සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරපු සින්දුවක් පන්හිඳට මතක් වෙලා.
“අගේ ඇති සින්දුව නේද?” පින්සල සින්දුවේ තාලය සිව්රුහන් බාන්න පටන් ගත්තා.
“මහින්ද චන්ද්‍රසේකර මහත්තයාගේ වචන. උන්නැහේ ඉතින් අනුරාධපුර දිහාවේ දක්ෂ ගුරුතුමෙක්නේ.”
පැන්සලත් එකතුවෙනවා කතාවට. පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
රෝහණ වීරසිංහ මහත්තයාගේ තනුවත් හරි අගෙයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ “නිනාද” සංගීත වාදන කණ්ඩායමයි පන්ට ඔය සින්දුව එයාලගේ සංගීත සාජ්ජයේදී ගායනා කරන්න ආරාධනය කළේ. පිටරට විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි කරන තරුණයින් පවා තමන්ගේ ගුරුවරු ගැන සංවේදී වෙලා තියෙන හැටි.
පන්හිඳයි පින්සලයි පැන්සලයි තුන්දෙනා ලංකාවේ එකම ඉස්කෝලෙක පන්ති මිත්‍රයෝ. නිතරම ලියකියවිලි වල වැඩට අහුවුන හින්දා පන්හිඳට ඒ අන්වර්ථ නම වැටුණා. කෙට්ටුම කෙට්ටු පින්සල ලොකු කොණ්ඩයක් තිබුණා හරියට පින්සලක බුරුසුව ඉහලට හිටින්න හිටෙව්වා වගේ. අඳින්නත් උනන්දුවක් තිබුණ නිසයි පින්සල් ඒ නම වැටුණේ. පැන්සල ගණන් ඉලක්කන් වලට ඉස්සරහින් උන්නා. නිතර පැන්සලක් කනේ ගහගෙන හිටියේ.
ඒ නිසා ඒ නම පැන්සලට වැටුණා.මේ පන්ති මිත්‍රයො තුන් දෙනාටත් තමන්ගෙ ගුරුවරු මතක් වෙලා මේ සින්දුවත් එක්කම.
“ඒක නෙවෙයි මං දැනං උන්නෙ නෑ නේ ධර්මබන්ධු අංකල් ගණන් ගුරුවරයෙක් බව” පැන්සල එකපාරටම මාතෘකාව වෙනස් කළේ ඊස්ටර් නිවාඩුවට පර්ත් ගිය ගමන මතක් වෙලා. පර්ත් නුවර ඉන්න වි .ක. ධර්මබන්ධු මහත්තයව බලන්න තුන්දෙනාම ගියේ පරණ හිතවත්කම් එක්ක. මෙල්බන් නුවරින් ප්‍රකාශයට පත් කෙරෙන අපේ ප්‍රජාවේ සිංහල මාසික පත්තර වලට ලියන පන්හිදට නම් වි. ක. ධර්මබන්ධු මහත්තයා මහානර්ඝ සිංහල ගුරුවරයෙක්. එතුමා ගෙන් උපදෙස් අරගෙන ලියන්නෝ බොහෝමයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලට මට ගහන්නේ, කැපිලි දාන්නේ නැතිව පෞද්ගලිකව කතා කරලා උපදෙස් දෙන ධර්මබන්ධු මහත්මයා නියම ගුරුවරයෙක් විදිහටයි පන්හිඳ හිතන්නේ.”
ගණිත ගුරුවරයෙක් කියලා දැනගන්න ලැබුණේ මුහුණු පොතේ පළ කරපු පින්තූරය දැකලා, එතුමාගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ලියපු දේවල් වලින්…” ඒ පන්.
“දක්ෂ ගණිත ගුරුවරයෙක්, දක්ෂ සිංහල ගුරුවරයෙකුත් වුණ එකනේ පුදුමේ…” පින් එකතු කරනවා තමුන්ගේ අදහස.
මටනම් ඔය ඔක්කොටම වැඩිය වටින්නේ වෙනස් දෙයක්,හැමදාම වෙනස් අදහස් දක්වන පැන් කියන්නේ මොකක්ද බලමු. කවදාවත් වයසට නොයා හැමදාමත් අළුත් විදියට හිතන ඒ අළුත් අදහස් තමුන්ගේ ශිෂ්‍ය පරම්පරාවට නොකඩවා බෙදා දෙන නිර්මාණශීලී ගුණය ට…”
දැන් බලන්න ධර්මබන්ධු මහත්තයා නිර්මාණය කරපු “සඳ කුරු වැල” පන් ලිව්ව නේද ඒ ගැන සන්නස පත්තරේට…?
පැන් ඒ අහන අතරේ පන් ලිපිය හොයාගෙන ඉවරයි.
“හරියටම මීට අවුරුදු පහළොවකට කලින් 2006 මැයි මාසේ සන්නසේ දාහතර වෙනි පිටේ පලවෙලා තියෙන්නේ… දැන්නම් කට්ටියට මතකත් නැතුව ඇති” ඒ පින්
“ ධර්මබන්ධු අංකල් කියන්නේ අපි තවත් “න ණ ල ළ” එක්ක පැටලෙන්න ඕන නෑ කියලා නේ. ඒක නවකයින්ට කරදරයක් නිසා ඒවායින් දැන් අපි මිදෙන්න ඕන කියන එකයි එතුමාගේ අදහස. ඒ වගේම ශ ෂ අකුරුත් …”
ඒ අදහසට ධර්මබන්ධු මහත්තයා එක් කරවන අනික් අදහස තමයි පරිගණක තාක්ෂණයත් එක්ක අපේ අකුරු යතුරුලියන කරන්න තියෙන අපහසුකම, පන් පසුගිය ලිපියේ අදහස් ආයෙත් මතක් කරන්න පටන් ගත්තා”
“ සිංහල හෝඩියේ ඇලපිල්ල, ඇදපිල්ල, අව් පිල්ල, නැත්නම් ගයනුකිත්ත, කොම්බුව, හල් ලකුණ, කියන උපාංග ස්වර ව්‍යංජන භේදයක් නැතුව යොදාගන්නවා. ඒත් සමහර අකුරු වලට ඒවා යොදාගන්න එක පරිගණකයක යතුරු ලියනය කරන කරනකොට අමාරුයි. සංඥක අකුරු ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි.”
“ දැන් අපට යංශය රංශය හුරුයි නේ .සඳ කුරු වැලෙන් වංශය, ලංශය කියලත් උපාංග දෙකක් හඳුන්වලා දෙනවා අපේ ගුරුතුමාලට අපි” සර්” කියලා කිව්වත් ලියනකොට සර් ශබ්දය වෙනස් නේ. ඒ වගේ වචන ලියන්නත් උපාංගයක් සඳකුරු වැලේ තියෙනවා. දැනට මිශ්‍ර සිංහල අක්ෂර මාලාවෙයි සම්මත සිංහල අක්ෂර මාලාවෙයි එකතුව පිළිවෙලින් 84 ක් , 86 ක් වෙනවා. ඒත් යතුරු පුවරුවට හඳුන්වලා දෙන සඳ කුරු ගණන 35කට සීමා කරන්න පුළුවන් කියලයි ධර්මබන්ධු මහත්තයා කියන්නේ …..”
“ අපේ ගුරුවරු විශ්‍රාම යනවා. ඒත් අපේ සමහර ගුරුවරුන් විශ්‍රාම ගිහිල්ලාත් අනිත් අයට මග පෙන්නනවා. ඒ අතින් බලනකොට ධර්මබන්ධු මහත්තයත් තවමත් විශ්වය කියන ඉස්කෝලෙට ගිහින් උගන්නන ගුරු ඇදුරු තුමෙක්….” පැන් කිව්වේ බොහොම හැඟීම්බරව.
“ අපේ ගුරුතුමා යයි තාමත්- ඉස්කෝලේ…”
රචනය – සිසිර දිසානායක