ආයතන භාවනාවෙන් ද ඒ සුවය

  • Home
  • /
  • Lifestyle
  • /
  • ආයතන භාවනාවෙන් ද ඒ සුවය

තවසීවථික භාවනාවෙන් මා ලද ඒ උතුම් අත්දැකීම මරණ සති භාවනාවෙන් ද ලැබීමි. තවත් භාවනා කීපයකින් ඒ අත්දැකීම් ම ලබන්නැ යි පොඩි මෙහෙණින් වහන්සේ දුන් උපදෙස් අනුව ඊළගට මා තෝරාගත්තේ ආයතන භාවනාව යි.

ඇස, කන, නාසය, දිව, ශරිරය සහ මනස මේ ආයතන යි. ඒවා  ආයතන බවට පත් වන්නේ යම් අරමුණක් හමු වීමෙන් සිතුවිලි ගලා යෑමට පටන් ගත් පසු යි.

ආස්වාදය, ආදීනව, නිබ්බිදාව සහ නිස්සරණය යන කරුණු ඔස්සේ ආයතන භාවනාවේ යෙදෙන හැටි පිළිබඳ ව මට දුරකථනය මගින් පොඩි මෙහෙණින් වහන්සේ උපදෙස් දුන්හ. ඒ කාලයේ දී ම මම වාර  කීපයක් ම ආයතන භාවනාවේ යෙදුණෙමි. එහෙත් එදා අර අත්දැකීම නො ලැබීමි. මා ලැබූ ඒ උතුම් අත්දැකීම යළි මේ  භාවනාවෙන් ද ලැබේ ද යි සිතමින් බුදුපිළිමය ඉදිරිපිට හඳුන්කූරක් දල්වා බුදු පියාණන් වහන්සේට නමස්කාර කළෙමි. කුඩා මෙට්ටය මත හිඳගතිමි; දෑස පියාගතිමි පුරුදු පරිදි භාවනා පූර්ව කෘත්‍යයෙහි යෙදුණෙමි; කෙටියෙන් චතුරාරක්ඛ භාවනාවේ ද යෙදුණෙමි.

චතුරාරක්ඛ භාවනාව අරඹන විට මගේ සිත සමාධිගත වී තිබිණ. ආයතන භාවනාව ඇරැඹීමි.මා මගේ ම දෑස දෙස සිතින් බැලුවා.

ඇස යම් රූපයක් සමග ගැටෙනවා. ඒ සමග ම ඒ රූපය පිළිබඳ දනීමක් හෙවත් විඤ්ඤාණයක් චක්ඛු විඤ්ඤාණය ඇති වෙනවා.

ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් එක් වූ ස්පර්ශය ඇති වෙනට ඒ ස්පර්ශය සමග වින්දනයක් (වේදනාව) ඇති වෙනවා. එය සුඛ හෝ දුක්ඛ හෝ මැදහත් වේදනාවක් විය හැකි යි. ඒ සමගම වේදනාව හඳුනාගන්නවා (සංඥාව), ඉන් පසු ව ඒ හඳුනාගැනීම අනුව සුඛ වේදනාවක් නම් ආශාවක්, තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනාවක් නම් තරහාවක්, ද්වේෂයක් ඇති වෙනවා. ඒ ඔස්සේ සිතුවිලි ගලන්නට පටන් ගන්නවා (සංස්කාර), සිතුවිලි ගැලීම

පටන් ගැනීමත් සමඟ චක්ඛු ආයතනය ගොඩනැගෙනවා. ඇස මුල් කොට ගොඩ නැගුණු ආයතනය චක්ඛු ආයතනය.

චක්ඛු ආයතනයේ ආස්වාදයට මගේ සිත යොමු වුණා. ඇස තුරුණු ලඳකගේ සිනාබර මුහුණකට ඇදෙනවා. ඒ සමග ම ඒ මුහුණ – ඒ අරමුණ පිළිබඳ දැනීම (චක්ඛු විඤ්ඤාණය) ඇති වෙනවා.සුඛ වේදනාවක් සිතට නැගෙනවා (වේදනාව) සුඛය හඳුනා ගැනීමක් ඇති වෙනවා (සංඥාව), ඉන් පසු සොම්නස් සිතුවිලි (සංස්කාර) ගලන්නට පටන් ගන්නවා. රාගයෙන් සිත පිරෙනවා. ඇය ලබාගැනීමේ තණ්හාව ඇති වෙනවා. ඇස පියාගෙන ඒ සොඳුරු රුව නරඹනවා. ඇය සමග එකට ගුලි වී නිදන හැටි සිතෙන් දකිනවා. දැඩි සේ ඇය සිතින් ග්‍රහණය කරගන්නවා. ඇය නිසා අතිමහත් වූ සොම්නසක්, ආස්වාදයක් සිතේ පිරෙනවා.

තරුණයකු ඇය සමීපයට එනවා ඇසට පෙනෙනවා. ඒ ඇගේ පෙම්වතා. ඇය සිනාමුසු ව ඔහු පිළිගන්නවා. දෙදෙනාගේ අත් එකට පැටැලෙනවා. කලින් ඇය දැක ප්‍රීතියෙන් ඉපිල ගිය සිත දැන් දොම්නසට පත් වෙලා. ඊර්ෂ්‍යාව – තරහව – ද්වේෂය සිතුවිලි ගලන්නට පටන් ගන්නවා.

එකම රූපයක් නිසා අවස්ථා දෙකක දී සිතේ ආකාර දෙකක සිතුවිලි, සංස්කාර ගලා ගියා. සොම්නස හා දොම්නස, රාගය සහ ද්වේෂය.

මේ අවස්ථා දෙකේම සංස්කාර ගැලීම නිසා සිදු වූයේ කර්ම රැස් කිරීමක්; යළි උපතක් සකස් කිරීමක්; ප්‍රතිසන්ධි විඤ්ඤාණයකට මුල් වීමක්. මේ සංස්කාර හේතු වී ඇති විඤ්ඤාණය (සංඛාර පච්චයා විඤ්ඤාණං) සසර ගමනට, දුකට මුල පුරනවා.

රූපයක් හසු කර ගැනීමෙන් පසු ඇති වූ සිතුවිලි ගලා යෑමෙන් ඇස සසර ගමනට මග සෑදූ සැටි මා දුටුවා. ආස්වාදයට මුල් වූ ඇස ම එහි ආදීනව පළ කළේ සත්ත්වයා සසර ගමනට, සසර දුකට ඇද හෙළමින්. අනන්ත අප්‍රමාණ කාලයක්, කල්ප අසංඛ්‍ය ගණන් මා මේ සංසාරයේ දුක් විඳිමින්, සතර අපායවල ඉපදෙමින් ගමන් කළේ ඇස ලබා දුන් ආස්වාදයට රැවටුණු නිසා නොවේද ? ඒ ආශ්වාදය දුක ලබා දුන්නා.තණ්හාව මෙන්ම ද්වේෂයද යළි උපතකට මඟ පෑදුවා.දුකට මුල් වුණා .

සසර දුකට ඇස හේතු වූ අයුරින් ම මේ භවයේ දී ම ඇස  දුක ලබා දුන් හැටි මට සිහි වුණා. ළමා වියේ තිබුණේ නිල් මැණික් සේ දිදුළු දෙන ඇස් දෙකක්. ඒ ඇසේ රූප කලාප ඇති වෙමින් නැති වෙමින් අනිත්‍යය පළ කළා. රූප කලාපයක් නැති වුණේ ඊට වඩා හොඳ රූප කලාපයක් ඇති කරමින් තුරුණු වියේ දී ඇස වඩාත් දීප්තිමත් වුණා. මැදි වියේ සිට ඇසේ රූප කලාපයක් ඇති වුණේ තිබුණු රූප කලාපයට වඩා අයහපත් දුර්වල එකක් ඇති කරමින්.

ඉන් පසු දෑස බොර පැහැයට හැරුණා. පෙනුම අඩු වන්නට පටන් ගත්තා. ඇස් ලෙඩ – ඇස් ගාය වැලැඳී දැඩි වේදනාවක්  ගෙන දුන්නා. දවසින් දවස ඇසේ පෙනුම අඩු වුණා. මහා සතුටින් වැලැඳගත් රූප දන් පෙනෙන්නේ බොඳ වෙලා, අපැහැදිලි ව යි. ඔන්න ඇසේ සුද ඇවිල්ලා වෛද්‍යවරු කියනවා. ඉන් පසු සැත්කමකට රෝහලට යනවා. සුද ඉවත් කරනවා. ඇසට අලුතින් කාච බද්ධ කරනවා. කළු ඉංගිරියාව සිදුරු වෙලා  වටේ දිරාපත් 

වෙනවා. රූප විකෘති වී පෙනී පසු ව කිසිවක් නොපෙනී ගොස් අන්ධ වෙනවා. මේ භවයේ දී ම මේ ඇස අනන්ත දුක් ගෙන දුන්නා. මතු භවයන්හි දී ද මේ ඇස අනන්ත දුක් ගෙන දෙනවා.

ඇසේ උපත සිදු වූ දා සිට එහි රූප කලාප ඇති වෙමින් නැති වෙමින් අනිත්‍යයට ගිය හැටි මා දුටුවා. ලෙඩ රෝගවලට ගොදුරු වූ හැටි මා දුටුවා; ඇසේ පෙනුම දුබල වී නැති වී ගිය හැටි ද දුටුවා. ඒ හැම අවස්ථාවක ම මා දුටුවේ අනිත්‍යය.

මට අවශ්‍ය පරිදි ඇස නීරෝගී ව තබාගැනීමට, පෙනුම පැහැදිලි ව තබාගැනීමට මට අපහසු වුණා. ඇස පාලනය කිරීමට මට අපහසු වුණා. එය දිගින් දිගට ම අනිත්‍යයට ගියා. මෙය මගේ නම්, මට අවශ්‍ය පරිදි ඇස තබාගත හැකි විය යුතු යි. ඇස මගේ නොවේ. මා නො වේ, මගේ ආත්මය නො වේ. ඇස අනිත්‍ය යි.

අනිත්‍ය යි, අනිත්‍ය යි. යදනිච්චං තං දුක්ඛං යමක් අනිත්‍ය ද එය දුක යි. ඇසේ අනිත්‍ය බව මට ගෙන දුන්නේ දුක ම යි.

සිරුර මළ සිරුරක් වූ පසු ඇසේ අනිත්‍යය වඩාත් හොඳින් පෙනුණා. සිරුරේ අනෙක් කොටස් මෙන් ම ඇස ද නිර්මාණය වී තිබුණේ පඨවි – ආපෝ – තේජෝ – වායෝ යන ධාතුන්ගෙන්.මරණය සිදුවී දින දෙකතුනකින් 

ඇස ඉදිමුණා.අඳුරු පැහැයක්ද ගත්තා. ඇසෙන ඕජසක් ගලන්නට පටන් ගත්තා. ඕජස යනු ඇසේ ඇති ආපෝ ධාතුවයි.ඒවා වාෂ්ප වී භාහිර ආපෝ ධාතුවට එකතු වුණා . තෙතමනය ආපෝධාතුව ඉවතට ගිය පසු ඇසේ 

සියුම් හම ඇකිළි ලියා. එහි වූ වායෝ ධාතුව, තේජෝ ධාතුව බාහිර වායෝ ධාතුවට, බාහිර තේජෝ ධාතුවට එකතු වුණා. ඉන් පසු ඇසේ වූ සියුම් හම ඇතුළු සුළු වශයෙන් පැවති පඨවි ධාතු කොටස ද දියර සමඟ මුසු ව ඉවතට ගියා; බාහිර පඨවි ධාතුවට එකතු වුණා. ඉන් පසු ඇස තිබුණ තැන ඉතිරි වූයේ හිස් කුහරයක් පමණ යි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතර හැර වෙනත් කිසිවක්. ආත්මයක් ඇසේ තිබුණේ නැහැ. අර ධාතු හතර ඉවත් වූ

පසු ඉතිරි වූයේ කුහරයක් පමණයි. එය හිස් කුහරයක්. මා ඒ දෙස බලා සිටියා. හිස් බවක් පමණ යි. ඇස යැ යි කිව හැකි යමක්, යම් දෙයක්, පුද්ගලයෙක්, සත්ත්වයෙක්, ආත්මයක් එහි නැහැ. පැවතුණේ ධාතු හතර පමණ යි. එය ද ඉවත් වී ඉතිරි වූයේ ශූන්‍යත්වය පමණ යි. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ඇසෙහි දැන් ඇත්තේ ශූන්‍යත්වය

පමණ යි.

ඒ ශූන්‍යත්වය තුළ මම දිගු වේලාවක් රැඳී සිටියෙමි. එය ගැඹුරු වෙයි. යළි ලිහිල් වෙයි.

ශූන්‍යත්වය යනු නාම ධර්මයකි. මේ සිත ම ය. සිත ද ඇස මෙන් ම අනිත්‍ය යි. අනිත්‍ය යි. අනිත්‍ය යි. මම සිතේ අනිත්‍යය දක්නට වීමි. අනිත්‍ය නිසා ම එය මගේ නො වේ; මගේ ආත්මය නොවේ; අනාත්ම වේ.

ගැඹුරින් ගැඹුරට මේ ශූන්‍යත්වය ගමන් කරනු දැනිණි.

සියුම් සිතක් ඉතිරි වී, සිත මගෙන් ඈත් වී ගොස් ය.

මේ සියල්ල අනාත්ම යි, අනාත්ම යි. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ සියල්ල මම අත්හරිමි, අත්හරිමි, අත්හරිමි. අත්හරිමියනු ද සිතුවිල්ලකි; සංස්කාරයකි. මම ඒ සංස්කාරයන්ගෙන් ද මිදෙමි. සියලු සංස්කාර අත්හරිමි, අත්හරිමි, අත්හරිමි.

සිත ගල් ගැසී ගියාක් මෙන් දැනිණි; ශාන්ත නිවුණු බවේ ගැඹුරට ම පත් වුණා මෙන් මට දැනිණි. මහා සුවයක් දැනිණි. ඒ සුවය ද අනිත්‍ය යි, අනිත්‍යය යි, අනිත්‍යයි. මම එය ද අත්හරිමි, අත්හරිමි, අත්හරිමි.

වඩාත් ගැඹුරු සුවයකට, නිශ්චලතාවකට සිත පත් විය. සියලු සංස්කාර තොර අතිශාන්ත, අතිගම්භීර නිශ්ශබ්දතාවක් ය. බොහෝ වේලා පැවැතිනි. පසුව එය ලිහි ලිහී යනු ද දැනිණ .එහෙත් ශාන්ත සුවදායක බව තුළ සිහිල් බව තුළ මම තවත් බොහෝ වේලාවක් රැඳී සිටියෙමි.

එදා නවසීවථික භාවනාවෙන් ලැබූ උසස් අත්දැකීම අද මේ ආයතන භාවනාවෙන් ද ලැබීමි. මා භාවනා කළේ ආයතන හයෙන් චක්ඛු ආයතනය ගැන පමණකි.

මෙය පොඩි මෙහෙණින් වහන්සේට දැන් ම නොකියමි. තවත් භාවනාවක් මගින් ඒ අත්දැකීම ම ලබමි. ඇත්තට ම මට මේ මොහොතේ ම තවත් භාවනාවක් පටන් ගන්නට හිත ය. සිතට අලස බවක් නො දනේ. ථීන මිද්ධයෙන් තොර යි. මගේ හිස මුදුනේ දෝත තබා මම බුදු රජාණන් වහන්සේට නමස්කාර කළෙමි.

බුද්ධයන වචනය හිතට නැඟීමත් සමග මගේ දෑසට කඳුළක් නැගිණ. 

ඒ සද්ධාවේ කඳුළු ය.මා මේ සුවය ලබනුයේ, බුදු රජාණන් වහන්ස, ඔබ වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය නිසා ය; ඒ සද්ධර්මය පොත් මගින්, සංයුක්ත තැටි දේශනා මගින් මට අවබෝධ කරවූ පූජ්‍යපාද දන්කන්දේ ධම්මරතන හිමිපාණන් නිසා ය; උන් වහන්සේට මා යොමු කළ අපවත් වී වදාළ මගේ ලොකු හාමුදුරුවන් නිසා ය; දූරකථනයෙන් මට උපදෙස් දෙන පොඩි මෙහෙණින් වහන්සේ නිසා ය.

මම තවත් මිනිත්තු කීපයක් ඒ ඇත්තන්ට පින් දෙමින්, සෙත් පතමින් ඒ කුටියෙහි ම රැඳී සිටියෙමි.

දෙනගම සිරිවර්ධන 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024