ආලින්දය – චිරාත් වීරසිංහ සමඟ

  • Home
  • /
  • Blog
  • /
  • ආලින්දය – චිරාත් වීරසිංහ සමඟ

අද ආලින්දයට ආරාධනා කළේ තරුණ ගායකයෙක් තනු නිර්මාණ ශිල්පියෙක් හැටියට අප හඳුනන චිරාත් වීරසිංහ සොහොයුරා. අපි ආයුබෝවන් කියල ඔබ පිලිගන්නවා.

ආයුබෝවන් චිත්‍රාන් අයියා.

ඔබ තනු නිර්මාණයේ විශ්වකර්මයා හැටියට හඳුන්වන රෝහණ වීරසිංහයන්ගේ කණිටු පුතණුවන්. ඔබ සංගීතය උපතින්ම දායාද කොට පැමිණි කෙනෙක්. මුළින්ම මා කැමතියි ඔබේ ළමා කාලයේ , පාසැල් කාලයේ තොරතුරු සන්නස  පාඨකයා වෙත සමීප  කරන්න.

මා පළවන වසරේ සිට තුන්වන වසර දක්වා ඉගෙන ගත්තේ මරදාන අශෝක විද්‍යාලයේ. මේ කාලයේ කවි ගායනා වලින් ප්‍රථම ස්ථානය ලබා තිබෙනවා. තුන්වැනි වසරේ මැද හරියේදී කොළඹ ආනන්ද විද්‍යාලයට මාව ඇතුළත් කළා.පාසැල් අධ්‍යාපනයෙන් පසු මම ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙනගත්තා.පසුව මම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ගොස් හෝටල් ක්‍ෂේත්‍රයේ Food and Beverage පාඨමාලාවක් හැදෑරුවා .

ඔබ ගායනය තනු නිර්මාණය කෙරේ යොමුවන්නේ කොහොමද?

2004 වර්ෂයේදී මම මුළින්ම දුම්බර දෑස කියල ගීතයක් ගායනා කළා . මෙහි ගී පදමාලා ප්‍රවීණ පද රචකයෙක් වන රවී සිරිවර්ධනගේ.තනුව සහ සංගීතය අපේ තාත්තාගෙ. මේ වනවිට මම ගීත විස්සකට වැඩිය ගායනා  කරලා තියෙනව. මේ ගීත වලින් වැඩි හරියක පද රචනය පාසල් වියේදී හඳුනාගත් මගේ කලණ මිතුරු අනුරුද්ධ පෙරේරා. අනුරුද්ධ ගීත රචනා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙත් මට ගීතයක් රචනා කරලා. එය “සිතට හොරෙන්” කියන  ගීතය. අපේ අයියයි මායි තාත්තයි එකතුවෙලා කරපු “පියපුතු ගී මුතු” නමැති CD තැටියට එය ඇතුළත් කළා.

මම මුළින්ම තනුවක් නිර්මාණය කළේ 2022 දෙසැම්බර් වල නිපුණි නයනතාරා තෙන්නකෝන්ට . එය 2023 ජනවාරි වල රෙකෝඩින් කටයුතු කළා. මම තනු නිර්මාණය කරලා තියෙනවා ගීත තුනකට. ඒ ගීත තුනේ  පද රචනය කළේ  අනුරුද්ධ මගේ කලණ මිතුරා. දෙවන ගීතය ධාරා ගෝතමීටත් තුන් වන ගීතය ගායනා කළේ විශාරද නිමාණි සංදීපනී ගමගේ සමඟ මගේ පියා. මගේ තනුවකට තාත්තත් ගායනා කරපු එම ගීතය මට විශේෂත්වයක්.පියාගේ අවවාද පිළිපදින දුවක් හා පියා  අතර සංවාදයක් තමා උත්තමාවියක් නම් වූ එම ගීය.  

ඔබේ දෙමාපියන් අපේක්ෂා කලේ ඔබ ගායකයෙක් සංගීතවේදියෙක් වෙනවා දකින්නද?

එහෙම විශේෂ බලාපොරොත්තු ඒ අය ගාව තිබුණේ නැහැ. මම කැමති ක්ෂේත්‍රයක් තෝරා ගැනීමේ නිදහස මට තිබුණා. අම්මා මා සංගීත කටයුතු වල යෙදෙනවාට කැමතියි.

අම්මත් සංගීත ශිල්පිණියක්ද?

නැහැ, ඇය නර්ථන ගුරුවරියක්.දැන් විශ්‍රාමිකයි.

ඔබ තාත්තාගෙන් සංගීත ආභාෂය ලැබුව, එලෙසම අම්මාගෙන් නර්ථන ආභාෂයකුත් ලැබුවද?

මට නර්ථන හැකියාව තිබෙන බව අම්මා කියනවා. නමුත් මා එහි යෙදෙන්නේ නැහැ. තාත්තාගේ කටහඬ මට පිහිටල තියෙනව කියල ගොඩක්දෙනා කියනව.

ඔබේ අයියා කළිඳු වීරසිංහ ගීතයක අයිතිය වෙනුවෙන් පෙනී සිටින මැදිහත් වන කෙනෙක්. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ගීතයක් නිර්මාණය කිරීමේදී වැඩි කාර්යභාරයක් කරන්නේ ගී පද රචකයා සහ සංගීතඥයා විසින්. නමුත් ගීයක් ප්‍රචාරයෙදී බොහෝ විට මේ දෙදෙනා නොසලකා හැර තිබෙනවා.ඉස්මතු වන්නේ ගායකයා පමණයි. ගීතයක් මගින් මුදල් ඉපයීමේදී පවා සිදුව ඇත්තේ එයයි. නමුත් බුද්ධිමය දේපල පනතට අනුව ගීතයක අයිතිය එහි පද රචකයාට සහ සංගීතඥයාට බව තහවුරු කොට තිබෙනවා.අයියා කටයුතු කරන්නේ මේ වෙනුවෙන්. අයියලගෙ සංවිධානයෙන් මේ සඳහා විශාල වැඩ කොටසක් කරනවා. අපේ තාත්තගේ යූ ටියුබ් චැනල් එකට ලැබෙන මුදල් වලින් පද රචකයා වෙත යැවියයුතු මුදල් නිසි පරිදි ගෙවීමට තාත්තා කටයුතු කරනවා.

ඔබ දැනට වෘත්තියක් වශයෙන් කරන්නේ මොනවාද?

මම තාත්තාගේ Dr Rohana Weerasinghe Official Youtube Channel එකේ  සමහර වැඩ කොටස් කරනවා . තව ගෙදර  අපේ ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකෙ රෙකෝඩින් කටයුතුත් කරගෙන යනවා.

ඔබ මෑතක විවාහ වුණා . ඒ ගැන තොරතුරු සඳහන් කරනවා නම්?

ඔව් මම අවුරුදු පහක ප්‍රේම සම්බන්ධයකින් පසුව  2022 ජූලි මාසේ විවාහ වුණා. මගේ බිරිඳගේ නම ශානිකා.ඇය වෛද්‍යවරියක්.

අපේ ආරාධනය පරිදි සන්නස ආලින්දයට පැමිණීම ගැන අපි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වනවා. ආයුබෝවන්.

මට මේ අවස්ථාවට ආරාධනා කිරීම ගැන චිත්‍රාන් අයියාටත් සුමේධ අයියාටත් සන්නස පුවත්පතටත් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. 

සාකච්ඡා කළේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024