනුණි. එහෙත් පෙර දුටු ඇඟිල්ල නැවත වරක් දිස් වූයේ නැත. ටික වෙලාවකින් මාක්ස් නිදාගැනීමට ගියේය.

මේ සිදුවීමෙන් සතියක් ගතවෙද්දී මාක්ස් ට ඇඟිල්ල ගැන අමතක වන්නට විය. ඔහු හවස් වරුවේ වැඩි වැඩියෙන් නිවසින් පිටත ගතකරන්නත් අඩුවෙන් පොත් කියවන්නත් විය. ඒ සතිය අවසන් වෙද්දී තමන් ඒ දුටුවේ වෙහෙසට පත් වූ දෑස මැවූ අමුතු දෘෂ්ටි මායාවක් පමණක් බව ඔහු තමන්ටම ඒත්තු ගන්වාගෙන තිබිණි. 

දෙවන සතිය ආරම්භයේදී ඔහු අලුත් සඟරා කිහිපයක් මිළදී ගත්තේ හවස් වරුව තම කාමරයේ ගත කිරීමේ අදහසිනි. මේ වෙද්දී තම දෑසට මනා විවේකයක් ලැබී ඇති බව ඔහු විශ්වාස කළේය. පළවෙනි සඟරාව කියවන්නට පටන්ගෙන මඳ වෙලාවකින් පෙට්ටගම දෙස බැලූ විට ඔහු දුටුවේ සියල්ල සාමාන්‍ය පරිදි ඇති බවයි. පුටුවේ හරිබරි ගැසී වාඩි වූ ඔහු සඟරාව කියවීමට කෙතරම් අවධානය යොමු කළේද යත් තවත් හෝරාවකට වැඩි කාලයක් ගතවන තුරු ඒ වෙතින් හිස එසවූයේ නැත. ඒ සඟරාව කියවා අවසන් කර තවත් එකක් අතට ගන්නට යද්දී මාක්ස්ගේ දෑස ඉබේම පෙට්ටගම වෙත යොමු විය- දෙවියනේ! ඇඟිල්ල නැවතත් මතු වී තිබිණි!

පෙර පරිදිම එය පණ නැති ලෙසින් පෙට්ටගමේ කෙලවරකින් එල්ලා හැලුනි. මහත අතත් අප්‍රියජනක කළු නියපොත්තත් එලෙසම විය.

කාමරය හරහා වේගයෙන් ඒ වෙත දිව යාමට උපන් වුවමනාව ආයාසයෙන් මැඩ ගත් මාක්ස් තම පුටුව අසල වූ කනප්පුව මත වූ බරැති ලෝහ අළු බඳුන වෙත සෙමෙන් අත දිගු කළේය. තම අතැඟිලි එහි ගැටෙද්දී පවා ඔහු තම දෑස ඇඟිල්ල වෙතින් ඉවත් කර ගත්තේ නැත. 

ඉතා සෙමෙන් පුටුවෙන් නැගිටගත් මාක්ස් ගොලුබෙලි ගමනින් කාමරය හරහා ගමන් කරන්නට විය. ලෝහයෙන් තැනුණු, මුවහත් දාරයක් සහිත අළු බඳුනෙන් වැරෙන් පහරක් එල්ල කළහොත් ඊට වඩා දුර්වල ඕනෑම දෙයක් සුණු විසුණු කළ හැකි බවට ඔහු තුළ විශ්වාසයක් විය. එහෙත් ඔහු පෙට්ටගමෙන් අඩියක් තරම් නුදුරින් සිටිද්දී එකවරම ඇඟිල්ල අතුරුදහන් විය. පෙට්ටගමේ පියන ඔසවා බලනු ලැබුවද සුපුරුදු ලෙස එය හිස්ව තිබිණි. 

මහත් සේ කැළඹුමට පත් වූ මාක්ස් නැවත තම පුටුව වෙත ගොස් අසුන් ගත්තේය. ඉන්පසු ඇඟිල්ල නැවත වරක් මතු වූයේ නැතත් එහි බියකරු රුව තම මනසින් ඉවත් කර ගැනීමට ඔහු අසමත් විය. මේ පෙට්ටගම තමන්ගේ හිමිකමින් බැහැර කළ යුතු බව නින්දට යාමට පෙර ඔ හු අකමැත්තෙන් වුව ඉටා ගත්තේය. 

තමන් මනා සෞඛ්‍යයෙන් පසු වූ අතර තම දෑසට සතියක විවේකයක් ලැබී තිබුණු නිසා මේ අප්‍රසන්න දසුන මවන සොබාදමේ යම් විකෘතිය රැඳී තිබුණේ තමා වෙත නොව පෙට්ටගමේ බව මාක්ස් තාර්කිකව සිතුවේය. පරණ බඩු වෙළෙන්දා නොවටිනා මිළකට මේ පෙට්ටගමේ විකුණා දැමීමට දැක්වූ උනන්දුව ඔහුට සිහිවිය. පරණ බඩු කඩයට එද්දීම මීට කිසියම් භූත බලපෑමක් තිබුණා විය හැක. මේ නිසාම ඒ කපටි වෙළෙන්දා සුළු මුදලකට එය විකුණා දැමීමට පෙළඹුනා විය හැක. 

ව්‍යවහාරික දැනුමකින් යුත් තරුණයෙක් වූ මාක්ස්, මේ සිදුවීමට භෞතික නොවන හේතුවක් ඇති බව පිළිගත්තේ තරමක නොකැමත්තෙනි. නමුත් මේ ගැන තර්ක කිරීමට තමන් කළ යුතු දෙයක් නොවේ යැයි ඔහු සිතුවේය. තමන් යහපත් ලෙස සිහිය පවත්වා ගැනීම සියල්ලට වඩා වැදගත් බවත් අන් සියලු දේ ඊට දෙවෙනි බවත් ඔහු සැලකුවේය.

මේ අනුව ඊට පසු දින රැකියාවට යාමට පෙර පෙට්ටගම නගරයේ කුණු ගොඩ වෙත ගෙන ගොස් දැමීමට කටයුතු යොදන සේ මාක්ස් තම ගෙහිමි කාන්තාවට කීවේය. එසේ ගෙන ගිය විට එය පුළුස්සා දැමීමටත් ඔහු විශේෂයෙන් උපදෙස් දෙන්නට අමතක කළේ නැත. 

නමුත් ඒ හවස්වරුවේ කාමරයට ආ විට මුලින්ම ඔහුගේ ඇස ගැටුණේ කාමරය කෙළවරෙහි වූ කළුමැදිරිය පෙට්ටගමයි. තදින් කෝප වූ ඔහු ආ පයින්ම ගෙහිමි කාන්තාව වෙත ගොස් මීට හේතු විමසා සිටියේය. තමන්ගේ අණ නොතකා හැරීම ගැන දැක්විය හැකි නිදහසට කරුණු මොනවාද?

මාක්ස්ගේ බැන වැදීම් අතරින් යමක් කියා ගැනීමට හැකි වූ විට ගෙහිමි කාන්තාව ඉවසීමෙන් පැහැදිලි කළේ සැබවින්ම ඒ උදෑසන නගරයේ කුණු බැහැර කරන ස්ථානය වෙත රැගෙන යාම සඳහා පෙට්ටගම ගෙනියනු ලැබූ බවයි. නමුත් එය එහි රැගෙන ගිය විට එය භාර නිලධාරියා පවසා ඇත්තේ බැලූ බැල්මට මෙහි යම් වැරදීමක් සිදුවී ඇති බවයි. මේ තරම් අලංකාර වටිනා භාණ්ඩයක් විනාශ කර දැමීමට සිහි බුද්ධියක් ඇති කෙනෙක් අවසර නොදෙන බවත්, කුලී කරුවන් දෙදෙනාට වැරදීමක් සිදුවී ඇති බවත්, මේ වෙනුවට අයිතිකරුට අනවශ්‍ය යම් නොවටිනා භාණ්ඩයක් ඔහුගේ නවාතැනේ ඇති බවට නොඅනුමාන බවත් ඔහු කියා තිබේ. 

කුණු ගොඩ වෙත පෙට්ටගම රැගෙන ගිය කුලී කරුවන් දෙදෙනාටද මේ කරුණ ගැන සහතික වීමට නොහැකි වූ නිසාත්, අධික මිළකින් යුතු භාණ්ඩයක් සම්බන්ධයෙන් වැරදි දෙයක් කිරීමට ඇති නොකැමැත්ත නිසාත් නැවතත් ඔවුන් එය මාක්ස්ගේ නවාතැන වෙත ගෙනැවිත් ඇත. මේ විස්තරය අසා මහත් කලබලයට පත් වූ මාක්ස්, යන්තම් ගලපා ගත් වදනින් ගෙහිමි කාන්තාවගෙන් සමාව ඉල්ලා, පෙරලා තම කාමරයට ගොස් පුටුවකට වැටී, අයාගත් දෙනෙතින් යුතුව පෙට්ටගම දෙස බලා සිටියේය. 

අන්තිමේදී ඊට තවත් අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කළේය. තවදුරටත් අද්භූත කිසි දෙයක් සිදු නොවුනොත් ඔහු පෙට්ටගම තව දුරටත් තියාගන්නටත්, නොඑසේ නම් එය විනාශ කර දැමීමට යම් බරපතල පියවරක් ගැනීමටත් ඔහු ඉටා ගත්තේය. 

එදින හවස් වරුවේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට ඔහු සැලසුම් කර තිබුණත් හවස හය පසු වෙද්දී වැස්සක් ඇද හැලෙන්නට වූයෙන් ඔහු කාමරයටම වී සිටින්නට හිත හදා ගත්තේය. 

කියවීමේ කාර්යය ආරම්භ කිරීමට පෙර පෙට්ටගම යතුරු ලා එහි යතුර තම සාක්කුවට දමා ගැනීමට මාක්ස් අමතක කළේ නැත. මින් පෙර මෙය සිදුකිරීමට ඔහුට මතක් නොවීම විකාර සහගත විය.මෙවර නම් තමන් පෙට්ටගම තීරණාත්මක පරීක්ෂණයකට ලක් කරන බව ඔහුට හැඟිනි.

පොත කියවද්දී ඔහු පෙට්ටගම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ද රාත්‍රී එකොළහ පසු වී ඔහු තම පොත පසෙක තබන තුරු කිසිවක් සිදු වූයේ නැත. පොත වස දමා පුටුවෙන් නැගිටිද්දී -ඇඟිල්ල නැවත පැමිණ තිබිණි. පෙනුමෙන් නම් එහි කිසි වෙනසක් සිදුව තිබුණේ නැත. එහෙත් පණ නොමැතිව එල්ලා හැලෙනු වෙනුවට එහි කුඩා චලනයක් දිස් විය. ඇඟිල්ල යන්තමින් වෙව්ලමින් තිබුණේ සිය දිගු කළු නියපොත්තෙන් දුර්වල ලෙස පෙට්ටගම සූරන්නට තැත් දරන අයුරිනි. 

අවශ්‍ය තරම් ධෛර්යය එකතු කරගත් පසු මාක්ස් පෙර සේම ලෝහ අළු බඳුන අතින් ගෙන කාමරය හරහා සෙමෙන් ඇවිද යන්නට විය. මෙවර ඇඟිල්ල අතුරුදන් වූයේ ඔහු ඊට පහරදෙන්නට අළු බඳුන ඔසවාගෙන සිටිද්දීය. එක්වරම එය පෙට්ටගම තුළට ඇදගත් වගක් දිස් විය. 

ගැහෙන හදින් යුතුව මාක්ස් පෙට්ටගමේ පියන විවර කළේය. මේ වතාවේත් එය හිස් ව තිබිණි. තම සාක්කුවේ වූ යතුර ගැන ඔහුට මතක් වූ විට තම සිරුර ත්‍රාසයෙන් කිලිපොලා යන බවක් ඔහුට දැනුණි. මේ බියකරු ඇඟිල්ල විසින් පෙට්ටගමේ යතුරු ඇරගෙන ඇත! නො එසේ නම් සිදුව ඇත්තේ තමන්ගේ පියවි සිහිය අහිමි වීමයි. 

චංචල වූ සිතින් යුතුව මාක්ස් දෙවෙනි වතාවටත් පෙට්ටගම යතුරු ලා පුටුවක වාඩිවී, වේලාව අලුයම දෙක වන තුරු ඒ දෙස බලා සිටියේය. ඉනික්බිති ඔහු ඇඳට ගියේ මහත් කැළඹුමටත් වෙහෙසටත් පත්වයි. විදුලි බුබුල නිවා දමන්නට පෙර පෙට්ටගම තවමත් යතුරු ලා ඇති බව ඔහු නැවතත් පරීක්ෂා කර බැලුවේය. 

නින්දට වැටුණු වහාම මාක්ස් භයංකර හීනයක් දුටුවේය. නොනැවතී ඇසෙන සූරන හඬකින් තමන් අවදි වූ බවත්, ඉටිපන්දමක් දල්වාගෙන පෙට්ටගම දෙස බැලූ බවත් ඔහු සිහිනයෙන් දුටුවේය. මෙවර එහි පියන යටින් පෙනෙන්නට තිබුණු ඇඟිල්ල මහත් ජවයකින් යුතු වූ බවක් දිස් විය. එය ඇඹරෙමින්, දඟලමින් ලීයට තට්ටු කරමින් කළු නියපොත්තෙන් ලීයේ මතුපිට සූරමින් පසුවිය. එහෙත් හදිසියේම මාක්ස්ගේ පැමිණීම දැනුණු කලෙක මෙන් එය එක්වරම නිසොල්මන් වී එක්වරම ඉතා උවමනාවෙන් ඔහුට ළඟට එන්නැයි සන් කරන්නට විය. ත්‍රාසයෙන් භ්‍රාන්තව සිටියත් මීට අකීකරු වීමට තමන්ට නොහැකි බවක් මාක්ස්ට හැඟිනි. ඉටිපන්දම බිමින් තැබූ ඔහු සෙමෙන් කාමරය හරහා ගියේ රොබෝවකු මෙනි. ඔහුට සන් කරන අද්භූත ඇඟිල්ල යකඩ වෙනුවට මිනිස් මාංශ ආකර්ෂණය කරගන්නා කාන්දමක් වැනි විය. 

මාක්ස් පෙට්ටගමට කිට්ටුවෙද්දීම ඇඟිල්ල ඒ තුළට වැදුණු අතර එහි පියන එසවිණි. බියෙන් ත්‍රස්ත වී සිටියත් තමන්ව කිසිසේත්ම වළකා ගැනීමට නොහැකි වූ ඔහු, පෙට්ටගම තුළට බැස, එහි හිඳ, දනිස් නිකට දක්වා නවා වැතිරුණේය. ඉන් මොහොතකට පසු පෙට්ටගමේ පියන වැසී ගොස් යතුර අගුලේ කැරකෙනු ඔහුට පැහැදිලිව ඇසිණි. 

බියකරු සිහිනයේ මේ කොටසේදී මාක්ස් මහා හඬින් කෑ ගසමින් අවදි වූවේය. ඇඳෙහි හිඳගත් ඔහුට තම මුහුණ දහදියෙන් තෙත්ව ගොස් ඇති අයුරු දැනුණි. ඒ සිහිනය නිසාම ඇඳෙන් බැස ගොස් විදුලි බුබුල දැල්වීමට ඔහු බිය විය. ඒ වෙනුවට ඔහු ඇඳ ඇතිරිලි අතර සැඟවී අලුයම වන තුරු අවදිව සිටියේය.

තම මනස මඳක් සන්සුන් වූ පසු කළු කෝපි කෝප්පයක් පානය කිරීමට නිවසින් පිටතට ගිය මාක්ස් රැකියාවට නොගොස් තමන් හඳුනන ලොරි කරුවකුගේ නිවසට ගියේය. මින් පෙරදී ඔහු නිවාස මාරු කරද්දී මේ පුද්ගලයාගේ සහාය ලබාගෙන තිබිණි. ලොරිකරු වෙත නිශ්චිත විස්තරාත්මක උපදෙස් මාලාවක් දී එකඟතාවයකට එළැඹි පසු, මාක්ස් ඔහුට ඩොලර් දහයක් ගෙවුවේ කාර්යය සම්පූර්ණ කළ පසු තවත් ඩොලර් දහයක් ගෙවන පොරොන්දුවෙනි. දහවල් කෑමෙන් පසු සෑහෙන තරමක සිතේ සහනයක් ඇතිව ඔහු කාර්යාලයට ගියේය. 

එදා හවස්වරුවේ මාක්ස් තම කාමරයට පා තැබුවේ මහත් ආත්ම විශ්වාසයෙනි. එහෙත් ඇතුළු වී වටපිට බලද්දී තම හදවත කඩා වැටෙනු ඔහුට දැනුණි. තමන් දුන් උපදෙස් නොතකන ලද අතර ලොරි කරු විසින් පෙට්ටගම රැගෙන ගොස් තිබුණේ නැත. එය මෙතෙක් කල් තිබුණු අයුරින්ම කාමරයේ කෙළවරෙහි තවමත් තිබිණි. 

මෙවර කේන්තිය වෙනුවට මාක්ස්ට දැනුණේ කලකිරීමකි. දුරකතනයක් සොයා ගිය ඔහු ලොරි කරුට ඇමතුවේය. සිදු වූ අතපසු වීම ගැන සමාව ඉල්ලූ ලොරි කරු පැවසුවේ මේ කාර්යය සඳහා පිටත් වන්නට සූදානම් වෙද්දීම තමන්ගේ ලොරියේ කාර්මික දෝෂයක් සිදු වූ බවයි. මේ වෙද්දී එය අලුත්වැඩියා කර අවසන් වීමට ආසන්න බවත්, පසු දින උදෑසනින්ම මේ කටයුත්ත සම්පූර්ණ කරන බවත් ඔහු කියා සිටියේය. 

තවත් කළ හැකි දෙයක් නොමැති බැවින් මාක්ස් ඔහුට ස්තූති කර දුරකථනය විසන්ධි කළේය. නැවතත් තම කාමරය වෙත යාමට ඔහු තුළ වූයේ බලවත් නොකැමැත්තකි. ඇති තරම් වෙලාව රැගෙන අසල වූ අවන්හලකින් රාත්‍රී ආහාරය ගත ඔහු ඉනික්බිති චිත්‍රපටයක් නැරඹීමට ද ගියේය. චිත්‍රපටය අවසන් වූ පසු ඔහු උණුසුම් චොකලට් පානයක් සඳහාද තාවර විය. මාක්ස් නැවතත් තම කාමරය වෙත යද්දී මැදියම් රැයද පසු වී තිබිණි. 

පෙර දා රාත්‍රියේ බියකරු සිහිනයක් දුටුවද, මෙදින නම් නින්දට යාමට තමන්ට මහත් උනන්දුවක් ඇති බව ඔහුට දැනුණි. සම්පූර්ණ රැයක නින්ද අහිමි වී සිටි ඔහුට වෙහෙසක් දැනෙමින් තිබිණි. 

පෙට්ටගම යතුරු ලා ඇති බව සහතික කර ගැනීමෙන් පසු ඔහු එහි යතුර තම කොට්ටය යටින් තබා නින්දට ගියේය. සිතේ කැළඹිල්ලක් තිබුණත් ඔහු ඉක්මණින් නින්දට වැටුණේය. 

පැය කිහිපයකට පසු හදිසියේ අවදි වූ මාක්ස් ඇඳෙහි හිඳ ගත්තේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබිණි. තමන් අවදි කළේ කුමක්දැයි ඔහුට මුලදී නොවැටහුණත්, ටික වෙලාවකින් ඔහුට එය ඇසෙන්නට විය. කාමරයේ එක් කෙළවරකින් දඩි බිඩි හඬක් සහ සීරෙන හඬක් ඇසෙමින් තිබිණි. 

තදින් වෙව්ලමින් සිටි මාක්ස් ඇඳෙන් බැස කාමරය හරහා ගොස් තම කියවීම් ලාම්පුවේ බොත්තම එබුවේය. නමුත් ඉන් ආලෝකයක් නිකුත් වූයේ නැත. එක්කෝ විදුලිය කපා හැර තිබිණි, නැත්නම් විදුලි බුබුල පිලිස්සී තිබිණි. 

ලාම්පුව තිබූ කනප්පුවේ ලාච්චුව විවර කළ මාක්ස් වියරුවෙන් මෙන් ඉටිපන්දමක් සොයන්නට විය. ඔහු ඉටිපන්දමක් සොයාගෙන එය දල්වන්නට ගත වූ කාලය තුළදී පෙට්ටගම තුළින් නැඟුණු සීරුම් හඬ උත්සන්න වී තිබුණු අතර මුළු කාමරයම ඒ හඬින් දෝංකාර දෙන්නට විය. 

මාක්ස් වෙව්ලමින් ඉටිපන්දමත් අතින් ගෙන පෙට්ටගම වෙත ඇවිද ගියේය. කාමරයේ කෙළවර වෙත ඉටිපන්දමේ ආලෝකය පැතිරෙද්දී ඔහු නැවත වරක් ඇඟිල්ල දුටුවේය. මෙවර එය පෙට්ටගමින් පිටතට විහිදී අමුතු ජවයකින් දඟලමින් විය. ඇඹරෙමින්, නටමින් තිබුණු එය, කළු පැහැති නියපොත්තෙන් ලීය හාරමින් වියරුවෙන් හැසිරෙන අයුරු පෙනුණි. 

මාක්ස් කිට්ටු වෙද්දී එක්වරම ඇඟිල්ල නිසොල්මන් වී පහතට එල්ලා හැලෙන්නට විය. බියෙන් ත්‍රාස ව සිටි මාක්ස්ට හැඟුණේ එය ඔහු කිට්ටු වන බව හඳුනාගෙන දැන් නිහඬව, ඔහු කරන දේ නරඹමින් සිටින බවයි. 

මාක්ස් කාමරය හරහා තරමක් දුර ඇවිද යද්දී ඇඟිල්ල සෙමෙන් එසවී ඉතා උවමනාවෙන් ඔහුට සන් කරන්නට විය. ඔහුට එක්වරම තමන් දුටු බියකරු සිහිනය සිහියට නැඟුණි. ඒත් මෙවරත්- සිහිනයේදී මෙන්ම- ඔහුට ඒ අද්භූත සන් කිරීමට අකීකරු වන්නට නොහැකි බව දැනුණි. ධ්‍යානයකට සම වැදුණු අයෙකු ලෙස ඔහු නොනැවතී ඉදිරියටම ගමන් කළේ ය. 

පසු දින පාන්දරම ගෙහිමි කාන්තාව විසින් ලොරිකරු සහ ඔහුගේ අත් උදවුකරු කාමරය වෙත කැඳවාගෙන ආවාය. ඒ වෙද්දීත් මාක්ස් රැකියාවට පිටත්ව ගොස් ඇති බවක් පෙනුණු නමුත් ඔහු පෙර දිනම අවශ්‍ය විස්තරාත්මක උපදෙස් ලබා දී තිබුණු නිසා ඔහු එහි සිටීම මේ කටයුත්ත සඳහා අත්‍යවශ්‍ය වූයේ නැත. 

අගුලු ලා තිබුණු පෙට්ටගම කාමරයේ කෙළවරක වූ නමුත් ඊට යතුරක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානය තෙක්ම දැල්වුණු ඉටිපන්දමක් ඉන් ගැලූ ඉටි මැද ඒ අසල බිම දිස් විය. 

මෙය දැක ගෙහිමි කාන්තාව නොරිස්සුමෙන් හිස සැලුවාය. “මුළු ගේ ම පුච්චලා දාන්න හොඳ ක්‍රමයක් මේක,” ඈ නෝක්කාඩු කියන්නට විය. “මාක්ස් මහත්තයා එක්ක මේ ගැන කතාකරන්න වෙනවා. එයා සාමාන්‍යයෙන් මෙහෙම නොසැලකිලිමත් වැඩ කරන්නේ නැහැ.”

පෙට්ටගම ඔසවාගෙන යමින් සිටි මිනිසුන් දෙදෙනා ඈ කී දේට ඇහුම්කන් දුන්නේ නැත. තරප්පුව බසිද්දී ලොරිකරුගේ සගයා මැසිවිලි කියන්නට විය. “මේකේ ඇතුල් පැත්ත හදලා තියෙන්නේ ඊයම් වලින්ද මන්දා! මේ තරම් බර පෙට්ටගමක් මම නම් කවදාවත් දැකලා නැහැ!”

“මේවා බර ලී ජාති!” ලොරිකරු කෙටියෙන් කීවේ තම මහන්සිය ඉතිරි කරගනිමිනි.

“ඒ මහත්තයා මේතරම් හොඳ පෙට්ටගමක් අහක දාන්නේ ඇයි දන්නේ නැහැ නේද?” නගරය කෙළවරෙහි වූ අත්හරින ලද ගල් කොරියක් වෙත ලොරිය ළඟා වෙද්දී උදවුකරු ලොරිකරුගෙන් විමසුවේය. 

“මම හිතන්නේ ඒකට හේතුව මම දන්නවා,” ලොරිකරු තම සගයා වෙත කපටි බැල්මක් හෙලමින් කීවේය. “ඒ මහත්තයා ඕක ගත්තේ ජේසන් කින්කල්ගෙන්. කින්කල් එයාට මේකේ නිධාන කතාව නොකියා විකිණුවාට පස්සේ එයාම ඒක හොයාගන්න ඇති- ඒකයි මේ වීසි කරන්නේ.”

මෙය අසා උදවුකරුගේ උනන්දුව වැඩි විය. “මොකක්ද ඒ කතාව?” ඔහු විමසුවේය. 

ඔවුහු ගල් කොරිය වෙත ගොස් ලොරියෙන් පිටතට ආහ.

“කින්කල් මේක වෙන්දේසියකින් නොවටිනා ගාණකට අරගෙන තියෙන්නේ” පෙට්ටගම ඉවතට ඔසවා ගනිමින් ලොරිකරු විස්තර කළේය. “ඒ අර වයසක හෙන්රි ස්ටබර්ටන්ගේ ලීබඩු වෙන්දේසියෙන්.”

මෙය අසා උදවුකරුගේ දෑස භීතියෙන් මහත් විය. ඔවුන් සිටියේ පෙට්ටගම බෑවුමක් දිගේ ඉහලට ඔසවාගෙන යමිනි. “ඒ කියන්නේ අර මරලා දාලා තිබුණු ස්ටබර්ටන්ද?”

“ඔව් ඔව්, පෙට්ටගමක මරලා දාලා හිටපු කෙනා. මේ ඒ පෙට්ටගම!”

ගල් කොරියේ උස් බිමක කෙළවරට එළඹෙන තුරු ඔවුන් අතර නැවතත් කතාබහක් සිදුවූයේ නැත. හෙල පහළ අගාධය පතුළේ වූ දිය කඳ දෙස බලමින් ලොරිකරු තම මුහුණේ වූ දහදිය පිසින්නට විය.

“එයාලා ඒ මනුස්සයව හොයාගනිද්දී හරි අජූත පෙනුමක් තිබිලා තියෙන්නේ. එයා පෙට්ටගම ඇතුලේ දෙකට නැමිලා, ඇඟපත කළු ගැහිලා ඉඳලා තියෙන්නේ. ආරංචි වුණු විදිහට ඒ යකාව ඇතුළට දාලා තියෙන්නේ පණ පිටින් ලු, ඒ මිනිහා පහුරු ගාලා එළියට එන්න උත්සාහ කරලාලු! පෙට්ටගම අරිද්දි තමයි දැකලා තියෙන්නේ එක ඇඟිල්ලක් අගුල හරියෙන් පියනට අහුවෙලා තිබුණු බව. මිනිහා නියපොත්තෙන් අගුල අරින්නත් හදලා!”

මෙය අසා උදවුකරු වෙව්ලා ගියේය. “එහෙනම් මේක මහා අවාසනාවන්ත බඩුවක්. ඉක්මණින් මේ වැඩේ ඉවර කරලා දාමු!”

ලොරිකරු හිස වනා මීට එකඟ විය. “ඔය පැත්තෙන් අල්ලලා තල්ලු කරන්න.”

ටික වෙලාවක් තල්ලු කරද්දී පෙට්ටගම හෙල පහළට තල්ලු වී පහත වූ කළු පැහැති ගැඹුරු දිය පතුලේ ගිලුණි. ගලක් සේ බරට එය කිඳ බසිද්දී ජලය දෙබෑ වූයේ මහා හඬක් නඟමිනි. 

“ඒක නම් අතුරුදන් වුන එකමයි කාරිය. දැන් මට තව ඩොලර් දහයක් එකතු කරගන්න පුළුවන්.” ලොරිකරු කීය.

නමුත් පුදුමයකට මෙන් ඔහුට කිසි දිනක ඒ ඩොලර් දහය ලබාගැනීමට හැකි වූයේ නැත. ඊට හේතුව මේ දිනට පසු අර්නස්ට් මාක්ස් මහතා දකින්නටවත් නොවීමයි. සම්පූර්ණයෙන් අතුරුදන් ව ගොස් සිටි ඔහුගෙන් ඉන් මතු කිසිදු ආරංචියක් ලැබුණේ නැත. ඒ වෙද්දීත් පොලීසිය සමඟ විවිධ ගැටුම් ඇතිකරගෙන තිබුණු ලොරිකරු මේ ඩොලර් දහයේ පාඩුව අමතක කර දැමූ අතර පෙට්ටගම ඉවත් කිරීම ගැන කිසිවෙකුට කිසිම සඳහනක් කළේ නැත. ගෙහිමි කාන්තාව ලොරිකරුගේ නම දැන නොසිටි නිසා මාක්ස්ව සෙවීමේදී ඇගෙන් ලැබුණු තොරතුරු වැඩි ප්‍රයෝජනයක් වූයේ නැත. 

මාක්ස් යම් කරදරයකට මැදි වී, පදිංචියත් නමත් වෙනස් කරන්නට ඇති බව අවසන් වශයෙන් පොලිසිය විසින් නිගමනය කරන ලදී.

From Weird Tales (1954) Vol 45 No 6

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024